“පෙට්‍රල් නෑ පෙට්‍රල් නෑ” යනුවෙන් ගීතයක් නිර්මාණය වී ගත වූ සති කිහිපයක කාලයෙන් පසු එකම දිනයක දී ශ්‍රී ලංකාව ක්‍රීඩා දෙකකින් ආසියාවේ කිරුළු පැළඳියේය. 2022 සැප්තැම්බර් 11 වැනිදා යනු ආශ්චර්යක් නොවේ ද?
මින් සති කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ පරම සතුරා වූයේ බංග්ලාදේශය බව කීම සාවද්‍යයක් නොවේ. ඊට කැමති/අකමැති ප්‍රේක්ෂකයන් කොතෙකුත් වාද විවාද කළ ද, ආසියානු කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය හමුවේ අන්ත පරාජයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම බලාපොරොත්තුව වූයේ ආසියානු කුසලාන දිනා ගැනීම නොව, කෙසේ හෝ අධිමානිත බංග්ලාදේශය පරාජය කිරීමයි. ඉන්දියාව, පාකිස්තානය සිටියේ ඊට ඉහළිනි. අප සිටි සත්‍ය තත්වය එයයි.
එහෙත් සියල්ල අවසානයේ ලෝක ක්‍රිකට් බලවතා වන ඉන්දියාවත්, ආසියානු ක්‍රිකට් බලවතෙකු වන පාකිස්තානයත්, දකුණු ආසියානු ක්‍රිකට් බලවතෙකු වන බංග්ලාදේශයත්, නැගී එන සීමිත පන්දුවාර ක්‍රිකට් බලවතෙකු වන ඇෆ්ගනිස්තානයත් යන සියලු තරාතිරම්වල කණ්ඩායම් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2022 ආසියානු ක්‍රිකට් ශූරයන් විය. ආශ්චර්යක් නොවේ ද?
මින් මාස කිහිපයකට පෙර ලොව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා වූ ශ්‍රී ලංකාවට විදෙස් සංචිත හිඟ වීම නිසා ඉන්ධන මිලට ගැනීම, සුඛෝපභෝගී භාණ්ඩ මිලට ගැනීම සීමා කිරීමට සිදු විය.
මහජනයා පෝලිම් වල අව්ව තපිද්දී, වැසි වලට තෙමෙද්දී කාලය ගත වූයේ මූසල සැකයක් සිත් තුළ රජ කරමිනි. රාත්‍රියෙහි වැඩ නිමවී, ඉන්ධන හිඟකම හේතුවෙන් සීමා වූ පොදු ප්‍රවාහන සේවා තුළ තෙරපි තෙරපී යාන්තමින් නොමැරී නිවසට විත් විදුලි ආලෝකය නොමැති රාත්‍රීන් ගතකරන්නට අප සියලු දෙනාටම සිදු විය.
ගතවූයේ ජීවිතය පිළිබඳ සුපහන් බලාපොරොත්තු රහිත දින, සති, මාස ගණන් ය. තරුණ තරුණියන් පොදි පිටින් රට හැර යන්නට විය. නෛතික/අනීතික ඕනෑම මාර්ගයකින් මෙරටින් පිටවීම බොහෝ දෙනාගේ ඒකායන බලාපොරොත්තුව විය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දසදෙනකුට වැඩි පිරිසක් ක්‍රීඩා ගම්මානයෙන් පැන ගියෝය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පියාසර කරන්නේ එවැනි පසුබිමක් යටතේයි. ඒ ගැන නොයෙක් පුවත් මැවිණි. ඒ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව මෙරට මාධ්‍යවල ස්වභාවයයි. ඒ සියලු පුවත්වලට පිටුපසින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමත් ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් සිංගප්පූරුව බලා ගියේය.
ක්‍රීඩා දෙකක්, තරගාවලි දෙකක් වුවත් දෛවෝපගතව මේ තරගාවලි දෙකෙහිම අවසන් මහා තරග පැවැත්වීමට නියමිතව තිබුණේ එකම දිනයක දීයි. වෙනදාට ගමටම හුරේ දමා විනෝදයෙන් අවසන් තරග නැරඹූ අපට මෙදා අවසන් තරග නරඹන්නට වූයේ අවම පහසුකම් යටතේ වුවත්, මෙතෙක් කල් පැය ගණන් විසන්ධි වූ විදුලිය දැන් එලෙස විසන්ධි වන්නේ නැත.
ආර්ථික අවපාතයෙන් පසුව ආහාර හිඟයක බිය, ඖෂධ හිඟයක බිය, ආරක්ෂාව පිළිබඳ සැකය කෙතරම් තිබිය දීත් නොමැරී සිටීමට ශ්‍රී ලාංකික අපි වගබලා ගත්තෙමු. ඉන්දියා බිය, පාකිස්තාන බිය, බංග්ලාදේශ බිය ශ්‍රී ලංකා ක්‍රිකට් වටලා තිබිය දී ඔවුන් නොපසුබැස ක්‍රීඩා කළ ආකාරයත්, සිංගප්පූරු බිය, මැලේසියානු බිය හමුවේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරයත් ඊට සමාන ය.
බංග්ලාදේශය හමුවේ තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය කරා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මූල්‍යමය වශයෙන් ලෝක ක්‍රිකට් බලවතා වන ඉන්දියාව හමුවේ අවසන් පන්දුවේ දී තරගය ජය ගත් ආකාරය ශ්‍රේෂ්ඨ ය.
