චමරි අතපත්තු වාර්තා ගත ශතකයක් ලබා ගනී

Women’s T20 Asia Cup

3
Women’s T20 Asia Cup

චමරි අතපත්තු ගේ වාර්තාගත ශතකයත් සමඟින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි ජයග්‍රහණයත් පහසුවෙන් ම ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) සමත් වුනා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද පස්වරුවේ පැවැතියේ සත්කාරක ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයයි. එම තරගයෙන් ලකුණු 144ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ජයග්‍රහණයේ නියමුවා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙම තරගයේ දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගත්තා. එය ඇයගේ 136ක් වූ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ තෙවැනි ශතකය මෙන් ම ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මැලේසියා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 40ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ ද මෙවර සාර්ථක සබඳතාවක් පිහිටුවීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. පෙර තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ විශ්මි ගුණරත්නට අද තරගයේ දී ලබා ගැනීමට හැකි වන්නේ එක් ලකුණක් පමණයි.

ලකුණු 5 දී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල අහිමි වීමෙන් පසුවට පිටියට එක් වෙන්නේ හර්ෂිතා සමරවික්‍රම යි. ඒ අනුව චමරි අතපත්තු හා එක් වූ හර්ෂිතා සමරවික්‍රම 2 වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් එක් කරමින් පළමු කඩුල්ලේ වාඩුව මැලේසියානු ක්‍රීඩිකාවන්ගෙන් ලබා ගන්නවා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ පන්දු 51ක් පමණයි.

පන්දු 23ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටිය දී හර්ෂිතා සමරවික්‍රම ගේ ඉනිම මෙන් ම 2 වැනි කඩුල්ලේ සබඳතාව ද අවසන් වෙනවා. ඊට පසුව  චමරි අතපත්තු සමඟ එක් වෙන්නේ අනුෂ්කා සංජීවනී.

ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 115ක් ලබා ගනිමින් මැලේසියානු පන්දු යවන්නියන් මවිතයට පත් කරනවා. චමරි අතපත්තු ශතකයක් ලබා ගනිමින් එක් අන්තයක නතර වී සිටිය දී ඉනිමේ අවසන් කඩුලු 2ක ලෙසින් පිට පිට පන්දු 2ක දී අනුශ්කා සංජීවනී සහ කවීෂා දිල්හාරි දැවී යනවා.

අනුශ්කා සංජීවනී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී දැවී යන අතර කවීෂා දිල්හාරි මුහුණ දුන් පළමු පන්දුවේ ම තම කඩුල්ල බිඳ ගන්නවා.

එම කඩුලු ද්විත්වය ම Winifred Duraisingam සතු වෙන අතර ඊට අමතර ව Mahirah Izzati Ismail සහ Suabika Manivannan ද කඩුල්ල බැගින් දවා ගන්නවා.

ලකුණු 185ක් හඹා යන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි මැලේසියානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ Elsa Hunter. ඇය ද ලබා ගන්නේ ලකුණු 10ක් පමණක් වන අතර ඒ වෙනුවෙන් ඇය පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් තම ඉනිමට එක් කර ගන්නවා.

අනෙකුත් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ නොදුන් අතර ඒ අතුරින් වඩාත් දක්ෂතා දැක් වූයේ තවමත් 15 හැවිරිදි වියේ පසුවෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට පිවිසි වමතින් දඟ පන්දු යවන ශෂිනි ගිම්හානි යි.

ඇය මෙම තරගයේ දී තම පන්දුවාර 4 ලකුණු 9කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගන්නවා. එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.

ඇයට අමතර ව කවීෂා දිල්හාරි ලකුණු 4කට කඩුලු 2ක් ද සහ කාව්‍යා කාවින්දි ලකුණු 7කට කඩුලු 2ක් ද දවා ගනිමින් ඇයට කදිම සහයෝගයක් ලබා දුන්නා. ඊට අමතර ව සචිනි නිසංසලා, අමා කාංචනා සහ ඉනෝෂි ප්‍රියදර්ශනී ද කඩුල්ල බැගින් බෙදා ගත්තා.

මෙම තරගයේ දී මැලේසියාවේ 16 හැවිරිදි වියේ පසුවෙන Nur Izzatul Syafiqa විස්සයි විස්ස කාන්තා ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 184 (20.0) චමරි අතපත්තු නොදැවී 119, හර්ෂිතා සමරවික්‍රම 26, අනුශ්කා සංජීවනී 31, Winifred Duraisingam 2/34

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 40 (19.5) Elsa Hunter 10, කාව්‍යා කාවින්දි 2/07, ශෂිනි ගිම්හානි 3/09, කවීෂා දිල්හාරි 2/04

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 144ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු(ශ්‍රී ලංකාව)

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ B කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සමත් වූනා. ඔවුන් ගේ මීළඟ තරගය මේ මස 24 වැනිදා තායිලන්තයට එරෙහි ව රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතයි. එය මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයයි.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<