ලෝක කුසලානය ආක්‍රමණය කළ අප්පලා – පුතාලා

ICC World Cup 2023

1642
Geoff Marsh තම පුතුන් වන Michell සහ Shaun සමඟ

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ ක්‍රීඩකයන් අතර ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම තම පියවරුන්ගේ මතකය අවධි කරමින් තරගාවලිය හා එක් වෙනවා. 

Lance Cairns සහ Chris Cairns 

ලෝක කුසලාන ඉතිහාසයට පිය – පුතු සුසංයෝගයක් පළමු වරට එක් වෙන්නේ නවසීලන්තයේ Chris Cairns, 1992 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය හා එක් වීමත් සමඟයි.  

ඊට පෙර ඔහුගේ පියා වූ Lance Cairns 1975 වසරේ දී පැවති මංගල ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්තය නියෝජනය කරමින් පිටියට පිවිසෙනවා. එතැනින් නොනවතින ඔහු 1979 සහ 1983 වසරවල ද නවසීලන්ත කණ්ඩායම හා එක් වෙනවා.  

ඔහු කණ්ඩායමේ ස්ථාවර වන්නේ දකුණත් මද වේගපන්දු යවන්නෙක් ලෙසයි. ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයේ තරග 11කට ක්‍රීඩා කරන ඔහු කඩුලු 14ක් ලබා ගන්නා ලද අතර එක්දින ජාත්‍යන්තර තරගවල දී කඩුලු 89ක් ලබා ගන්නවා.  

පුතු වූ Chris තම මංගල ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව 1996, 1999 සහ 2003 වසර ත්‍රිත්වයේ පැවති ලෝක කුසලාන තරගාවලිවල දී ද තම මව්රට නියෝජනය කරනවා.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන Chris ලෝක කුසලාන තරග මාලා 4 දී පෑ දක්ෂතාව දැක්වෙන්නේ තරග 28ක ඉනිම් 24ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලබා ගත් ලකුණු 565ක් සහ දවා ගත් කඩුලු 18ක් ලෙසයි.  

ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතාව සටහන් වෙන්නේ තරග 215ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 26ක් සමඟින් ලබා ගත් ලකුණු 4950ක් සහ කඩුලු 201ක් ලබා ගැනීමයි.   

Chris Broad සහ Stuart Broad

1992 වසරේ දී ලෝක කුසලාන තරගාවලියකට එක් වූ පිය – පුතු සුසංයෝගයෙන් පසුව නැවත එවැන්නක් වාර්තා වෙන්නේ ඊට වසර 15කට පසුයි. ඒ එංගලන්තයේ Stuart Broad, 2007 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය හා එක් වීමත් සමඟයි.

Stuart ලෝක කුසලාන තරගාවලියක් හා එකතු වෙන්නේ සිය පියා වූ Chris Broad ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කිරීමෙන් වසර 20කට පසුවයි.  

ආරම්භක පිතිකරුවෙක් ලෙසින් එංගලන්න කණ්ඩායම හා එක් වූ Chris ලෝක කුසලාන තරග 3කට එක් වෙමින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 67ක්.  

වයස අවුරුදු 30 දී ලෝක කුසලාන වරම් දිනා ගන්නා Chris පසු කාලීනව කීර්තිමත් තරග තීරකයෙක් ලෙසින් කටයුතු කළ අතර මේ වන විස්තර විචාරකයෙක් ලෙසින් ද කටයුතු කරනවා.  

පියා පිතිකරුවෙක් ලෙසින් එංගලන්ත කණ්ඩායම හා එක් වූව ද පුතා වූ, Stuart එංගලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ දකුණත් මද වේගපන්දු යවන්නෙක් ලෙසයි.  

21 හැවිරිදි වියේ දී ලෝක කුසලාන තරග හා එක් වෙන Stuar, 2007, 2011 සහ 2015 වසර ත්‍රිත්වයේ දී ලෝක කුසලාන තරග 10කට සහභාගී වෙමින් ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 10ක්. 

2016 වසරේ දී එක්දින තරග පිටියට සමු දෙන Stuart එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 3ක නායකත්වයේ ද කටයුතු කරනවා.  

වර්තමාන ටෙස්ට් පිටියේ සුවිශේෂී චරිතයක් වන ඔහු මේ වන විට තරග 167ක දී කඩුලු 604ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභී ලෝක ලැයිස්තුවේ 5 වැනි අසුන හිමිකර ගෙන සිටිනවා.  

