අයෝමාල් සහ ජත්‍ය දස්කම් අතරට පිවිසෙයි

World Junior Athletics Championship 2024

1
World junior athletics championship 2024

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (29) දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම තම ඉසව්වලට සහභාගී වුනා. 

අයෝමාල් අවසන් පූර්ව වටයට 

පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ මූලික වටය නියෝජනය කළ අයෝමාල් අකලංක තමන් සහභාගී වූ තරගයේ (දෙවැනි මූලික වටයේ තරගය) සිව් වැනි ස්ථානයට පත් වුනේ තත්පර 52.04ක කාලයක් සටහන් කරමිනුයි. ඔහුගේ තරග නිමි ස්ථානය ඔහුට අවසන් පූර්ව වරම් ලබා නොදුන් නමුත්, ඔහුගේ තරග නිමි කාලය සමස්ත තරගකරුවන් 46 දෙනෙකු අතරින් 12 වැනි ස්ථානයේ රැඳීම නිසා අයෝමාල්ට අවසන් පූර්ව වරම් හිමි වුනා. 

ඔහු සහභාගී වීමට නියමිත අවසන් පූර්ව තරගය හෙට (30) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

ජත්‍ය කිරුළු අවසන් පූර්ව වටයට 

පිරිමි මීටර් 400 මූලික වටයේ ඉසව්වේ සිව්වැනි තරගයට සහභාගී වූ ජත්‍ය කිරුළු එහි දී තත්පර 47.64ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

ඉසව්වට සහභාගී වූ සමස්ත තරගකරුවන් 47 දෙනෙකු අතරින් ජත්‍යගේ තරග නිමි කාලය 26 වැනි ස්ථානයේ රැඳුණා.

මේ අතර ඔහුගේ ඉසව්වේ අවසන් පූර්ව වටය අද (29) අලුයම ක්‍රියාත්මක වුනා.

එහි තෙවන අවසන් පූර්ව තරගයට සහභාගී වූ ජත්‍ය තත්පර 47.85ක කාලයක් සමඟ සිව්වැනි ස්ථානයට පත් වූ අතර, එම තරග නිමි කාලය ඔහුව සමස්ත තරගකරුවන් අතරේ 16 වැනි ස්ථානයට පත් කළා. 

පිරිමි උස පැනීම

පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් තරුශ දිනූශාන් සහ ලෙසඳු අර්තවිදු යුගලය ඊයේ තරග බිමට පිවිසුණා. මෙහි දී ඔවුන් දෙදෙනා ම මීටර් 2.05ක උසක් තරණය කිරීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා පිළිවලින් ඉසව්වේ 14 වැනි සහ 15 වැනි ස්ථානවලට පත් වුනා. කෙසේ වෙතත් ඔවුන්ට ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

කාන්තා මීටර් 400

කාන්තා මීටර් 400 ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට සහභාගී වූ ජිත්මා විජේතුංග හට එහි දී හිමි වුනේ අවසන් ස්ථානයයි. තත්පර 56.16ක කාලයක් වාර්තා කළ ඇය සමස්ත තරගකාරිනියන් අතර 47 වැනි ස්ථානයේ රැඳුණා.

කාන්තා තුන්පිම්ම

කාන්තා දුර පැනීමෙ ඉසව්ව මෙන්ම තුන් පිම්ම ඉසව්ව ද නියෝජනය කරන මදුශානි හේරත් ඊයේ තුන් පිම්ම ඉසව්වේ මූලික වටයට සහභාගී වූ අතර එහි දී ඇය සිය උපරිම දක්ෂතාව ලෙස මීටර් 12.23ක දුරක් තරණය කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් ඇය සමස්ත තරගකාරිනියන් 31ක් අතුරින් 26 වැනි ස්ථානයේ රැඳීම නිසා ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>