සුගන්ධි අභිබවා අංජනි රන් දිනයි; RMSගෙන් ජාතික ශූරයාට අභියෝගයක්!

473

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ තරග පළමු දිනට අද (25) දිනය පුරාවට බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

වර්ෂාව හේතුවෙන් තරග කාලසටහනේ වෙනසක්

ක්‍රීඩා ඉසව් මෙන්ම මලල ක්‍රීඩා ඉසව් ද රැසක් එක්කොට පවත්වනු ලබන…

දින 3ක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භක දිනය වූ අද දිනය පුරාවට මූලික වටයේ තරග කිහිපයක් සහ අවසන් වටයේ තරග රැසක් පවත්වනු ලැබීය. අද උදෑසන සිටම වැහි වලාකුළු සහිත තරමක් අඳුරු කාලගුණ තත්වයක් පැවතියත් සවස් වරුවේ ඇදහැළුණු සුළු වර්ෂාපතනය හැරුණු කොට දිනය පුරාවට වර්ෂාවෙන් බලපෑමක් එල්ල නොවීම හේතුවෙන් සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබූ පරිදි තරග ඉසව් පවත්වා ගෙන යාමට හැකියාව ලැබුණි. 

කෙසේ නමුත් පසුගිය දින කිහිපය පුරාවටම ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ධාවන පථය මෙන්ම ක්‍රීඩාංගණය ද අද දිනයේ දීත් මඩ සහිත ස්වභාවයක් ගනු ලැබීය. 

අද දිනයේ කාගේත් වැඩිම අවධානයක් දිනා ගත් සවස් වරුවේ පැවති මීටර 200 පිරිමි ධාවන ඉසව්ව සැවොම බලාපොරොත්තු වූ පරිදි උණුසුම් මුහුණුවරක් ගත් අතර තියුණු තරගයකින් අනතුරුව එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ දකුණු පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වෙමින් තත්පර 21.89ක කාලයක් වාර්තා කරගනිමින් ඉසව්ව අවසන් කළ කේ. එස්. එල්. වික්‍රමසිංහ විසිනි. 

ඔහුට කරට කර තරගයක් ලබා දුන් උතුරු මැද පළාතේ සී. එල්. කුමාර සහ මධ්‍යම පළාතේ ඩී. ඩී. එම්. සිල්වා දෙදෙනාම තත්පර 22.15ක කාලයක් වාර්තා කරගනිමින් පිළිවෙළින් දෙවන හා තෙවැනි ස්ථාන දිනා ගනු ලැබූහ. 

එමෙන්ම උණුසුම් මුහුණුවරක් ගත් තවත් තරග ඉසව්වක් වූ මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ආරම්භයේ සිට ම ප්‍රබල ධාවනයක් දියත් කළ මධ්‍යම පළාතේ අමාෂා ද සිල්වා විසින් දිනා ගනු ලැබීය. එම ඉසව්ව අවසන් කිරීම සඳහා ඇය ගත කළ කාලය තත්පර 25.00 කි. 

එහි දී තත්පර 25.46ක කාලයක් වාර්තා කර ගත් බස්නාහිර පළාතේ සදීපා හෙන්ඩර්සන් රිදී පදක්කමත්, තත්පර 25.70ක කාලයක් වාර්තා කර ගත් සෆියා යමික් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් වූහ. කෙසේ නමුත් මෙහි දී සෆියා යමික් ඉසව්ව අවසන් කිරීමේ දී ධාවන පථයේ පැවති මඩ සහිත තත්වය හේතුවෙන් ලිස්සා ගොස් වැටීම නිසා ඇයට ආබාධයකට ද මුහුණ දීමට සිදු විය. 

මලල ක්‍රීඩා ප්‍රවීණයින්ගෙන් තරුණ පරපුරට වටිනා ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීම වෙනුවෙන් සංවිධානය කරන දීප ව්‍යාප්ත……

අද දිනය තුළ උණුසුම් ම මුහුණුවරක් ගත් තරග ඉසව්ව වූයේ මීටර 10000 පිරිමි ධාවන ඉසව්ව යි. ඒ එම ඉසව්වේ ජාතික ශූර කේ. ෂන්මුගේෂ්වරන්, ආර්. එම්. එස්. පුෂ්පකුමාර, උපුල් කුමාර සහ ජේ. කේ. බණ්ඩාර අතර තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා තියුණු කරට කර තරගයක් පැවතීමත් සමඟයි. 

කෙසේ නමුත් අවසානයේ ජාතික ශූර මධ්‍යම පළාතේ ෂන්මුගේෂ්වරන් අභිබවමින් මෙහි රන් පදක්කම තමන් සතුකර ගන්නට බස්නාහිර පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වෙමින් මිනිත්තු 31: 25.56ක කාලයක් වාර්තා කරගනිමින් ඉසව්ව අවසන් කළ 38 හැවිරිදි පුෂ්පකුමාර සමත් විය. 

ඒ අනුව මිනිත්තු 31: 25. 59ක දක්ෂතාවයක් දැක්වූ ෂන්මුගේෂ්වරන් හට එහි දී රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු වෙද්දී ලෝකඩ පදක්කම මිනිත්තු 31: 25.66ක දක්‍ෂතාවයක් දැක්වූ උපුල් කුමාර දිනාගන්නා ලදි. 

