Warner සහ Marsh පාකිස්තානයට තරවටු කිරීම

ICC World Cup 2023

1553

13 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (20) අවසන් වූ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ දී ඕස්ට්‍රේලියාවේ David Warner සහ Mitchell Marsh ලෝක කුසලාන සහ එක්දින ජාත්‍යන්තර වාර්තා පොත් අතර කඩඉම් කිහිපයකට ම බලපෑම් කළා.  

මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ වසර 12ක් තිස්සේ ශ්‍රී ලංකාව සතුව තිබූ පළමු කඩුල්ලේ ලකුණු සබඳතාවේ පළමු සහ දෙවැනි ස්ථාන ඈත් කරමින්, එහි දෙවැනියා ලෙසින් ඒ අතරට එක් වීමට ඔවුන් දෙදෙනා සමත් වුනා. 

ලෝක කුසලාන පළමු කඩුල්ලේ වාර්තාවේ හිමිකාරයෝ 
  ලකුණු  පිතිකරුවන්  රට  ප්‍රතිවාදීන්  ක්‍රීඩාංගණය  වසර 
1  282  උපුල් තරංග (133) 

තිලකරත්න ඩිල්ශාන් (144) 

ශ්‍රී ලංකාව  සිම්බාබ්වේ  පල්ලෙකැලේ  2011 
2  259  David Warner (163) 

 Mitchell Marsh (121) 

ඕස්ට්‍රේලියාව  පාකිස්තානය  Bengaluru  2023 
3  231*  උපුල් තරංග (102*) 

තිලකරත්න ඩිල්ශාන් (108*) 

ශ්‍රී ලංකාව  එංගලන්තය  ආර්. ප්‍රේමදාස  2011 
4  194  Saeed Anwar (113*) 

Wajahatullah Wasti (84) 

පාකිස්තානය  නවසීලන්තය  Manchester  1999 
5  189  KL Rahul (111) 

Rohit Sharma (103) 

ඉන්දියාව  ශ්‍රී ලංකාව   Leeds  2019 

 

  • 18 වැනි තරගය (දිවා/රාත්‍රී) Bengaluru, ඔක්තෝබර් 20, 2023, ICC Cricket World Cup

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය  

  • කාසියේ වාසිය – පාකිස්තානය  
  • තරගයේ වීරයා – David Warner (ඕස්ට්‍රේලියාව) 

ඕස්ට්‍රේලියාව – කඩුලු 9ක් දැවී 367 (50) David Warner 163, Mitchell Marsh 121, Marcus Stoinis 21, Shaheen Shah Afridi 5/54, Haris Rauf 3/83 

පාකිස්තානය – සියලුම දෙනා දැවී 305 (45.3) Abdullah Shafique 64, Imam-ul-Haq 70, Mohammad Rizwan 46, Saud Shakeel 30, Iftikhar Ahmed 26, Pat Cummins 2/62, Adam Zampa 4/53, Marcus Stoinis 2/40 

ඕස්ට්‍රේලියාවට ලකුණු 62ක ජයක්.  

259: David Warner සහ Mitchell Marsh එක්ව පන්දු 203කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද ලකුණු 259 පාකිස්තානයට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත්වුනා.  

  • ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වූ Desmond Haynes සහ Brian Lara. ඔවුන් දෙදෙනා එක්ව 1992 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව පැවති තරගයේ දී පළමු කඩුල්ලට නොදැවුණ ලකුණු 175ක් එක් කරනවා. 

එහි දී Desmond Haynes පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉනිම අතරතුර දී ආබාධිත තත්වයට පත් Brian Lara නොදැවී පිටියෙන් ඉවත් වන විට පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටියා. 

  • Warner සහ Marsh එක්ව ගොඩනැගූ මෙම ලකුණු සබඳතාව ඕස්ට්‍රේලියා ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් දක්ෂතාව වුනා. මෙහි පළමු අසුන 2015 වසරේ දී David Warner (178) සහ Steven Smith (95) එක්ව ඇෆ්ගනිස්තානයට එරෙහිව දෙවැනි කඩුල්ලට ලබා ගත් ලකුණු 260ට හිමිව තිබෙනවා. 
  • ඔවුන් විසින් වාර්තා කරන ලද මෙම ලකුණු සබඳතාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඕස්ට්‍රේලියානුවන්ගේ පළමු කඩුල්ලේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත්වුනා. ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ Shane Watson (94) සහ Brad Haddin (88) කැනඩාවට එරෙහිව 2011 වසරේ දී ලබා සිටි ලකුණු 183යි. 

3: මෙම ලකුණු 259 වාර්තාව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ තෙවැනි ඉහළ ම ලකුණු සබඳතාව වූ අතර එම සම්බන්ධතා 3ට ම එක් වීමට David Warner සමත් වීම කැපී පෙනුණා.   

163: David Warner විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරග ඉතිහාසයක දී පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියා පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙම වාර්තාව මීට පෙර සන්තක කරගෙන සිටියේ 2003 වසරේ දී නොදැවී ලකුණු 143ක් ලබා ගත් Andrew Symonds.

100×2: David Warner විසින් වාර්තා කරන ලද මෙම ශතකය පාකිස්තානයට එරෙහිව ලබා ගන්නා ලද දෙවැනි ශතකය වන අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව එවන් දක්ෂතාවක් කළ එක ම අවස්ථාව බවට පත් වෙනවා. 

