ආසියානු කුසලානය දිනා ගැනීමෙන් ඉනික්බිතිව

Women’s T20 Asia Cup

3
Women’s T20 Asia Cup

එය මනරම් රාත්‍රියක් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ස්තූතියි.

හිරු අවරට යන සැන්දෑවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ලත් ජයග්‍රහණය, ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට කලකට පසුව රසවිඳිය හැකි වූ ආශ්වාදනීය තරගයක් සේ අවිවාදයෙන් හැඳින්විය හැකියි.

ජවය, උනන්දුව සහ ප්‍රතිමල්ලවයන්ගේ පීඩනය දරා ගනිමින් ගෙන ගිය ඒ ක්‍රිකට් අරගලය මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළින් ම ඔසවා තැබූ රාත්‍රියක් බවට පත් වුණි. පෙර කැපවීම සහ පුහුණුව ආශිර්වාදයක් කරගත් එම තරගයේ දී අප දුටුවේ අතීතය සහ අනාගතය කදිමට ගලපා ගත් වර්ථමානයකි.

එහි ගෞරවය ඊට සම්මාදන් වූ සියල්ලට ම හිමි විය යුතුයි.

එසේ වන්නේ මේ ජයග්‍රහණය නිර්මාණය කිරීමේ දී දීර්ඝ ඉතිහාසයක යැපීම් තිබෙන නිසාවෙනි. එහි එදා සිටියෝ අද නොමැති විය හැකියි. එය ස්වභාවයයි. නමුත් අද සිටින්නන්ට ජයග්‍රාහී සැලසුම් සකසන්නට එදා ඔවුන් කළ කී දේ කෙතරම් වැදගත් වූයේ ද? මේ බැව් දන්නෝ වර්ථමානයේ කණ්ඩායම සකසන්නන්ය. එබැවින් මේ ජයග්‍රහණය එදා සහ අද අතර ඇති වූ සාමූහික ප්‍රයත්නයක් සේ අප දකිමු. ඔවුන්ට ද එසේ දකින්නට යැයි ආරාධනා කරමු.

ඒ අනුව යමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවේ හැරවුම් ලක්ෂයක් බවට මේ ජයග්‍රහණය පත් කර ගැනීම කාගෙ කාගේත් වගවීම සහ වගකීම කර ගැනීම සුදුසුයැයි අප යෝජනා කරමු. අප එසේ යෝජනා කරන්නේ, ලත් මේ ජයග්‍රහණයෙන් පසුව ඇරඹෙන කාලය ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනීය කාල වකවානුවක් වීම වැලැක්විය නොහැකි බැවිනුයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගයේ දී  පරාජය කරන්නේ නිකං ම නිකං කණ්ඩායමක් නොවේ. ඔවුන් අවස්ථා 7ක දී ම ශූරියෝ ය. එමෙන් ම මීට පෙර ශ්‍රී ලංකා සහ ඉන්දියාව අවස්ථා 5ක දී එකිනෙකා හමුවෙමින් ඒ සෑම අවස්ථාවක ම ඔවුන්ට පරාජය වූ කණ්ඩායමක් ලෙසින් ය.

එමෙන් ම තරග වැඳුණ ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම ද සුළුපටු නොවේ. ඔවුන් ගේ කණ්ඩායමේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 100කට වැඩියෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවෝ 4, තරග 75කට වැඩියෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක් සහ තරග 50කට වැඩියෙන් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 2ක් ඇතුලත් වුණි.

මේ අතර ලකුණු 3000ක් ඉක් ම වූ පිතිකාරිනියන් 2ක්, ලකුණු 2000ක් ඉක් ම වූ ක්‍රීඩිකාවක් සහ ලකුණු 1000ක් සහ කඩුලු 100ක් ඉක්ම වූ ක්‍රීඩිකාවක් ද මේ අතර වේ.

උඩ දාගෙන බැට දෙන්නට ඒ පිරිස හොඳටෝ ම ප්‍රමාණවත් ය. නමුත් සිදු වූයේ වෙනකති. උඩ දාගෙන බැට දුන්නේ අපේ ක්‍රීඩිකාවෝ ය.

මේ හැකියාව ඉබේ ඇති වූවක් නොවේ. ඒ වසර කිහිපයක් පුරා ම කළ කැපවීමේ සහ පුහුණුවීම් හී ප්‍රතිඵලයන් ය.

අප එසේ පවසන්නේ ඔවුන් එතරම් දෙයක් කළ ද, ඉන්දීය කණ්ඩායම තරම් පෝෂණීය මට්ටමේ අපේ ක්‍රීඩිකාවෝ නොසිටි බැවිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 100ක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 2ක්, තරග 75ක් ඉක්මවා ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 4ක් සහ තරග 50ක් ඉක්මවා ක්‍රීඩා කළ  ක්‍රීඩිකාවන් 2ක් සිටිය හ. මේ අතුරින් චමරි අතපත්තු පමණක් ලකුණු 3000ක් ඉක්මවා ලබා සිටි අතර ලකුණු 1000ක් ඉක් ම වූ තිදෙනෙක් ද සහ කඩුලු 100ක් ඉක්ම වූ එක් අයෙක් ද ලෙසින් කණ්ඩායම සමන්විත වුණි.

