ප්‍රවීනයන්ගේ T20 ලෝක ශූරතාවයත් ඉන්දියාවට

World Championship of Legends

11

2007 වසරේ දී පැවැති මංගල ICC විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් හා එක් ව සහභාගී වූ ප්‍රවීනයන්ගේ මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනිමට ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායම පසුගියදා සමත් වූවා.  

රටවල් 6ක සහභාගීත්වයේ පැවැති මෙම ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් එංගලන්තයේ දී පැවැතියා.  

එහි දී වසර 17කට පසුව නැවත 2007 වසර සිහිගන්වමින් ඉන්දියාව සහ පාකිස්තානය අවසන් මහා තරගයට එක් වීම විශේෂත්වයක් වූවා. එදා  Johannesburg, New Wanderers ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දියාව ලකුණු 5කින් පාකිස්තානය පරාජය කරන ලද අතර මෙදා  ඉන්දියාව විසින් පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් ශූරයන් බවට පත් වෙනවා.  

ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ Yuvraj Singh, Harbhajan Singh, Irfan Pathan, Yusuf Pathan, Robin Uthappa සහ Rudra Pratap Singh මෙන් ම  2014 වසරේ දී බංග්ලාදේශයේ දී පැවැති ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් වූ ඉන්දීය කණ්ඩායමේ  Suresh Raina ද මෙම කණ්ඩායම නියෝජනය කිරීම කැපී පෙණුනා.  

එමෙන් ම එදා මෙන් ම මෙදා ද අනුශූරයන් වූ පාකිස්තානය වෙනුවෙන් 2007 වසරේ ලෝක කුසලාන අනුශූර කණ්ඩායමේ මෙන් ම 2009 වසරේ ශූරයන් වූ කණ්ඩායම ද නියෝජනය කළ Younis Khan, Misbah-ul-Haq සහ Shahid Afridi ද 2009 ලෝක ශූර කණ්ඩායම නියෝජනය කළ Abdul Razzaq ද මෙම කණ්ඩායම හා සමඟ ද එක් ව සිටියා.  

එදා අවසන් මහා තරගයේ වීරයා වීමට Irfan Pathan සමත් වූ අතර මෙදා තරගාවලියේ වීරයා බවට පත් වීමට ඔහුගේ වැඩිමල් සොයුරු Yusuf Pathan සමත් වීම කැපී පෙණුනා.  

මෙම තරගවලිය සඳහා Brett Lee ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව, Younis Khan ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානය, Chris Gayle ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව්, Yuvraj Singh ගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව, Jacques Kallis ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකාව සහ Kevin Pieterson ගේ නායකත්වයෙන් යුත් එංගලන්තය යන රටවල ප්‍රවීනයෝ සහභාගී වුවා. 

මේ වසරේ ICC විස්සයි විස්ස ශූරතාවේ ද හිමිකරුවන් වූ ඉන්දියාව ඊට මාසයක් ඉක්ම යෑමටත් මත්තෙන් ඔවුන්ගේ ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායම ද මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. 

ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය 
1  එංගලන්තය  ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.  
2  බටහිර ඉන්දීය කොදෙව්  ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායමට ලකුණු 27ක ජයක්.  
3  පාකිස්තානය  පාකිස්තාන ශූරයන්ගේ කණ්ඩායමට ලකුණු 68ක ජයක්.  
4  ඔස්ට්‍රේලියාව  ඔස්ට්‍රේලියා ශූරයන්ගේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්.  
5  දකුණු අප්‍රිකාව  දකුණු අප්‍රිකා ශූරයන්ගේ කණ්ඩායමට ලකුණු 54ක ජයක්.  
අවසන් පූර්ව වටය 
6  ඔස්ට්‍රේලියාව  ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායමට ලකුණු 86ක ජයක්.  
අවසන් මහා තරගය 
7  පාකිස්තානය  ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

අවසන් මහා තරගය, Birmingham, ජුලි 13, 2024, World Championship of Legends 

  • කාසියේ වාසිය – පාකිස්තානය 
  • ක්‍රීඩාංගණය – Birmingham හී Edgbaston 

මෙම තරගාවලියේ පාකිස්තාන ශූරයෝ අවසන් පූර්ව වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 20කින් ජයග්‍රහණය කරමින් ද සහ ඉන්දීය ක්‍රීඩකයෝ ඔස්ට්‍රේලියා ශූරයන්ට එරෙහිව ලකුණු 86ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද අවසන් මහා තරගය සඳහා එක් වූවා.  

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායක Younis Khan පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා. එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ 2007 වසරේ සිට 2019 වසර දක්වා විස්සයි විස්ස තරග 20ක නායකත්වය දැරූ Shoaib Malik.  

ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා. ඊට අමතර ව Kamran Akmal ලකුණු 24ක් ද සහ Sohaib Maqsood ලකුණු 21ක් ද ලබා ගන්නවා.  

