ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලයේ වෙනසක්

203

පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ලබන වසර දක්වා කල් දැමූ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව දෙසැම්බර් මස 01 වැනිදා දක්වා අත්හිටුවීමට ලෝක මලල ක්‍රීඩා සංගමය කටයුතු කරන ලදි.

ඔලිම්පික් සංවිධායකයින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඒ අනුව එම අත්හිටවූ කාලසීමාවේ දී ක්‍රීඩකයන් දක්වන දස්කම් නොසලකා හරින අතර නැවත නිවේදනයක් නිකුත් කරමින් ලෝක මලල ක්‍රීඩා සංගමය දැනුම් දී තිබුණේ මාර්ග ඉසව් (මැරතන් සහ ඇවිදීමේ) සඳහා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව සැප්තැම්බර් මස පළමුවැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

මාර්ග ධාවන තරග රැසක් මෙම වසරේ අවලංගු කිරීමට සිදු වූ නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහභාගි වීමට හිමි වන තරග සංඛ්‍යාව අවම වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම සුදුසුකම් ලැබීමේ කාලසීමාව එළඹෙන වසරේ (2021) මැයි 31 වැනිදායින් අවසන් වේ.

මෙම කාලසීමාව වෙනස් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ කර සිටියේ මාර්ග ධාවකයන් හට මෙම වසරේ සහභාගි වීමට ඇති තරගාවලි හිඟ බව සහ ලබන වසරේ ද විශාල තරග ඉසව් පැවැත්වීමට ඇති අවිනිශ්චිතතාව මත ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලයේ වෙනසක් සිදු කිරීමට තීරණය කළ බවයි.

400m ශූරයා වසරේ වේගවත්ම කාලය සටහන් කරයි

මෙම තීරණය නිසාවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස 01 වැනිදායින් පසුව මාර්ග ධාවන ඉසව්වන්හී ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලබන වසරේ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත අවසන් ප්‍රධාන පෙළේ මැරතන් තරගය වන සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගයේ දී ක්‍රීඩකයන්ට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<