රශ්මිකා සෙව්වන්දි ගේ තුන් ඉරියව් දක්ෂතා සමඟින් ප්‍රමුදි මෙත්සරා ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ම පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (20) සමත් වුනා.
Brisbane හී Alan Pettigrew Oval ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නවසීලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 79ක් පමණයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.
නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Tash Wakelin (නායිකාව) , Elizabeth Buchanan (කඩුලු රකින්නිය) , Emma McLeod , Izzy Sharp , Eve Wolland , Anika Todd , Hannah Wallace , Abby Treder , Rishika Jaswal , Louisa KotKamp , Abigail Hotton
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ රශ්මිකා සෙව්වන්දි සහ රශ්මි නේත්‍රාංජලී (03) එක් ව 7 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 37යි.
කඩුලු 6කට ලකුණු 104ක් ව තිබූ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7කට ලකුණු 141ක් බවට පත් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූවා. එහි දී වැඩි දායකත්වයක් දැක් වූ රශ්මිකා සෙව්වන්දි පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා.
ඇය ට අමතර ව ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත් අතර ඇය පළමු කඩුල්ල වෙනුවෙන් හිරුණි හංසිකා (1) සමඟින් ලකුණු 25ක සබඳතාවක් ද ගොඩ නගනවා.
අනතුරු ව ඇය සුමුදු නිසංසලා සමඟ 3 වැනි කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා. සුමුදු නිසංසලා 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.
නායිකා මනුදි නානායක්කාර ද මැදි පෙළින් පිටියට පිවිස පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ දැහැමි සනෙත්මා පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Anika Todd ලකුණු 20කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Rishika Jaswal, නායිකා Tash Wakelin සහ Hannah Wallace කඩුල්ල බැගින් දවා ගන්නවා.
- කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි
- හේරත් නවසීලන්තය සමඟ එක් වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසෙන නවසීලන්ත ඉනිම 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා. එහි දී ලකුණු 6කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ප්‍රමුදි මෙත්සරා සමත් වෙනවා.
නවසීලන්ත ඉනිමේ කඩා වැටීම සිදු වෙන්නේ ලකුණු 59ක් ව තිබිය දී කිසිදු ලකුණක් ලබා නොදෙමින් තවත් කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීමත් සමඟිනුයි. එහි දී ප්‍රමුදි මෙත්සරා ට අමතර ව පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දැක් වූ රශ්මිකා සෙව්වන්දි සේ ම චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ ද කඩුලු 2ක් බැගින් දවා ගන්නවා.
නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිනී Eve Wolland. ඇය පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා. ඊට අමතර ව Anika Todd පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගන්නවා. අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා දෙන්නේ නැහැ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 148 (20.0) සංජනා කාවින්දි 30, මනුදි නානායක්කාර 19, රශ්මිකා සෙව්වන්දි නොදැවී 36, Anika Todd 3/20
නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 79 (17.3) Eve Wolland 24, Anika Todd 12, රශ්මිකා සෙව්වන්දි 2/14, චමෝදි ප්‍රබෝධා 2/17, අශේනි තලගුණේ 2/16, ප්‍රමුදි මෙත්සරා 3/06
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 69ක ජයක්.
නවසීලන්තය මෙතෙක් මෙම තරගාවලියේ තරග 2කට සහභාගී වූ අතර එම තරග 2 දී ම ඔවුන්ට පරාජයට වීමට සිදු වූවා. තරගාවලිය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියාව සමඟ පැවැති පළමු තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනිමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත් වෙනවා.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 22 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟින් Brisbane හී, Ian Healy Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ තුන් කොන් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<