Geoff Marsh සහ Mitchell Marsh

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ද කාලයක් ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික Geoff Marshගේ පුත් Mitchell Marsh, 2015 වසරේ ලෝක කුසලාන තරගාවලිය හා එක් වීමෙන් පිය – පුතු සුසංයෝගය නැවත ලෝක කුසලාන තරග බිමට එකතු කරනවා 

ආරම්භක පිතිකරුවෙක් ලෙසින් ඕස්ට්‍රේලියා කණ්ඩායම හා කටයුතු කළ Geoff, 1987 සහ 1992 වසර ද්විත්වයේ පැවති ලෝක කුසලාන තරග හා එක් වන අතර පුත්, Mitchell, 2015 වසරේ සහ මෙවර ලෝක කුසලාන තරග හා එක් වෙනවා.  

මෙම පිය – පුතුන් දෙදෙනා ම ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන දිනා ගනිද්දී එම කණ්ඩායම් නියෝජනය කිරීමට සමත් වීම කැපී පෙනෙනවා. ඒ අතරින්, ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනූ 1987 වසරේ අවසන් මහා තරගයේ සාමාජිකයෙක් වීමට Geoff සමත් වූ අතර 2015 වසරේ දී ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනා ගනිද්දී එම කණ්ඩායම නියෝජනය කිරීමට පුත්, Mitchell ද සමත් වුනා. නමුත් අවාසනාවකට මෙන් Mitchell අවසන් තරගයේ ක්‍රීඩා කිරීමට ස්ථානයක් ලැබෙන්නේ නැහැ. 

Geoffගේ ලෝක කුසලාන දක්ෂතා ලෙසින් සටහන් වෙන්නේ තරග 13ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගත් ලකුණු 579යි. මේ අතරට පළමු ලෝක කුසලානයේ දී ම නවසීලන්තයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 126 ඔහුගේ එක්දින තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.  

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන Geoffගේ පුත් Mitchell, මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ලෝක කුසලාන තරග 4කට පමණයි. එහි දී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 31ක්. පන්දු යවන්නෙක් ලෙසින් ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ ලබා ඇත්තේ කඩුලු 5ක් පමණයි.  

එය ද තම ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගයේ දී  එංගලන්තයට එරෙහි ලකුණු 33කට දවා ගත් කඩුලු 5යි. එය ඔහුගේ එක්දින තරග දිවියේ ලබා ගත් කඩුලු 54 අතර ඉහළ ම දක්ෂතාව ලෙසයි දැක් වෙන්නේ.

Rod Latham සහ Tom Latham

නවසීලන්තය නියෝජනය කළ පිය – පුතු යුගලක් වූ Rod Latham සහ Tom Latham මේ ලැයිස්තුවට එක් වෙන්නේ පුත් Tom, 2019 වසරේ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමත් සමඟයි.  

1992 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන Rod, තරග 7ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 60ක් ලබා ගනිමින් ලෝක කුසලාන ගමන අවසන් කරනවා.

Tom මෙවර ලෝක කුසලානය සමඟ එක් වෙන්නේ කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද සියතට ගනිමින්. ඔහු මේ දක්වා ලෝක කුසලාන තරග 11කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 155ක්.   

2015 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ද නවසීලන්තය කණ්ඩායම හා Tom එක් වීමට වරම් ලැබූව ද, එහි දී ඔහුට කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. 

Geoff Marsh සහ Shaun Marsh 

මෙම ලැයිස්තුවට මීට පෙර ද එක් වූ  ඕස්ට්‍රේලියාවේ Geoff Marsh නැවත තම බාල පුතු Shaun Marsh සමඟින් මෙම ලැයිස්තුවට එක් වෙනවා. ඒ 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ලැබූ ඔහුගේ සහභාගීත්වය සමඟින්.   

ඉදිරි පෙළ වමත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වූ Shaun, එක්දින ජාත්‍යන්තර තරග 73කට සහභාගී වී සිටිය ද ලෝක කුසලාන සහභාගීත්වය තරග 2කට පමණක් සීමා වුනා. ඒ සහභාගී වූ ලෝක කුසලානයේ දී යටි බාහුවේ සිදු වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ නිසයි.  

ඔහුට එම තරග 2 දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 23ක් පමණයි.  

Kevin Curran සහ Sam Curran

සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරමින් 1983 සහ 1987 ලෝක කුසලාන තරගාවලියන්ට එක් වූ Kevin Curran මෙම ලැයිස්තුව සමඟ එකතු වෙන්නේ තම පුතුන් වෙනත් රටක කණ්ඩායම්වලට දායාද කළ පළමු සහ එක ම ක්‍රීඩකයා ලෙසයි.

