චරිත් – ජනෙත් සහ වනිඳු වැඩ ඇල්ලු 2024

Zimbabwe Tour of Sri Lanka 2024

582
Zimbabwe Tour of Sri Lanka 2024- Review

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයග්‍රහණයක් ලබා දෙමින්.  

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව මෙම වසරේ දී සහභාගී වූ පළමු තරගාවලිය වූවා සේ ම කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් ව නිමා කළ පළමු තරගාවලිය ද වූවා. 

  • 1 වැනි තරගය: වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.
  • 2 වැනි තරගය: ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්. 
  • 3 වැනි තරගය: ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.

නව ක්‍රිකට් තේරීම් කමිටුවේ ද පළමු තේරීම වූ මෙම තරගාවලියේ පළමු තරගයේ දී ම එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 28 හැවිරිදි වියේ පසුවෙන ජනිත් ලියනගේ සමත් වෙන අතර තෙවැනි තරගයේ දී 19 හැවිරිදි වියේ පසුවෙන ෂෙවෝන් ඩැනියෙල් ද එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වූවා.  

ශ්‍රී ලංකාව විසින් ඒ ආකාරයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හඳුන්වා දෙද්දී සිම්බාබ්වේ ද ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්දින ජාත්‍යන්තර පිටියට දායාද කරනවා. ඒ 30 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක Faraz Akram සහ දකුණතින් දඟපන්දු යවන Tapiwa Mufudza. 

මේ නවක ක්‍රීඩකයන් අතුරින් ජනිත් ලියනගේ තමන් සහභාගී වූ මංගල තරගාවලියේ දී ම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීම විශේෂත්වයක් වූවා. ඔහු මෙම තරගාවලියේ තරග 3කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 119ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ 2 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියා.  

මෙම තරගාවලිය නියෝජනය කිරීමත් සමඟින් ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීර සහ සිම්බාබ්වේ කණ්ඩායමේ Ryan Burl තම 50 වැනි එක්දින ජාත්‍යන්තර තරග කඩඉම් පසු කළා.  

  • තරගාවලියේ පිතිකරුවන්ගේ දක්ෂතා

129: තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් වන අතර එහි සාමාන්‍ය 64.50ක ඉහළ අගයක් රඳවා ගැනීමට ද ඔහු සමත් වීම කැපී පෙණුනා.  

100 (91): චරිත් අසලංක මෙම තරගයේ දී ලබා ගන්නා ලද ශතකය මෙම තරගාවලියේ දී වාර්තා වූ එක ම ශතකය වූ අතර එය පන්දු 91ක දී වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා. ඒ අනුව ඔහුගේ එක්දින ශතක 3ක් වූ ලැයිස්තුවේ වේගවත් ම එක්දින ශතකය වාර්තා කරන්නේ මෙම තරගයේදීයි.

ඊට පෙර ඔහුගේ වේගවත් ම ශතකය වාර්තා වී තිබුණේ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. ඒ 2022 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී  පන්දු 99ක දී ලබා ගත් ශතකයයි.  

1000: සධීර සමරවික්‍රම මෙම තරගාවලියේ දී තම එක්දින තරග දිවියේ ලකුණු 1000 වාර්තා කිරීමට සමත් වූවා. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තරතරග 35කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1047ක් ලබා සිටිනවා.  

  • තරගාවලියේ පන්දු යවන්නන්ගේ දක්ෂතා

7/19 (5.5): මෙම තරගාවලියේ දී තෙවැනි තරගයට පමණක් සහභාගී වනිඳු හසරංග එම තරගයේ දී තම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා.  

එය නිමා වූ මෙම තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.  

ඔහුගේ මෙම වාර්තාව එතෙක් රැදී තිබුණේ 2023 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව පන්දුවාර 8.0ක දී ලකුණු 24කට දවා ගත් කඩුලු 6යි.  

මෙම තරගයේ දී වනිඳු පෑ දක්ෂතාවත් සමඟින් ලෝක එක්දින තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම් අතර 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූවා. මෙම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටින්නේ චමින්ද වාස්. ඒ ඔහු 2001 වසරේ දී කොළඹ එස්. එස්. සී. පිටියේ දී පන්දුවාර 8.0ක දී ලකුණු 19කට දවා ගත් කඩුලු 8යි. ඔවුන් දෙදෙනා ම මෙම දක්ෂතාව දක්වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.  

වනිඳුගේ මෙම දක්ෂතාව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා. ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් වෙතයි. ඔහු 2009 වසරේ දී ඉන්දියාවට එරෙහිව පන්දුවාර 6.0ක දී ලකුණු 20කට කඩුලු 6ක් දවා ගනිමින් එහි පළමු අසුනේ රැදී සිටියා.  

5/32 (10.0): සිම්බාබ්වේ කණ්ඩායමේ වමතින් වේග පන්දු යවන Richard Ngarava දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේ දී තම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවා.  

ඊට පෙර ඔහුගේ දක්ෂතම පන්දු යැවීම වාර්තා වී තිබුණේ නිමා වූ වසරේ දී නේපාලයට එරෙහි ව පන්දුවාර 9.0ක් යවමින් ලකුණු 43කට දවාගෙන තිබූ කඩුලු 4යි.  

Richard Ngarava මෙම තරගාවලියේ දී තම එක්දින තරග දිවියේ කඩුලු 50ක කඩඉමට පිවිසිමට ද සමත් වීම කැපී පෙණුනා.  

නිමා වූ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වීමට ද සමත් වූ Richard Ngarava මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 44කට සහභාගී වෙමින් කඩුලු 56ක් ලබා තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<