ලක්‍ෂිකා සුගන්ධි සහ අංජනී පුල්වංස අතර පළාත් තරගවල සිටම පැවති කරට කර තරගය හේතුවෙන් කාන්තා දුර පැනීමේ තරග ඉසව්ව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර අද දිනයේ දී ලක්‍ෂිකා අභිබවමින් මෙහි රන් පදක්කම සිය නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට මීටර 5.96ක දක්‍ෂතාවයක් වාර්තා කර ගත් අංජනී පුල්වංස සමත් විය. 

ඒ අනුව මීටර 5.76ක දක්‍ෂතාවයක් දැක්වූ ලක්‍ෂිකා හට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු වෙද්දී මීටර 5.67ක දක්‍ෂතාවයක් දැක්වූ සදීපා හෙන්ඩර්සන් මෙහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ අනුව මෙම ඉසව්වේ පදක්කම් තුනම බස්නාහිර පළාතට හිමි වීම කැපී පෙනෙන්නට විය. 

දිනයේ තවත් වැදගත් ඉසව්වක් වූ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම උණුසුම් තරගයකින් අනතුරුව තහවුරු කරගන්නට සමත් වූයේ මීටර 2.12ක දක්‍ෂතාවයක් දැක්වූ බස්නාහිර පළාතේ තිවංක පෙරේරා විසිනි. 

හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් හිදී ආරම්භ වීමට නියමිත…..

ඔහුට හොඳ තරගයක් ලබා දුන් දකුණු පළාතේ සී. එල්. පෙරේරා මීටර 2.10ක දක්‍ෂතාවයක් දක්වමින් රිදී පදක්කමත්, මීටර 2.01ක දක්‍ෂතාවයක් දැක්වූ උතුරු මැද පළාතේ තාරුක ප්‍රනාන්දු ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් වූහ. 

මීටර 400 පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්වේ සිය අණසක පතුරුවා ගන්නට සබරගමුව පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වූ රත්නසේන සහෝදරයින් සමත් වූයේ වැඩිමල් සොහොයුරු අසංක රත්නසේන තත්පර 54.05ක කාලයක් වාර්තා කරගනිමින් රන් පදක්කමත්, බාල සොහොයුරු අසිත රත්නසේන තත්පර 54.38ක කාලයක් වාර්තා කරගනිමින් රිදී පදක්කමත් දිනා ගැනීමත් සමඟ යි. 

එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ මිනිත්තු 01: 02. 02ක කාලයක් වාර්තා කරගත් දකුණු පළාතේ ශාමා දුලානි විසිනි.  

තවදුරටත් කාන්තා රිටි පැනීමේ තරග ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට මෙන්ම ජාතික මහා තරගාවලි වාර්තාවට ද හිමිකම් කියන උතුරු පළාත නියෝජනය කරමින් තරගාවලියට එක්වූ යාපනයේ රිටි පැනීමේ රැජිණ අනීතා ජෙගතීෂ්වරන් නැවත වරක් මෙම ඉසව්වේ සිය ආධිපත්‍ය තමා සතුකර ගනිමින් එහි රන් පදක්කම මීටර 3.30ක දක්‍ෂතාවයක් වාර්තා කරගනිමින් දිනා ගන්නට සමත් වූ අතර මීටර 5000 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 17: 40.17ක කාලයක් වාර්තා කර ගත් නැගෙනහිර පළාතේ එන්. එම්. නන්දසේන විසින් දිනා ගනු ලැබීය. 

දිනය අවසානයේ පවත්වනු ලැබූ කාන්තා පාපන්දු අවසන් මහා තරගයේ දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව දඬුවම් පහර වටයේ දී බස්නාහිර පළාත් කණ්ඩායම පරාජයට පත්කළ වයඹ පළාත් කණ්ඩායම විසින් එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය. 

ඒ අනුව අද දිනය පුරාවට කිසිදු නව ජාතික වාර්තාවක් හෝ තරගාවලි වාර්තාවක් බිහි වීමක් සිදු නොවූ අතර ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලිය සඳහා සහභාගී නොවීමත් වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය පුරාවට පැවති මැද සහිත තත්වයත් ඒ සඳහා ඉවහල් විය. 

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිය ඉසව් අවසානයේ පිටියේ හා ධාවන පථයේ තත්වය පිළිබඳ සිය අප්‍රසාදය පළකරද්දී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ අදහස වූයේ ක්‍රීඩාංගණය මෙම තත්වයට ගෙන ඒමට ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලය සහ අදාළ නිලධාරීන් ගත උත්සාහය පැසසුම් සහගත බවයි. 

තරගාවලියේ දෙවන දිනය වන හෙට (26) දිනයේ දීත් ඉසව් රැසක අවසන් මහා තරග පැවැත්වීමට නියමිත ය. 

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු, පුවත්, ඡායාරූප, වීඩියෝ පට ඇතුළු තවත් විශේෂාංග සඳහා රැඳී සිටින්න ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<