ඒ අනුව ඔවුන් මෙම ලැයිස්තුවේ රටවල් 2ක් නියෝජනය කළ පළමු පිය – පුතු දෙදෙනා ලෙස ඉතිහාසයට එක් වෙනවා.

2012 වසරේ දී මිය ගිය Kevinගේ එක්දින තරග දිවිය ලෝක කුසලාන තරග 11කට පමණක් සීමා වෙනවා. දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ ඔහුගේ දක්ෂතාව ලෙස සටහන් වෙන්නේ කඩුලු 9ක් සහ ලකුණු 287ක් ලෙසයි.  

කෙසේ වෙතත් ඔහු, පළමු පෙළ කඩුලු 605ක් සහ ලකුණු 15740ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙක්.  

Kevin සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ලෝක කුසලාන තරගවලට පැමිණිය ද මේ වන විට 25 හැවිරිදි වියේ පසුවෙන ඔහුගේ බාල පුත් Sam Curran, ක්‍රිකට් පිටියට එක් වෙන්නෙ එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින්.  

2018 වසරේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා Sam, පසුගිය දා නවසීලන්තයට එරෙහිව තම මංගල ලෝක කුසලාන තරගයට සහභාගී වුනා. එහි දී ඔහු පිතිකරු දක්ෂතාව ලකුණු 14ක් ලෙසත් සහ පන්දු යැවීමේ දක්ෂතාව කඩුල්ලක් ලෙසත් සටහන් වුනා.  

Tom Curran 

Kevinට මීට පෙර 2019 වසරේ දී මෙම ලැයිස්තුවට එක් වීමට අවස්ථාව තිබුණ ද එය අවාසනාවන්ත ලෙස අහිමි වෙනවා. ඒ ඔහුගේ වැඩිමල් පුත් Tom Curran එවර ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම හා සමඟින් එක් ව සිටිය ද ක්‍රීඩා කිරීමට තරගයක් නොලැබීම හේතුවෙන්.  

Tim de Leede සහ Bas de Leede

මෙවර තරගාවලිය නියෝජනය කරන නෙදර්ලන්තය මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ Tim de Leede සහ Bas de Leede සමඟින්.  

1996 ලෝක කුසලාන තරගාවලිය සමඟින් එක්දින ක්‍රිකට් පිටියට පිවිසෙන Tim, ඉන් අනතුරුව 2003 සහ 2007 වසරේ තරග ද ඇතුලුව තරග 14කට ක්‍රීඩා කරමින් කඩුලු 14ක් දවා ගැනීමට සමත් වෙනවා. මේ අතරින් ඔහු 2003 ලෝක කුසලානයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 35කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර එය නෙදර්ලන්ත ක්‍රීඩකයෙක් ලෝක කුසලානයක පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් වෙනවා.  

පියා දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වද්දී පුතා Bas තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වමින් නෙදර්ලන්ත කණ්ඩායම සමඟින් එක් වෙනවා. ඔහු තමන් ක්‍රීඩා කළ මංගල ලෝක කුසලාන තරගයේ දී ම ලකුණු 62කට කඩුලු 4ක් දවා ගැනීමෙන් නොනැවතී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 67ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

Roger Binny සහ Stuart Binny

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙසින් කාලයක් කටයුතු කළ Roger Binny ද මෙම ලැයිස්තුවට එක් වෙන්නේ ලෝක කුසලාන සංචිතයට එක් වූ පුතෙක්ගේ පියෙක් ලෙසයි. ඒ ඔහුගේ පුත් Stuart Binny, 2015 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම හා එක් වීමත් සමඟින්.

Roger ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් 1983 සහ 1987 වසර ද්විත්වයේ පැවති ලෝක කුසලාන තරග එක් වෙන්නේ දකුණත් මද වේගපන්දු යවන්නෙක් ලෙසයි. ඔහු එම වසර ද්විත්වයේ තරග 9කට සහභාගී වෙමින් කඩුලු 19ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

ඉන්දියාව ලෝක කුසලානය දිනූ 1983 වසරේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ද Roger. ඔහු එම වසරේ දී තරග 8ක දී කඩුලු 18ක් දවා ගන්නවා.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් ඉන්දීය කණ්ඩායම හා එක් වෙන Rogerගේ පුත් Stuart Binny ගේ එක්දින ක්‍රිකට් ජීවිතය යන්තම් දින 621ක තරග 14කට පමණක් සීමා වුනා.

ඒ අතර ඔහු 2015 ලෝක කුසලානයේ තරග සංචාරයට ද සුදුසුකම් ලබා ගනිමින් ඊට එක් වුව ද එහි දී කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<