පාකිස්තානයේ අලුත් වගකීම් වලින් වෙනස් කතාවක්

Asia Cup 2023

487
Zaka Ashraf made huge controversial statement about 2023 asia cup

මීළඟට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන Zaka Ashraf විසින් ඊයේ (21) දිනයේ දී එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට යොදා ගත් දෙමුහුන් ආකෘතියට සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් තමන්ට පෙර වගකීමේ නියුතු ව සිටි Najam Sethi විසින් ගත් තීරණයට බලපෑමක් එල්ල නොකරන බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඊයේ පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර Ashraf විසින් පවසා තිබුණේ තමන් මෙම දෙමුහුන් ආකෘතිය සමඟ එකඟ නොවන බව සහ තරගාවලියේ සත්කාරකත්වය සම්පූර්ණයෙන්ම පාකිස්තානය සතු විය යුතු බවයි.

“මම පෙර සිට ම මේ දෙමුහුන් ආකෘතිය ප්‍රතික්ෂේප කළා, මොකද මම ඒ සමඟ එකඟ වෙන්නේ නැහැ. ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් එය පාකිස්තානයේ පැවැත්විය යුතු බවට තීරණය කළා. එහෙනම් අපි එයට සත්කාරකත්වය ලබා දිය යුතුයි.”

ඔහුගේ මෙම ප්‍රකාශය ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට දරුණු බාධාවක් වීමට ඉඩ ඇති බව පෙනී ගියත් පසුව ඔහු විසින් ESPN cricinfo වෙබ් අඩවිය වෙත පවසා තිබුණේ, “තීරණයක් අරගෙන තියෙන්නේ, ඒ නිසා අපිට ඒ සමඟ ඉදිරියට යන්න වෙනවා,” යනුවෙනුයි.

“මගේ පෞද්ගලික මතය අනුව මේ සම්පූර්ණ දෙමුහුන් ආකෘතිය පාකිස්තානයට වාසි දායක එකක් නෙවෙයි. ඒ නිසා මම ඒකට කැමති නැහැ. සත්කාරකයන් ලෙස සම්පුර්ණ තරගාවලිය ම පාකිස්තානයේ පැවැත්වීම වෙනුවෙන් වඩා හොඳින් සාකච්ඡා කළ යුතු ව තිබුණා. ශ්‍රී ලංකාව වැඩි තරග ප්‍රමාණයක් ලබා ගනිමින්, පාකිස්තානයට තරග හතරක් පමණක් ඉතිරි කිරීම අපේ රටේ යහපතට හේතු වෙන්නේ නැහැ.

නමුත් මට පේනවා තීරණයක් අරගෙන තියෙන්නේ, ඒ නිසා අපිට ඒ සමඟ ඉදිරියට යන්න වෙනවා. එම තීරණයට එකඟ නොවී සිටීමට හෝ බාධා කිරීමට මට කිසිම අදහසක් නැහැ. මට ඒ ගැන කිසිම දෙයක් කරන්න බැහැ. කැපවීමට ගරු කරනවා. නමුත් ඉදිරියට අපි ගන්නා සෑම තීරණයක් ම රටේ යහපත වෙනුවෙන් ගන්නවා.”

ඒ අනුව ඉදිරියේ දී වගකීම් භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියාගෙන් මෙම තරග සැලැස්මට බලපෑමක් එල්ල නොවෙතැයි බලාපොරොත්තු විය හැකියි.

2023 ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ මාස ගණනාවක් තිස්සේ ඇදී ආ විවිධ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ පැවැත්වීමට තිබූ තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන දෙරටේ ම පැවැත්වීමට අවසන් තීරණයක් ගනු ලැබුවා.

විශේෂයෙන්ම මෙම තීරණයේ දී පාකිස්තානය වෙනුවෙන් අඩු ම වශයෙන් තරග කිහිපයක් හෝ ලබා ගැනීමට එවකට PCB සභාපති ලෙස කටයුතු කළ Najam Sethi විසින් සාර්ථක උත්සාහයක් දැරුවා. නමුත් ඊයේ දිනයෙන් ඔහුගේ වගකීම් වල නිල කාලය නිමා වීමෙන් පසු තමන් නැවතත් එම ධුරය සඳහා තරග නොකරන බව Sethi විසින් මීට පෙර දැනුම් දී තිබුණා. ඒ අනුවයි Zaka Ashraf විසින් නව PCB සභාපති බවට පත් වනු ඇති බව අනුමාන කෙරෙන්නේ.

කෙසේ වෙතත් Zaka Ashraf විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ආසියානු කුසලානය වෙනුවෙන් බලපෑමක් එල්ල නොකරනු ඇති නිසා ලබන සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් යුතු ව 2023 ආසියානු කුසලානය පැවැත්වෙනු ඇති.

එමෙන්ම ඒ හා සම්බන්ධ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<