පන්දු යැවීමේ දී Anureet Singh ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර Irfan Pathan, Pawan Negi සහ Vinay Kumar කඩුල්ල බැගින් බිඳ දමනවා.  

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Yuvraj Singh ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ශූරයෝ තවත් පන්දු 5ක් ඉතිරි කර ගනිමින් තරගයේ ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. එහි දී දකුණත් පිතිකරු Ambati Rayudu පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඔහුට අමතර ව Gurkeerat Singh Mann පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද සහ Yusuf Pathan පන්දු 16ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.  

තරගය ජයග්‍රහණයෙන් නිමා වෙද්දී නායක Yuvraj Singh පන්දු 22ක දී නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.  

කඩුලු ලබා ගැනීමේ දී Aamer Yamin ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර Shoaib Malik, Wahab Riaz සහ Saeed Ajmal කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

පාකිස්තාන ශූරයන්ගේ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 156 (20.0) Kamran Akmal 24, Sohaib Maqsood 21, Shoaib Malik 41, Sohail Tanvir නොදැවී 19, Anureet Singh 3/43 

 

ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 159 (19.1) Ambati Rayudu 50, Gurkeerat Singh Mann 34, Yusuf Pathan 30, Aamer Yamin 2/29 

  • ඉන්දීය ශූරයන්ගේ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  
  • තරගයේ වීරයා – Ambati Rayudu (ඉන්දියාව) 
  • තරගාවලියේ වීරයා – Yusuf Pathan (ඉන්දියාව) 

තරගාවලියේ සුවිශේෂී දක්ෂතා 

274/7 (20.0): ඔස්ට්‍රේලියා ශූරයන්ගේ කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වූවා.  

493: ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් කඩුලු 7ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 274ත් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් කඩුලු 6ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 219ත් සමඟින් වූ එකතුව කණ්ඩායම් 2ක් එක් ව තරගයක දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වූවා.  

104: ඔස්ට්‍රේලියා ශූරයන් විසින් දකුණු අප්‍රිකා ශූරයන්ට එරෙහිව ලකුණු 104කින් ලත් ජයග්‍රහණය තරගාවලියේ ඉහළ ම ජයග්‍රහණය බවට පත් වූවා.  

245: පාකිස්තාන ශූරයන්ගේ කණ්ඩායමේ Shoaib Malik විසින් තරග 7ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 245, තරගාවලියේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ එකතුව වූවා. 

මෙම ලැයිස්තුවේ ඊට පසුව  තරග 5ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 230ක් ලබා ගත් එංගලන්තයේ Ian Bell ද සහ තරග 7ක දී ලකුණු 225ක් ලබා ගත් Robin Uthappa ද මෙහි අසුන් වෙන්කර ගන්නවා.  

105*: තරගාවලියේ තරගයක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ දකුණු අප්‍රිකා ශූරයන්ගේ කණ්ඩායමේ Sarel Erwee පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයෙ පහර 6ක් සමඟින් පාකිස්තානයට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 105යි.  

ඔහුට අමතර ව මෙම තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවේ Ben Dunk ද පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි.  

ඊට අමතර ඔස්ට්‍රේලියාවේ Dan Christian ලකුණු 99කට ද සහ එංගලන්තයේ Ian Bell ලකුණු 97කට ද දැවී යමින් ශතක අහිමිකර ගත්  අවාසනාවන්තයන් බවට පත් වූවා.  

20x6s: තරගාවලියේ වැඩිම හයේ පහර ලබා ගත් පිතිකරු බවට පත් වූයේ ඔස්ට්‍රේලියාවේ Dan Christian. 

9: තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ ඔස්ට්‍රේලියාවේ Nathan Coulter-Nile. ඔහු මෙම දක්ෂතාවට පිවිසිමට තරග 6කට ක්‍රීඩා කරනවා.  

ඊට අමතර ව කඩුලු 9ක් දවා ගත් තවත් පන්දු යවන්නෝ 3 දෙනෙක් ද මෙම ලැයිස්තුවට එක් වෙනවා. ඒ පාකිස්තානයේ Wahab Riaz සහ Shoaib Malik මෙන් ම ඔස්ට්‍රේලියාවේ Brett Lee. 

4/14 (4.0): තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව පාකිස්තානයේ Sohail Tanvir සතු වෙනවා. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පෑ දක්ෂතාවයකුයි.  

187*: තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතාව පිහිටුවීමේ වාර්තාව දකුණු අප්‍රිකාවේ Jacques Snyman සහ Sarel Erwee සතු වෙනවා. ඔවුන් පාකිස්තානයට එරෙහි ව 2 වැනි කඩුල්ල සඳහා පන්දු 95ක දී නොදැවී ලකුණු 187ක් ලබා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<