පාකිස්තානයට එරෙහි අවසන් මහා තරගයේ දී ලකුණු 58කට කඩුලු 5ක් දැවී තිබූ මොහොතේ සිට ලකුණු 170ක් කරා ඉනිම ඔසවා ගැනීම වෙනුවෙන් ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ට ය. ඒ සියල්ල විසින් නොපසුබස්නා ශ්‍රී ලාංකිකකම අපට කියාපෑවේ ය.
හැත්තෑ ගණන්වල අප සිංගප්පූරුවට වඩා ආර්ථික වශයෙන් දියුණු වූ බවත්, එකල ලී ක්වාන් යූ නම් සිංගප්පූරු පාලකයා විසින් “මම සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරනවා” යැයි කියූ බවත් නොයෙක් වර අසා ඇත්තෙමු. එම කතා පුවත ශ්‍රී ලංකාව තුළ කෙතරම් දූෂණයට ලක්වී ඇත්දැයි නූතන ලී ක්වාන් යූලා විසින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට දරන උත්සාහයන් දෙස බැලීමේ දී දැකිය හැකිය. එහෙත් දැල්පන්දුවෙන් අපි සිංගප්පූරුව පරදවා අවසාන ය.
තරගාවලියට ආරම්භයක් වශයෙන් මැලේසියාව හමුවේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඉදිරියට ගියේ ලකුණට-ලකුණ න්‍යායෙනි. කණ්ඩායම් දෙක අතරමැද කිසිදු ඉඩක් සොයාගැනීම අපහසු විය. එහෙත් අවසන් මිනිත්තු කිහිපයේ දී මනස නොසොල්වා තබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 55-53ක් ලෙස ජයගත්හ.
ඉන්පසුව ඔවුනට තරගාවලිය තුළ අභියෝගයක් නොතිබුණු තරම් ය. සිංගප්පූරුව, හොංකොං යන සියලු කණ්ඩායම් ඔවුන් හමුවේ පරාජය වී ආසියානු දැල්පන්දු රන් පදක්කම් හිමි වූයේ ශ්‍රී ලංකාවට යි. ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට වඩා දියුණු සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං යන සියලු රාජ්‍යයන් එකට තබා පරාජය කොට අවසාන ය.
මලානිකව සිටි ලක් මවට මේ ජයග්‍රහණ දෙකම ශ්‍රී ලංකාවට ලැබුණේ එකම දිනයක දීයි. ආශ්චර්යක් නොවේ ද?
අනෙක් දෛවෝපගත කාරණය වන්නේ එකම දිනයක දී දිනා ගත් මෙම ශූරතා දෙකම ඒ ඒ ක්‍රීඩාවලින් ලද “ශ්‍රී ලංකාවේ හය වැනි ආසියානු ශූරතා” වීමයි. මේ වසරට පෙර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පස් වතාවකුත්, දැල්පන්දු ක්‍රීඩාවෙන් පස් වතාවකුත් ශ්‍රී ලංකාව ආසියානු ශූරතා දිනාගෙන තිබුණි. එබැවින් උක්ත ක්‍රීඩා දෙකම සයවැනි අභිෂේකය ලැබුවේ එකම දිනක දී ය. ආශ්චර්යක් නොවේ ද?
පෝලිම් අඩු වී ඇත. ශ්‍රී ලංකාව ලෙස අපි අති උද්ධමන පෝලිමේ පසුපසට යමින් සිටින්නෙමු. විදුලිය විසන්ධි වීමේ කාලය අඩු වෙමින් තිබේ. අවම තරමින් අපි නොමැරී සිටින්නෙමු. ආශ්චර්යයක් නොවේ ද?
සියල්ල යථා තත්වයට පත්වී නැති බව සැබෑ ය. එහෙත් සියල්ල යථා තත්වයට පත්වනතෙක් අප ඉදිරියට යා යුතු බව කියන පණිවුඩය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසිනුත්, දැල්පන්දු කණ්ඩායම විසිනුත් එකම දිනයක දී අපට කියා දී ඇත. ඉතින් අපි සැමරිය යුතුය.
“ආසියාවේ ආශ්චර්ය” අද ය. එය හෙට නොවේ. ක්‍රීඩාවෙන් අපි එය කර ඇත්තෙමු. එහෙත් ඒ දස්කම් මතම පමණකි. තවමත් මෙරට උපදින්නන් වාසනාවන්තයන් යැයි කියන්නේ එබැවිනි. ඔවුන් දස්කම් වලින් විස්කම් මැවිය හැක්කන් ය. එහෙත් යම්කිසි කාරණයකින් අපව නොමඟ යවා ඇත. නිවැරදි මඟ සොයා ගනිමු.
ඉටු කිරීමට තව බොහෝ දේ ඇත්තේය. ඉටු කිරීමට ඇති බොහෝ දේ කර නිමා කරන දිනයක් ගැන බලාපොරොත්තුවක් නැතත්, ඒ සියලු දේ සම්පූර්ණ කරන දිනයක් සිහිනෙන් හෝ පැමිණියහොත් එය ද ආශ්චර්යක් නොවේ ද?
එය කිසිදු දිනක කළ නොහැකි ද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙස බලමු. නැතහොත් දැල්පන්දු කණ්ඩායම දෙස බලමු. ඒ ආසියාවේ වර්තමාන ආශ්චර්යයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<