ශ්‍රී ලංකාව නැවත නවසීලන්තය පරාජය කරයි

Women's Under-19 Tri-Nation in Australia 2024

101
Women's Under-19 Tri-Nation in Australia 2024 - Match Report

ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (26) අවසන් වූ අතර එම තරගයේ දී නවසීලන්තයට එරෙහි ව ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

Queensland හී, Bill Pippen Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 110ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 103ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වුණේ පෙර ඔස්ට්‍රේලියාව හා සමඟ තරග කළ කණ්ඩායමේ එක් වෙනස්කමක් සහිතවයි. ඒ රශ්මි නේත්‍රාංජලී වෙනුවට දනුලි තෙන්නකෝන් කණ්ඩායමට එක් කර ගනිමිනුයි.

නවසීලන්ත කණ්ඩායම මෙම තරගයට එක් වූයේ පෙර තරගයට ක්‍රීඩා කළ Hannah Wallace සහ Abigail Hotton විවේක ගන්වමින් ඒ වෙනුවට Darcy Rose Prasad සහ Kate Irwin කණ්ඩායමට එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, දනුලි තෙන්නකෝන්, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.

නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

Tash Wakelin (නායිකාව), Elizabeth Buchanan (කඩුලු රකින්නිය), Darcy Rose Prasad, Emma McLeod, Izzy Sharp, Eve Wolland, Anika Todd, Abby Treder, Rishika Jaswal, Louisa KotKamp සහ Kate Irwin.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නායිකා මනුදි නානායක්කාර යි. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඊට අමතර ව විමෝක්ෂා බාලසූරිය ද පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ද සහ දැහැමි සෙනෙත්මා පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.

මේ අතුරින් මනුදි නානායක්කාර සහ දැහැමි සෙනෙත්මා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩ නැගූවා.

කඩුලු දවා ගැනීමේ දී අද පළමු වරට කණ්ඩායමට එක් වූ Kate Irwin ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Anika Todd ද කඩුලු 3ක් දවා ගනිමින් ඇයට අනගි සහයෝගයක් ලබා දුන් අතර නායිකා Tash Wakelin සහ Louisa KotKamp කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් වැඩි දක්ෂතා දැක් වූයේ Eve Wolland සහ Izzy Sharp. ඒ අතුරින් Eve Wolland පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ Izzy Sharp පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව Darcy Rose Prasad පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 12කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා කඩුලු 2ක් ද, හිරුණි හංසිකා සහ අශේනි තලගල කඩුල්ලක් බැගින් ද බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 110 (20.0) විමෝක්ෂා බාලසූරිය 24, මනුදි නානායක්කාර 41, දැහැමි සෙනෙත්මා 18, Anika Todd 3/22, Kate Irwin 3/13

 

නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 103 (20.0) Eve Wolland 23, Izzy Sharp 22, Darcy Rose Prasad 18, චමෝදි ප්‍රබෝධා 2/12, ප්‍රමුදි මෙත්සරා 2/15

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

මෙම තරගයත් සමඟින් තුන් කොන් විස්සයි විස්ස තරගාවලිය අවසන් වූ අතර එහි දී ඔස්ට්‍රේලියාව තමන් සහභාගී වූ තරග 4 ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දිනා ගත් අතර ශ්‍රී ලංකාව තරග 2ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානය දිනා ගත්තා. සියලුම තරග පරාජය වූ නවසීලන්තයට හිමි වූයේ අවසන් ස්ථානයයි.

මෙම තරගාවලිය අවසන් වීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟින් සීමිත පන්දුවාර තරග 2කට ද සහභාගී වීමට නියමිතයි. ඒ අනුව සැප්තැම්බර් මස 30 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟින් ද සහ ඔක්තෝබර් 01 වැනිදා නවසීලන්තය සමඟින් ද තරග වැදෙන අතර එම තරග ද්විත්වය ම Alan Pettigrew Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

වයස අවුරුදු 19න් පහළ තුන් කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<