එක්දින සහ විස්සයි විස්සයි තරගාවලි ද්විත්වයකට සහභාගී වීමට මෙරට පැමිණි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙරට ක්‍රීඩකයෝ හමු වීමට නියමිතයි.
ඒ අනුව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය පළමුවෙන් ක්‍රියාත්මක වෙයි.
- පළමු එක්දින තරගය – ජනවාරි 06 වැනිදා (දිවා/රාත්‍රී)
- දෙවැනි එක්දින තරගය – ජනවාරි 08 වැනිදා (දිවා/රාත්‍රී)
- තෙවැනි එක්දින තරගය – ජනවාරි 11 වැනිදා (දිවා/රාත්‍රී)
සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මෙරට පිවිසෙන්නේ අයර්ලන්තය සමඟ පැවැති ආසන්නත ම තරගාවලියේ දී 2-0ක පරාජයක් විඳ ගනිමින් වන අතර ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වෙන්නේ ICC ක්‍රිකට් ලෝක කුසලානයට පසුවයි. දෙරටේ ම ක්‍රීඩකයෝ මේ වසරේ සහභාගී වන මංගල එක්දින තරගාවලිය මෙයයි.
දෙරට තරග ඉතිහාසය
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මේ දක්වා තරග 61ක් පවත්වා ඇති අතර ඉන් තරග 47ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු කර ගනිද්දී සිම්බාබ්වේ විසින් තරග 12ක ජයග්‍රහණ සතු කර ගෙන තිබෙනවා. ඉතිරි තරග 2 ඉතිහාසයට එක් වෙන්නේ නොවිසඳුණ තරග ලෙසයි.
දෙරට කණ්ඩායම් අවසන් වරට තරගාවලියක දී හමුව ඇත්තේ 2022 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ මෙරට සංචාරයේ දී වන අතර තරග 3කින් යුත් එම තරගාවලියෙන් 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
එමෙන් ම ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අවසන් වරට හමු වී ඇත්තේ පසුගිය ජූලි මාසයේ දී නිමා වූ ICC ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වීමේ දීයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.
ශ්‍රී ලංකා සංචිතය:
කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), සහන් ආරච්චිගේ, දුශ්මන්ත චමීර, අකිල ධනංජය, වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, ඩිල්ශාන් මධුශංක, පැතුම් නිස්සංක, ප්‍රමෝද් මධුශාන්, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ.
නිමා වූ ICC ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7කට නායකත්වය ලබා දුන් කුසල් මෙන්ඩිස් දෙරටක් අතර තරගාවලියක දී නායකත්වයේ කිරුළ දරණ පළමු අවස්ථාව මෙයයි. නිමා කළ එම තරග 7 දී ඔහුගේ පිතිකරණය ලකුණු 96ක් වන අතර එහි සාමාන්‍ය වන්නේ 13.71ක් පමණයි. එබැවින් ඔහුට මෙම තරගාවලියේ දී නායකත්වයේ අභියෝගය සේ ම පිතිකරුවෙක්ගේ අභියෝගය ද ජය ගැනීමේ වගකීම පැවැරෙනවා.
ඊටත් වඩා ඔහුට, තමන් වෙත ලැබුණ කණ්ඩායම සමඟින් පසුගිය වසරේ ක්‍රිකට් පරිපාලනයේ සිදු වූ කලබැගෑනිත් සමඟ මතු වූ අභියෝග ජය ගැනීමේ වගකීම් ද පැවැරෙනවා. එය වඩාත් තීව්ර වන්නේ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ මෙන් ම කුසල් මෙන්ඩිස් ගේ ද මංගල තරගාවලිය මෙය වන බැවිනුයි.
කෙසේ වෙතත් නම් කරන ලද මෙම සංචිතයට, ආබාධයක් හේතුවෙන් පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වූ වනිඳු හසරංග ඇතුලත් වෙද්දී ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, දුශාන් හේමන්ත, ලහිරු කුමාර, මතීෂ පතිරණ සහ කසුන් රාජිතට තම ස්ථාන අහිමි ව තිබෙනවා.
ඒ වෙනුවට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම එක් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ පැවැති ඉන්දීය සංචාරයෙන් පසුව අවිශ්ක ප්‍රනාන්දුත්, පසුගිය වසරේ මාර්තු මාසයේ පැවැති නවසීලන්ත සංචාරයෙන් පසුව නුවනිඳු ප්‍රනාන්දුත්, පසුගිය ජුලි මාසයේ දී පැවැති ICC ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්වීමෙන් පසුව සහන් ආරච්චිගේත්, 2021 වසරේ සැප්තැම්බර මාසයේ දී මෙරට පැවැති දකුණු අප්‍රිකා තරගාවලියෙන් අනතුරුව අකිල ධනංජයත්, පසුගිය වසරේ පැවැති ආසියානු කුසලානයෙන් පසුව ප්‍රමෝද් මධුශාන්වත් සහ පසුගිය වසරේ ජනවාරි මාසයේ දී පැවැති ඉන්දීය සංචාරයෙන් පසුව ජෙෆ්රි වැන්ඩර්සේවත් මෙම සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ඒ අතරට කෝඩුකාර ජනිත් ලියනගේ ද මෙම සංචිතයේ අසුනක් හිමිකර ගෙන සිටිනවා.
