ලෝක ශූරයින් කිරුළ රැක ගත් දිනයක් නිමාවෙයි

World Indoor Athletics Championship 2025

37

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය ඊයේ (22) චීනයේ Nanjing හිදී ක්‍රියාත්මක වුනා. 

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කවීශ බණ්ඩාර පිරිමි මීටර් 60 කඩුලු පැන දිවීම ඉසව්වේ පස් වැනි මූලික වටයේ තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු විසින් තත්පර 7.87ක කාලයක් වැය කරමින් පස්වැනියා ලෙස තරගය අවසන් කළා.  

මූලික වටයට සහභාගී වූ ක්‍රීඩකයින් 34 දෙනෙකු අතුරින් කවීශට 22 වැනි ස්ථානය හිමි වූ අතර, ඒත් සමඟම ඔහු ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්. 

ඊයේ සවස් වරුවේ දී මෙම ඉසව්වේ අවසන් පූර්ව තරග පැවැත්වුණු අතර, එහි දී කවීශ තෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී වුනා. කෙසේ වෙතත් ඉසව්ව ආරම්භ වීමත් සමඟ කවීශට තරණය කිරීමට තිබූ පළමු කඩුල්ලේ ගැටී ඔහු ධාවන පතය තුළ ඇද වැටීම නිසා ඔහුට නිසි පරිදි තරගයට සහභාගී වීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් ඔහු තත්පර 24.33ක් වැය කරමින් ඉසව්ව අවසන් කිරීම අගය කළ යුතුයි. 

එම අවාසනාවන්ත ඇදවැටීම නිසා කවීශ තරගකරුවන් 24ක් අතුරින් 22 වැනි ස්ථානයේ නතර වුනා. 

ඉසව්වේ අවසන් මහා තරගය ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි දී ඉසව්ව ජයග්‍රහණය කිරීමට මෙම ඉසව්වේ වත්මන් ලෝක ශූරයා මෙන්ම, ඉසව්වේ පුරාවෘත්තයක් ලෙස හැඳින්විය හැකි ඇමරිකාවේ Grant Holloway සමත් වුනේ තත්පර 7.42කින් තරගය අවසන් කරමිනුයි. 

මීට අමතරව ඊයේ දිනයේ දී පිරිමි රිටි පැනීමේ ඉසව්ව ද ක්‍රියාත්මක වූ අතර, එයට ලෝක ශූර Mondo Duplantis ද සහභාගී වුනා. මෙම ඉසව්වේ දී Mondoට වෙනදා මෙන් පහසුවෙන් ඉසව්වේ ජය තහවුරු කර ගැනීමට ඉඩ ලබා නොදුන් ග්‍රීසියේ Emmanouil Karalis විසින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම, තම රටේ ජාතික වාර්තාව ද අලුත් කරමින් මීටර් 6.05ක උසක් තරණය කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් Mondo මීටර් 6.15ක උසක් තරණය කරමින් තම ජය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, ඔහු මෙවර තවත් ලෝක වාර්තාවක් කරා යාමට උත්සාහ නොකරම තරගය අවසන් කිරීමට තීරණය කළා. 

මේ අතර කාන්තා රිටි පැනීම ඉසව්ව ජය ගැනීමට ප්‍රංශයේ Marie – Julie Bonnin විසින් සමත් වුනේ මීටර් 4.75ක උසක් තරණය කරමිනුයි. මෙය ප්‍රංශයේ නව ජාතික වාර්තාව ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. 

මීට අමතරව කාන්තා තුන් පිම්ම ඉසව්ව ජය ගැනීමට කියුබාවේ Perez Hernandez සමත් වූ අතර, කාන්තා මීටර් 3000 ඉසව්ව ජය ගැනීමට ඉතියෝපියාවේ Freweyni Hailuට හැකි වුනා. මේ අතර බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ඉසව්වක් වූ පිරිමි මීටර් 3000 ඉසව්ව ජය ගැනීමට නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen හට හැකියාව ලැබුණා. 

පිරිමි මීටර් 400 ඉසව්වෙ ජය ඇමරිකාවේ Christopher Bailey විසින් ජයග්‍රහණය කරද්දී, කාන්තා මීටර් 400 ඉසව්ව මහා බ්‍රිතාන්‍යයේ Amber Anning විසින් ජය ගැනීමට සමත් වුනා. 

දිනයේ අවසන් ඉසව්ව ලෙස කාන්තා මීටර් 60 අවසන් මහා තරගය ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ඉසව්ව වෙනුවෙන් විශේෂඥයන් ලෙස සැලකුම් ලැබූ ඉතාලියේ Zaynab Dosso මෙන්ම, පෝලන්තයේ Ewa Swoboda අබිබවා යමින් ඉසව්ව ජය ගැනීමට ස්විට්සර්ලන්තයේ Mujinga Kambundji සමත් වීමත් විශේෂත්වයක්. 

මේ අයුරින් තරගාවලියේ දෙවැනි දිනයේ තරග ක්‍රියාත්මක වූ අතර, අද (23) තරගාවලියේ අවසන් දිනය ලෙස ඉසව් රැසක අවසන් මහා තරග ක්‍රියාත්මක වීමට නියමිතයි. 

මෙහි දී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි සහය දිවීමේ කණ්ඩායම් අද සවස පිරිමි සහ කාන්තා 400×4 අවසන් මහා තරග සඳහා සහභාගී වීමට නියමිතයි. එම තරග ද්විත්වය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06.41ට සහ 6.51ට ආරම්භ වනු ඇති. 

එම තරග ඉසව් පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<