Home Sinhala ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගනී

ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගනී

Women’s T20 Asia Cup

17
Women's Asia Cup 2024 Final

ජයග්‍රාහී ගමනේ අතර මග දී චමරි අතපත්තුගෙන් සුක්කානම ගිලිහී යද්දී එය සුරැකි හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ආසියානු පිටියේ කෙරුම්කාරිනියන් වී සිටි ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් 2024 ආසියානු කාන්තා කුසලානය මෙරට ට දිනා දීමට සමත් වූනා.

අද (28) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර එම ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සපුරා ගන්නේ කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දු 8ක් ඉතිරි ව තිබියදීයි.

ශ්‍රී ලංකාව මීට පෙර 2004, 2005, 2006 සහ 2008 වසරවල පැවැති එක්දින ආසියානු කුසලානවල දී මෙන් ම 2022 වසරේ පැහැති විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ දී ද අවසන් මහා තරගවල පරාජිත කණ්ඩායම ලෙසයි තරගාවලියන් නිමා කළේ.

ඒ සෑම අවස්ථාවක ම මෙන් ම මෙම අවස්ථාවේ දී ද අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාව වීම විශේෂත්වයක් වන අතර 2004 වසරේ දී ඇරඹි ආසියානු කුසලාන තරගමාලාවේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ අචිනි කුලසූරිය වෙනුවට 22 හැවිරිදි වියේ පසුවෙන සචිනි නිසංසලා එක් කරගෙන තිබූ අතර ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිදු වෙනසක් නොමැති ව මෙම තරගයට එක් ව සිටියා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

චමරි අතපත්තු (නායිකාව), විෂ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ උදේශිකා ප්‍රබෝධනී.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

Harmanpreet Kaur (නායිකාව), Shafali Verma, Smriti Mandhana, Uma Chetry, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Pooja Vastrakar, Radha Yadav, Tanuja Kanwar සහ Renuka Singh.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට එක් වූ Shafali Verma සහ Smriti Mandhana පළමු කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් එක් කරමින් ස්ථාවර ආරම්භයක් ලබා ගත්තා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Shafali Verma පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි. එම දැවී යෑමෙන් අනතුරු ව Uma Chetry (9) සහ නායිකා Harmanpreet Kaur (11) අඩු ලකුණුවලට සීමා වෙමින් දැවී ගිය ද ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව 7.25ක වේගයකින් රඳවා ගැනීමට Smriti Mandhana සමත් වෙනවා.

ඇය ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා. එම අර්ධ ශතක ඉනිම ඇය මෙම තරගාවලියේ පිට පිට එල්ල කළ 2 වැනි අර්ධ ශතකයයි.

ඇයට අමතර ව Richa Ghosh පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද සහ Jemimah Rodrigues පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගනිමින් ඉන්දිය ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක් වූවා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 17ක දී ලකුණු 31ක් එක් කළ අතර ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් පන්දු 30 තුළ ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 166ක අභියෝගය හඹා යන ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ ද ඔවුන්ගේ සබඳතාව පන්දු 10කට පමණක් සීමා වූවා. දුවද්දී දැවී යෑමකට හසු වෙමින් විශ්මි ගුණරත්න තම ඉනිම හැර යන විට එක් ලකුණක් පමණක් ලබා සිටි අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 7ක් ලෙසයි.

එම දැවී යෑමෙන් අනතුරු ව චමරි අතපත්තුට එක් වූ හර්ෂිතා සමරවික්‍රම තම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට ලකුණු ලබා ගැනීමට වැඩි ඉඩකඩක් ලබා දෙමින් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් සිටියා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉන්දීය පන්දු යවන්නියන්ට හිසරදයක් වෙමින් ශ්‍රී ලංකා ඉනිම ටිකෙන් ටික ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඒ අතර කාලයේ දී පන්දුවාරයකට ලකුණු 7ක් ඉක්මවා ලබා ගැනීමට ද ඔවුන් කටයුතු කළා.

නමුත් ඉනිමේ 12 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී එම ගමන වලකාලීමට දකුණතින් පිට දඟ පන්දු යැවූ Deepti Sharma සමත් වුනා. ඇයගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ ගැටීම හේතුවෙන් එතෙක් වේලා ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාරිය බවට පත් ව සිටි චමරි අතපත්තු ගේ ඉනිම නිමා වෙනවා.

ඒ වෙද්දී ඇය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා. අද තරගයේ දී චමරි අතපත්තු ලබා ගත්තේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 12 වැනි අර්ධ ශතකයයි.