නමුත් ඒ ගණන් හිලවු පමණක් තරගයකට අදාළ නොවන බැව් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙන්වා දුන් හ. ඔවුන් ඒ බැව් සනාථ කළේ ඉන්දියාව පරාජය කරමින් පමණක් නොවේ, අවසන් පූර්ව වටයේ දී පාකිස්තානය ද පරාජය කරමිනි.

නිමා වූ තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් පූර්ව තරගයේ දී සේ ම අවසන් මහා තරගයේ දී ද ක්‍රීඩාංගණය උතුරන්නට ප්‍රේක්ෂකයෝ ඇඳී ආවේ “පරදින පිරිමි ක්‍රිකට්” බලනවාට වඩා “ගැහැණූ ක්‍රිකට්” බලා ආශ්වාදයක් ලැබීම ප්‍රමුඛ කාර්ය කර ගනිමිනුයි සිතේ. එමෙන් ම ඒ අතර අපේ ක්‍රිකට් බැලීමට වඩා විදෙස් ක්‍රිකට් දැක බලා ගැනීම ද ප්‍රමුඛ කාර්ය කර ගත් අය ද නැත්තේ නොවේ. අනෙක් අතට ඔවුන්ට ඊට සහභාගී වීමට තවත් උත්තේජනයක් ලැබෙන්නේ නොමිලේ තරග නැරඹීමට අවස්ථාවක් ලැබීමයි.

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රේක්ෂක ආකර්ශනයක් පෙර කාලයේ නොවූ තරම් ය. එබැවින් ය, චමරි අතපත්තුට අපේ ක්‍රිකට් බලන්න එන්න යැයි කියන්නට සිදු වෙන්නේ.

චමරි ඒ ආරාධනාව කළත් නොකළත් ඊට පෙර කාන්තා ක්‍රිකට් බැලුවෝ ඕනෑ තරම් මෙරට සිටී. සුළුතරයක් වූ ඔවුන් වර්ගීකරණය කිරීමේ දී ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, ඔවුන්ගේ නෑදෑ හිතවතුන් සහ හිතවතුන්ගේ හිතවතුන් ලෙසින් දැක් විය හැකියි. ඔවුන් සෑම කලක දී ම මේ ක්‍රීඩිකාවෝ සමඟ රැඳී සිටි පිරිස් ය.

ඔවුන්ට ආසියානු කුසලාන හෝ වෙනත් ආරක තරගයක් සේ වර්ගීකරණයක් වූයේ නැතිවාක් මෙන් ම ගාල්ල – කොළඹ – දඹුල්ල කියා ද වෙනසක් වූයේ ද නැත. කාන්තා ක්‍රිකට් කොතැන ද ඔවුන් ඒ සෑම තැන්වල ම රැදී සිටිය හ. අඩුම තරමින් ඔවුන්ට තරගයට නැරඹීමට අසුනක් ලබා දෙන්නට කෙනෙක් සිටියේ නැත. ගස් සෙවනෙන් ඉර වහන් කරගන්නා ඔවුන්ට අසුන් වූයේ කොතැනක හෝ වූ ගල් තලාවන් ය.

ඔවුන් මේ කට්ට කෑවේ, මේ ක්‍රීඩිකාවෝ ආසියානු කුසලානය දිනනවා යැයි කියන තැනේ සිට නොව දිනුවොත් හොඳයි කියන තැනේ සිට ය. එබැවින් ඔවුන්ගේ ආශිර්වාදයත්, මේ ජයග්‍රහණයට ඉවහල් වූවා විය හැකියි.

මොවුන් ගමන් බිමන් ගියෝ වැඩි ලෙසින් ම බස් සහ දුම්රියවල ය. කෙනෙක් දෙන්නෙක් තුන් රෝද රියක පැමිණිය ද ඒ තුළ ප්‍රමාණය ඉක්මවා පටවා ගෙන යෑම ඔවුන්ගේ සිරිත ය. ගෙනෙන කෙනා තුන් හතර දෙනෙක්ට පිරිමහගත හැකි බත් පතක් රැගෙන පැමිණීම ද සිරිතක් ය.

අද මේ ජයග්‍රහණයෙන් වඩාත් සතුටු වන්නේ ඔවුන් ය. කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලත් කාලයේ පවා ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව අතහැරියේ නැත. තම දරුවාගේ, අසල්වැසියාගේ හෝ හිතවතාගේ දරුවා හෝ එවන්නන් වෙනුවෙන් ඔවුන් මේ කැපවීම කළ හ.