- කන්ඩම්බි සහ චන්දනට නව වගකීම්
- ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග සඳහා ප්‍රවේශ පත්‍ර විකිණීම ඇරඹේ
- ලසඳ සහ තුලින සුවිශේෂී කඩඉම්වලට
- නිර්මල රත්නායකට කඩුලු ත්‍රිත්වයක්
- ජනිත් ලියනගේ සුපිරි ක්‍රීඩකයා වේ
සංචාරක සිම්බාබ්වේ සංචිතය:
Craig Ervine (නායක), Faraz Akram, Ryan Burl, Joylord Gumbie (කඩුලු රකින්නා), Luke Jongwe, Takudzwanashe Kaitano, Tinashe Kamunhukamwe, Clive Madande (කඩුලු රකින්නා), Wellington Masakadza, Tapiwa Mufudza, Tony Munyonga, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Shumba Milton.
මෙරට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම, අඩු අත්දැකීම් සපිරි වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාවකගෙන් සමන්විතයි. ඔවුන් පාලනය කිරීමේ සුක්කානම හිමි ව ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග 116කට මුහුණ දෙමින් ශතක 4ක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 3294ක් ලබා සිටින Craig Ervine වෙතයි.
ඔහු මෙම තරගාවලිය හා එක් වෙන්නේ පසුගිය ජුලි මාසයේ දී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීමෙන් අනතුරවයි. කෙසේ වෙතත් ඔහුගේ අවසන් එක්දින ඉනිම් 5 ද එතරම් ම සාර්ථක ලෙස නිමා කිරීමට හැකි වී නැහැ. ලකුණු 138ක් වන එම දක්ෂතාවේ සාමාන්‍ය 27.6ක්.
ශ්‍රී ලංකාවට එරෙහිව තරග 18කට සහභාගී වී ඇති ඔහු අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 326ක් ලබා සිටිනවා. 38 වැනි වියේ පසුවෙන Craig Ervine නායකයෙක් ලෙසින් පිටියට පිවිසෙන 21 වැනි තරගයයි මේ.
ඔහුට අමතර ව සිම්බාබ්වේ කණ්ඩායමේ සිටින අනෙක් පරිනත ම ක්‍රීඩකයා වන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන පාකිස්තානයේ උපත ලද Sikandar Raza. සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට සහභාගී වූ අයර්ලන්ත තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවූයේ ද Sikandar Raza විසිනුයි.
ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 139කට මුහුණ දෙමින් ශතක 7ක් සමඟින් ලකුණු 4143ක් ලබා සිටින අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 85ක්. ඔහුගේ අවසන් එක්දින ඉනිම් 5 අතර ශ්‍රී ලංකාවත් සිටින අතර එම තරගයත් සමඟින් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තරග 14කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 343ක් ලබා තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු 2020 වසරෙන් පසුව එක්දින ජාත්‍යන්තර තරගයක දී පන්දු යවා නැහැ.
ඔවුන් දෙදෙනා සමඟින් මෙම තරගාවලියට මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් නොලත් දකුණතින් මඳ වේග පන්දු යවන 30 හැවිරිදි වියේ පසුවෙන Faraz Akram සහ දකුණතින් පිට දඟ පන්දු යවන 33 හැවිරිදි වියේ පසුවෙන Tapiwa Mufudza ද එක් ව සිටිනවා.
ඊට අමතර ව වන ඔවුන්ගේ සංචිතයේ පළපුරුදු සහ දක්ෂතා සපිරි ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණය කළ හැක්කේ එක්දින ජාත්‍යන්තර 50කට එක් වීමේ එළිපත්ත මත සිටින Ryan Burl, වමතින් වේග පන්දු යවන Richard Ngarava සහ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලත් Luke Jongwe පමණයි.
කෙසේ වෙතත් නම් කරන ලද එම සංචිතයේ සාමාජිකයන් අතුරින් Takudzwanashe Kaitano, Tinashe Kamunhukamwe, Milton Shumba, සහ Tony Munyonga වෙත සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩි විශ්වාසය රැදී තිබෙනවා.
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග ත්‍රිත්වය ම පැවැත්වෙන්නේ කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ තම 125 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමටයි. මෙතෙක් පැවැති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණ 76ක් ලබා ඇති අතර පරාජය වී ඇති තරග සංඛ්‍යාව 41ක්. සෙසු තරග 7 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි. සංචාරක ක්‍රීඩකයෝ මෙම ක්‍රීඩාංගණයේ දී තරග 5කට ක්‍රීඩා කර ඇති අතර ඒ කිසිඳු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ නැහැ. ඒ අතර එංගලන්තය ඉදිරියේ ලකුණු 108ක, ඉන්දියාව ඉදිරියේ ලකුණු 14ක, ඔස්ට්‍රේලියාව ඉදිරියේ ලකුණු 125ක සහ ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 59ක සහ කඩුලු 5ක පරාජයන්ට මුහුණ දී තිබෙනවා.
මෙම තරගාවලියේ දී සිදුවිය හැකි කඩඉම්
පැතුම් නිස්සංක: 50 වැනි එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට අවශ්‍ය තවත් එක් තරගයක් පමණයි.
අවිශ්ක ප්‍රනාන්දු: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන්නේ තවත් ලකුණු 10ක් පමණයි.
සදීර සමරවික්‍රම: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන්නේ තවත් ලකුණු 12ක් පමණයි.
වනිඳු හසරංග: 50 වැනි එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට අවශ්‍ය තවත් තරග 2ක් පමණක් වන අතර එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් සම්පූර්ණ කිරීමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 168ක් පමණයි.
දුශ්මන්ත චමීර: 50 වැනි එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට අවශ්‍ය තවත් තරග 2ක් පමණයි.
Ryan Burl: 50 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වීමට තවත් එක් තරගයක් පමණක් අවශ්‍ය අතර එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන්නේ ලකුණු 102ක් පමණයි.
Richard Ngarava: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තවත් කඩුලු 2ක් පමණයි.
Luke Jongwe: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තවත් කඩුලු 10ක් පමණයි.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<