100×5: Warnerගේ මෙම ඉනිම එක්දින ලෝක කුසලාන තරගවල දී වාර්තා කරන ලද 5 වැනි ශතකය බවට පත්වුනා. ඒ සමඟ ම ඔහු ලෝක කුසලාන තරගවල වැඩිම ශතක ලබා ගත් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ සමව අසුන් ගැනීමට සමත් වුනා.

එහි පළමු ස්ථානය ඉන්දියාවේ Rohit Sharma (7) සතු වන අතර දෙවැනි ස්ථානය ඉන්දියාවේ Sachin Tendulkar (6) සතු වෙනවා. අනතුරුව ශතක 5ක් ලබා සිටින ඕස්ට්‍රේලියාවේ Ricky Pontig සහ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර් සමඟ Warner ද ඊට එක් වෙනවා.    

100×4: Warner පාකිස්තානයට එරෙහිව මුහුණ දී ඇති අවසන් එක්දින ජාත්‍යන්තර තරග 4 දී ශතක 4ක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ අනුව ඔහු එවන් දක්ෂතාවක් කළ ක්‍රීඩකයන් අතර සම තැන් ගැනීමට සමත් වෙනවා.  

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවේ Virat Kohli වෙතයි. ඔහු 2017 – 2018 වසර ද්විත්වයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පිට පිට ශතක 4ක් ලබා ගනිමින් එවැන්නක් කළ පළමු වැනියා වී සිටියා.  

150+3: ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු 150ක් ඉක්ම වූ ඉනිම් 3ක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද Warner සමත් වෙනවා. ඔහු ඊට පෙර 2015 වසරේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 178ක් සහ 2019 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 166ක් ද ලබා තිබෙනවා.  

100×21: මෙය David Warnerගේ එක්දින ජාත්‍යන්තර පිටියේ 21 වැනි ශතකය වූ අතර ඔහු 7 වැනි වරටත් ලකුණු 150 සීමාව පසු කිරීමට මෙම තරගයේ දී සමත් වුනා. 

121: Mitchell Marsh විසින් මෙම තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 121, ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ඉනිම බවට පත්වුනා. ඊට පෙර ඔහුගේ හොඳම එක්දින ඉනිම බවට පත් ව තිබුණේ ඉන්දියාවට එරෙහිව 2016 වසරේ දී Sydney ක්‍රීඩාංගණයේ දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 102යි.

2: මෙම තරගයේ දී ලෝක කුසලාන තරග ඉතිහාසයේ තම උපන් දිනය දා ශතක රැස් කළ ක්‍රීඩකයන් අතරට Marsh එක් වීමට සමත් වෙනවා. ඔහු මෙම ශතකය ලබා ගන්නේ ඔහුගේ 32 වැනි උපන් දිනයේ දීයි. ඊට පෙර නවසීලන්ත ක්‍රීඩක Ross Taylor, 2011 වසරේ දී තම 27 වැනි උපන් දිනයේ දී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 131ක් ලබා ගනිමින් මේ දක්ෂතාව කළ පළමු වැනියා බවට පත්වුනා. 

4/53 (10): තම 89 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ ඕස්ට්‍රේලියාවේ පා දඟපන්දු යවන Adam Zampa තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු 150 සීමා ව පසු කිරීමට මෙම තරගයේ දී සමත් වුනා.

367/9 (50): ඕස්ට්‍රේලියානු මෙම ඉනිම Bengaluru හී M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී ඔවුන් මෙතෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත්වුනා. ඊට පෙර ඔවුන් ඔවුන්ගේ දක්ෂතාව වූයේ 2003 වසරේ දී ඉන්දියාවට එරෙහිව කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු 347යි.  

  • එමෙන් ම ඔවුන්ගේ මෙම ඉනිම මෙම ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර දෙවැනි ස්ථානයට පත්වුනා. එහි පළමු ස්ථානය 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක් දැවී ඉන්දියාව විසින් ලබා ගන්නා ලද ලකුණු 383ට හිමි වෙනවා.

19x6s: ඕස්ට්‍රේලියාව විසින් මෙම තරගයේ දී එල්ල කරන ලද හයේ පහර 19, ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් රැස් කරන ලද වැඩිම හයේ පහර වාර්තාවේ සම ස්ථානයට පත් වෙනවා. එහි ඊට පෙර රැඳී සිටියේ ඉන්දියාවයි. ඔවුන් 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව එවැනි ම දක්ෂතාවක් කරමින් එහි වසර 10ක් ම රැඳී සිටියා.

  • පාකිස්තානයට එරෙහිව මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානුවෝ හයේ පහර 19ක් වාර්තා කරන ලද අතර එය එක්දින තරග ඉතිහාසයේ ඔවුන්ට එරෙහිව වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වුනා. ඊට පෙර මෙම වාර්තාව සතු වූයේ එංගලන්තයටයි. 2016 වසරේ දී ඔවුන් විසින් එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 16ක්.

18x6s: මෙම තරගයේ දී Warner සහ Marsh එක් ව හයේ පහර 9 බැගින් හයේ පහර 18ක් එල්ල කරන ලද අතර එය ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් එක් ව වාර්තා කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.  

මීට පෙර වාර්තාවේ රැඳී සිටියේ 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවේ Rohit Sharma (16) සහ Shikhar Dhawan (0) එක්ව එල්ල කරන ලද හයේ පහර 16 සහ 2015 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ Dwayne Smith (0) සහ Chris Gayle (16) එක් ව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එල්ල කරන ලද හයේ පහර 16යි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<