ක්‍රිකට් මේ තරමින් රැගෙන ආවාට ඔවුන්ට වෙනම ම ස්තූති කළ යුතුය.

දැන් ඉතිං, හෙට අනිද්දා වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වටා එක් රොක් වෙන ක්‍රීඩිකාවෝ බුරුතු පිටින් විය හැකියි. පුහුණුකරුවෝ ද එලෙස ම විය හැකියි. දෙමාපියන්ගේ ද සහ ක්‍රීඩාවේ යෙදිය හැකි වයස්වල පිරිස් ද මේ වටා එක් රොක් වීම සිදුවිය හැකිය.

ඒ අනුව චමරිලා – හර්ෂිතාලා – කවීෂලා අනුගමන කරන්නියෝ ඇති පදමට දැක ගැනීමට හැකි වනු නියතයි.

අපි එවන් වකවානුවන් පළමුවෙන් ම දකින්නේ 1996 පිරිමි එක්දින ලෝක කුසලානය දිනා ගත් අවදියේ දී ය. එකල ද අප මේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ද අනුමාන කරන වෙනස මෙරට පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වුණි.

ක්‍රීඩාංගණය පමණක් නොව පාර – තොට ද ඔවුන්ගේ තෝතැන්න වූ හ. ගම් – නියං ගම් කරා ගිය මේ ක්‍රීඩාව, ශ්‍රී ලංකාවේ ජනප්‍රියත ම ක්‍රීඩාව බවට පත් වෙන්නේ ඉතා කෙටි කාලයකින් ය.

එහි අනුප්‍රාප්තික කාලය ඊට වසර 18කට පසුව 2014 පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනිද්දීත් සිදුවී යැයි මතකයේ තිබේ. පෙර තත්ත්වයට ම නොවූවත් එහි බලපෑම ද ක්‍රිකට් ජනප්‍රිය වීමට බලපෑවේ ය.

මේ ගෙවී යන්නේ එම ජයග්‍රහණයෙන් පසුව 10 වැනි වසරයි.

මේ වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාව නොමැති ගමක් නැත. ක්‍රිකට් නොමැති පාසලක් ඇත්නම් ඒ කලාතුරකින් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ මෙන් ම කිසිදු නියාමනයක් නොමැති පන්නයේ ද ක්‍රීඩා සමාජ ඇති පදම් ය. ක්‍රිකට් තරග ද ඒ ආකාරයෙන් ම තිබේ.

ජාතික ක්‍රීඩාව නොසලකා හැරෙන තරමට ක්‍රිකට් ක්‍රීඩාව මෙරට සංස්කෘතිකයක් වී තිබේ. විලාසිතාවක් ලෙසින් සමාජයට බද්ධ වී අවසන් ය.

නමුත් මේ තත්ත්වය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ආදේශ වන්නේ තරමක් කුලෑටි ලෙසිනි. කෙල්ලක් ක්‍රිකට් ගසනවාට අකමැති වැඩිහිටියන් සිටින පවුල් ඕනෑ තරම් මෙරට සිටී. එබැවින් එහි යම් පසුබෑමක් තිබේ. එමෙන් ම කෙල්ලන් පුහුණු කරවන්නේ කොල්ලන් විසින් වීම ද ඒ වැඩිහිටියන්ට අල්ලන්නේ නැත. අනෙක් අතට මේ වෙද්දී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පවතින පාසල්වල ක්‍රීඩිකාවන්ට පාසල් ප්‍රජාව විසින් ම කෙරෙන කෙනෙහිළි කම් මෙන් ම නොසලකා හැරීම් ද තිබේ. එවන් විටෙක ක්‍රීඩාවට පිවිසෙන ක්‍රීඩිකාවන්ගේ අඩුවක්  ඉබේ ම නිර්මාණ වීම වැලැක්විය නොහැක.

එහෙත් ලැබු මෙම ජයග්‍රහණයත් සමඟින් එම බාධා යම් තරමකින් හෝ ඉවත් වෙනු ඇතැයි සිතිය හැකියි. කාන්තා ක්‍රිකට්  ලැබූ මේ ස්වර්ණමය ජයග්‍රහණයේ වටිනාම සහතිකය විය හැක්කේ එයයි.

එහෙත් ඒ ඉවත් වීම, මේ වෙද්දී පිරිමි ක්‍රිකට් තිබෙන තැනට පත් වීමට නම් නොවිය යුතුයි.

අප එසේ පවසන්නේ, එදා 1996 දී පිබිදුණ පිරිමි ක්‍රිකට්කම 2014 වසරේ දී නැවත ජනගත කෙරුණ ද අද ඊට කුමක් සිදු වී දැයි සිතෙන අවකාශයක ය.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<