චමරි අතපත්තු තම ඉනිම හැර යන විට හර්ෂිතා සමරවික්‍රම හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් එක් කර තිබුණා. ඇයගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු කඩා වැටුණ අයුරකුයි දැක ගන්නට ලැබුණේ. ඒ එතැන් සිට තරගයේ ජයග්‍රහණය වාර්තා කරන්නට නම් පන්දු 48ක් තුළ ලකුණු 72ක් අවශ්‍ය වූ බැවිනුයි.

ඒ අනුව ඒ වෙද්දී පිටියේ එක් ව සිටි හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ කැසකැවු අතර ඔවුන් දෙදෙනා එක් ව මුහුණ දුන් පළමු පන්දු 6 ලකුණු 5කට සීමා කිරීමට ද ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වූවා.

නමුත් ඊළඟ පන්දුවාරයේ දී හර්ෂිතා සමරවික්‍රම පිට පිට එල්ල කළ හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ද සහ අනෙක් පන්දුවාරයේ දී කවීෂා දිල්හාරි එල්ල කළ හයේ පහරක් සමඟින් ලකුණු 10ක් ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව පෝෂණය කළා.

ඉනිමේ 15 වැනි පන්දුවාරය අවසන් වෙද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 30ක දී ලකුණු 43ක් අවශ්‍ය වූවා. එතැන් සිට පන්දුවාර 2ක් ම ලකුණු 9ක් බැගින් ලබා ගන්නා මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා ඉනිමේ 18 වැනි පන්දුවාරයේ දී ලකුණු 17ක් ලබා ගනිමින් ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රාහී ගමනට බාධා කරනවා.

එම පන්දුවාරයේ ලකුණු 16ක් ම ලබා ගන්නේ හර්ෂිතා සමරවික්‍රම වන අතර ඊට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඇතුලත් වෙනවා. ඒ අනුව ඉනිමේ 19 වැනි පන්දුවාරය එළැඹෙන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 8ක් පමණක් අවශ්‍ය වෙමිනුයි.

ඒම අවශ්‍යතාව සිව් වැනි පන්දුවේ දී සපුරා ගැනෙන්නේ කවීෂා දිල්හාරි විසින් ඉදිරි පෙළ කලාපයට එල්ල කළ හයේ පහරක් සමඟිනුයි.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටියා. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 6 වැනි අර්ධ ශතකය වන අතර මෙවර ආසියානු කුසලාන තරගාවලියේ වාර්තා කරන ලද පළමු අර්ධ ශතකයයි.

කවිෂා දිල්හාරි නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 30ක්. ඒ වෙනුවෙන් ඇය පන්දු 16කට පමණක් මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 165 (20.0) Smriti Mandhana 60, Jemimah Rodrigues 29, Richa Ghosh 30, කවීෂා දිල්හාරි 2/36

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 167 (18.4) චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවිෂා දිල්හාරි නොදැවී 30, Deepti Sharma 1/30

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


India Women
165/6 (20)

Sri Lanka Women
167/2 (18.4)

Batsmen R B 4s 6s SR
Shafali Verma lbw b Kavisha Dilhari 16 19 2 0 84.21
Smriti Mandhana c Chamari Athapaththu b Kavisha Dilhari 60 47 10 0 127.66
Uma Chetry lbw b Chamari Athapaththu 9 7 1 0 128.57
Harmanpreet Kaur c Nilakshi de Silva b Sachini Nisansala 11 11 1 0 100.00
Jemimah Rodrigues run out (Anushka Sanjeewani) 29 16 3 1 181.25
Richa Ghosh c Anushka Sanjeewani b Udeshika Prabodhani 30 14 4 1 214.29
Pooja Vastrakar not out 5 6 0 0 83.33
Radha Yadav not out 1 1 0 0 100.00


Extras 4 (b 0 , lb 0 , nb 1, w 3, pen 0)
Total 165/6 (20 Overs, RR: 8.25)
Bowling O M R W Econ
Inoshi Priyadarshani 4 0 31 0 7.75
Udeshika Prabodhani 3 0 27 1 9.00
Sugandika Kumari 4 0 23 0 5.75
Kavisha Dilhari 4 0 36 2 9.00
Sachini Nisansala 2 0 20 1 10.00
Chamari Athapaththu 3 0 28 1 9.33


Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne run out (Richa Ghosh) 1 3 0 0 33.33
Chamari Athapaththu b Deepti Sharma 61 43 9 2 141.86
Harshitha Samarawickrama not out 69 51 6 2 135.29
Kavisha Dilhari not out 30 16 1 2 187.50


Extras 6 (b 0 , lb 4 , nb 1, w 1, pen 0)
Total 167/2 (18.4 Overs, RR: 8.95)
Bowling O M R W Econ
Renuka Singh 3 0 23 0 7.67
Pooja Vastrakar 3.4 0 29 0 8.53
Deepti Sharma 4 0 30 1 7.50
Tanuja Kanwar 4 0 34 0 8.50
Radha Yadav 4 0 47 0 11.75