චමරි සහ විශ්මි ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ගෙන යයි

Women’s T20 Asia Cup

2
Women’s T20 Asia Cup

චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නගේ විසින් පළමු කඩුල්ලට එක් කළ නොබිඳුණ සබඳතාවය හමුවේ තායිලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහි ව අද (24) රාත්‍රී පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 12 වැනි හෙවත් පළමු වටයේ අවසන් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ද ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට සුදුසුකම් ලබා ගත්තා. ඒ තරගාවලියේ B කාණ්ඩයේ පළමු වැනියා ලෙසින් අපරාජිතව සිටිමිනුයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් තායිලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් ලබා ගත් අතර එම ඉලක්කය පන්දු 51ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා.

කාසියේ වාසිය දිනාගත් තායිලන්ත නායිකාවගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ප්‍රතිවාදීන්ට හඹා යන ඉලක්කයක් ලබා දීමටයි. නමුත් එම ගමන ඔවුන්ට එතරම් ම ලෙහෙසියෙන් යෑමට හැකි වන්නේ නැහැ.

ඒ ගමනේ දී පළමු පන්දුවේ දී ම ඔවුන්ගේ පළමු කඩුල්ල දැවී යනවා. අනතුරු ව ඔවුන්ට පළමු පන්දුවාර 10 අවසන් වන තුරු ද රැස් කිරිමට හැකි වෙන්නේ ලකුණු 42ක් පමණයි. ඒ වෙද්දී කඩුලු 3ක් ද ඔවුන්ට අහිමි වී තිබුණා.

තායිලන්ත ඉනිමේ ලකුණු 50 වාර්තා වන්නේ ද 79 වැනි පන්දුවේදී වන අතර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ  Nannapat Koncharoenkai. ඇය තායිලන්ත ඉනිම අවසන් වන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියා.

ඊට අමතර ව Aphisara Suwanchonrathi ලකුණු 12ක් සහ නායිකාව වූ Thipatcha Putthawong පන්දු 17ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගන්නවා.

ඒ ලෙසින් අසරණ වූ ඉනිමේ අවසන් පන්දු 5 දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගැනීමට Nannapat Koncharoenkai සහ Rosenan Kanoh (5*) සමත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 13කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ඉනෝෂි ප්‍රියදර්ශනී, චමරි අතපත්තු, අචිනි කුලසූරිය සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගන්නවා.

සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා හඹා යන ඉනිම ආරම්භ කරන්නේ විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු එක්වයි. මේ ක්‍රීඩිකාවන් දෙදෙනා හිතුවක්කාරී ලෙසින් ක්‍රීඩාංගණයේ දස අතට පහරවල් එල්ල කරමින් තායිලන්ත පන්දු යවන්නියන් අසරණ කළා. ඒ අතරට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ඇතුලත් කිරීමට ද ඔවුන් දෙදෙනා සමත් වූවා.

ඔවුන් දෙදෙනා එක් ව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 50 පන්දු 50ක් වෙද්දී ලබා ගැනීමට සමත් වෙන අතර ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙන්නේ පන්දු 69ක් පමණක් උපයෝගී කර ගනිමිනුයි. ඒ අනුව ඉනිමේ අවසන් ලකුණු 44 සඳහා ඔවුන් වැය කරන්නේ පන්දු 19ක් පමණයි.

තරගයෙන් ජයග්‍රහණය කරන විට ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට නොදැවුණ ලකුණු 94ක සබඳතාවක් එක් කර තිබූණා. චමරි අතපත්තු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා සිටි අතර විශ්මි ගුණරත්න පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 93 (20.0) Nannapat Koncharoenkai 47, කවීෂා දිල්හාරි 2/13

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 94 (11.3) විශ්මි ගුණරත්න නොදැවී 39, චමරි අතපත්තු නොදැවී 49

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

මෙම තරගයේ නිමාවත් සමඟින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තීරණය කෙරුණ අතර ඒ අනුව පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සඳහා බංග්ලාදේශය සහ ඉන්දියාව ද 2 වැනි අවසන් පූර්ව තරගය සඳහා පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව ද සුදුසුකම් සපුරා ගත්තා.

එම තරග ද්විත්වය මේ මස 26 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<