ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තවමත් අවස්ථාව ඉතිරි වී පවතින්නේ කණ්ඩායම් තුනකට පමණයි.
ඊයේ (29) දිනයේ දී දකුණු අප්‍රිකාව විසින් පාකිස්තානයට එරෙහිව ලද කඩුලු 2ක ටෙස්ට් තරග ජයත් සමඟින් ඔවුන් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව සමඟ සටන් වැදීමට කණ්ඩායමක් තේරී පත් විය යුතු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.
මේ දිනවල ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග 5කින් සමන්විත තරගාවලියේ (මේ වන විට එම තරගාවලියේ සිව්වැනි තරගය ක්‍රියාත්මක වනවා) සහ ලබන වසරේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තීරණය අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනා කණ්ඩායම තීරණය වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා
මේ වන විට ලෝක ශූරතා ලකුණු සටහනේ පස් වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 11ක් ක්‍රීඩා කරමින් ඉන් තරග පහක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, ඔවුන්ගේ ප්‍රතිශතය 45.45ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අනුව ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් මේ වන විට ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගාවලියේ දී පහත කරුණු දෙකෙන් එකක් සිදුවීම අත්‍යාවශ්‍යයි.
- දෙරට අතර පැවැත්වෙන තරග දෙකම ජය පැරදුමකින් තොරව අවසන් වීම.
- ඕස්ට්‍රේලියාව එක් තරගයක් ජයග්‍රහණය කර, අනෙක් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීම.
මෙම සිදුවීම් දෙකෙන් එකක් සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව විසින් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීම ද අත්‍යාවශ්‍ය වනවා.
ඉහත කරුණු සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ නම් ඔවුන් සිය ප්‍රතිශතය 53.85ක් ලෙස සකසා ගනු ඇති අතර, ලකුණු සටහනේ ද දෙවැනි ස්ථානයට පත් වනු ඇති.
කෙසේ නමුත් ඉහත කරුණුවලට පරිබාහිර යමක් සිදු වේ නම් එමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී යනු ඇති අතර, ඉන්දියාව හෝ ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.
යාවත්කාලීන කිරීම:
ඊයේ පැවැත්වුණු ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කිරීමත් සමඟින් ශ්‍රී ලංකාවට ලෝක ශූරතා අවසන් මහා තරගයට පිවිසීමට නම් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පස් වැනි ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීම අත්‍යාවශ්‍ය වනවා.
මේ අතර ඕස්ට්‍රේලියාව විසින් එම තරගය ජයග්‍රහණය කළ හොත් ඔවුන්ට කිසිඳු ගැටලුවකින් තොරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉන්දියාව අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් පස් වැනි ටෙස්ට් තරගය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු වනවා.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
ESPN Cricinfo ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<