T20 කාන්තා ආසියානු කිරුළ අභියස සිට

Women’s T20 Asia Cup

1

9 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් තීරණය කෙරෙන  තීරණාත්මක අවසන් මහා තරගය අද (28) සවස 3.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරගය ආසියානු කුසලාන ඉතිහාසයේ  දෙරට ක්‍රීඩිකාවෝ එකිනෙකා හමුවෙන 6 වැනි අවස්ථාවයි මේ.   

මීට පෙර පැවැති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියන් හී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්ථා 5ක දී එකිනෙකා හමු වී ඇති අතර ඒ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට හිස එසවීමට ඉන්දියාව ඉඩ ලබා දුන්නේ නැහැ.  

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ පළමු තරගාවලි 4 වෙන් වෙන්නේ එක්දින තරග ලෙසින් වන අතර ඒ සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරගයේ දී එකිනෙකා හමුවීම විශේෂත්වයක් වෙනවා. 

අනතුරු ව 2012 වසරේ සිට විස්සයි විස්ස තරග රටාව මෙකී කුසලානයට ආදේශ වන අතර ඒ අතුරින් අවසන් වරට බංග්ලාදේශයේ දී පැවැති තරගාවලියේ දී ද නැවත වතාවක් දෙරට ක්‍රීඩිකාවෝ එකිනෙකා හමුවෙනවා. එක්දින තරගාවලියේ සේ ම විස්සයි විස්ස තරගාවලියේ දී ද ඉන්දියාව අභිබවා යෑමට ශ්‍රී ලංකාවට හැකි වෙන්නේ නැහැ. 

මෙතෙක් පැවැති ආසියානු කුසලාන කාන්තා තරගාවලියන් හී ජයග්‍රාහකයන් 

  සත්කාරකත්වය  වසර  තරග  ජයග්‍රහණය  ප්‍රතිවාදීන් 
1  ශ්‍රී ලංකාව  2004  එක්දින  ඉන්දියාවට තරග 5-0ක ජයක්.  ශ්‍රී ලංකාව 
2  පාකිස්තානය  2005  එක්දින  ඉන්දියාවට ලකුණු 97ක ජයක්.  ශ්‍රී ලංකාව 
3  ඉන්දියාව  2006  එක්දින  ඉන්දියාවට කඩුලු 8ක ජයක්.   ශ්‍රී ලංකාව 
4  ශ්‍රී ලංකාව  2008  එක්දින  ඉන්දියාවට ලකුණු 177ක ජයක්.  ශ්‍රී ලංකාව 
5  චීනය  2012  T20  ඉන්දියාවට ලකුණු 18ක ජයක්.   පාකිස්තානය 
6  තායිලන්තය  2016  T20  ඉන්දියාවට ලකුණු 17ක ජයක්.   පාකිස්තානය 
7  මැලේසියාව  2018  T20  බංග්ලාදේශයට කඩුලු 3ක ජයක්.  ඉන්දියාව 
8  බංග්ලාදේශය  2022  T20  ඉන්දියාවට කඩුලු 8ක ජයක්.   ශ්‍රී ලංකාව 

 

අද තරගයට එක් වෙන කණ්ඩායම් ද්විත්වය ම අපරාජිතයන් ලෙසින් අවසන් මහා තරගයට එක් වෙන එබැවින් දෙපිලේ ම ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට එක් වූ කණ්ඩායම් සමඟින් මෙම තරගයට පිවිසෙනු ඇතැයි අනුමාන කළ හැකියි. 

කණ්ඩායම් ද්විත්වයේ ප්‍රතිවාදීන් අතර චමරි අතපත්තු සේ ම ඉන්දීය නායිකා Harmanpreet Kaur ද මෙතෙක් නිමා වූ තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් බැවින් ඔවුන් දෙදෙනා කරන කියන දේ මෙම තරගයේ තීරණයට වඩාත් තීරණාත්මක විය හැකියි.  

එම ගමනේ දී චමරි අතපත්තු මත පැටවෙන පීඩනය අතිමහත් විය හැකියි. ඉන්දියාව යනු ලෙහෙසියෙන් අණ්ඩුමට්ටු කළ හැකි කණ්ඩායමක් නොවේ. එබැවින් ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රතිවාදිනිය පාලනය කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ පරමාර්ථය විය හැකියි. එහි දී ඔවුන් තම උපරිමය චමරි අතපත්තු වෙත මුදාහරිමින් තරගයේ පාලනය තමන් වෙත ම නතු කර තබා ගැනීමට සියලු විධි විධාන යෙදීම වැලැක්විය නොහැකියි.  

එවන් අවස්ථාවක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් කළ යුත්තේ, චමරි අතපත්තු වෙත පැටවෙන ඒ පීඩනය අවම කිරීමට කටයුතු කිරීමයි. තම නායිකාව ආරක්ෂා කරගනිමින්, ඇයට වැඩි පීඩනයක් ලබා නොදෙමින් කණ්ඩායමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමයි. වැඩි දක්ෂතා අතරට පිවිසීමයි. එහි දී සුළු හෝ අතපසුවීමක් නොවීමට වගබලා ගැනීම ඔවුන් සතු යුතුකමක්.  

එම ගමනේ දී චමරි අතපත්තු පසු පස යමින් දැනට ලකුණු අතරට පිවිස ඇති විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම සහ අනුෂ්කා සංජීවනී වෙත තබා ඇති විශ්වාසය ඒ ලෙසින් මෙම තරගයේ දී ද රැක ගත යුතුයි. එමෙන් ම  තවමත් ලකුණු සොයමින් සිටින කවීෂා දිල්හාරි සහ හසිනි පෙරේරා වැන්නෝ ද තමන්ගේ තරම අවශ්‍ය ම තරගයේ දී හෝ කරළියට ගෙන එන්නේ නම් ප්‍රතිවාදීන් මෙල්ල කිරීම අපහසුවක් විය නොහැකියි.  

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ කවීෂා දිල්හාරි, උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී ප්‍රශස්ථ මට්ටමෙන් තම යුතුකම ඉටුකරමින් සිටින අතර එය මෙම තරගයේ දී වෙනදාටත් වැඩි පීඩනයකින් ප්‍රතිවාදීන් වෙත මුදා හැරිය යුතුයි. එසේ වෙන්නේ ඉන්දීය පිතිකාරිනියෝ සුළුවෙන් තැකිය නොහැකි නිසායි. එමෙන් ම ඔවුන්ට අමතර ව සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය සමඟින් චමරි අතපත්තු ද අවශේෂ පන්දු යවන්නියක් ලෙසින් තම කණ්ඩායම වෙනුවෙන් උපරිම දක්ෂතා දක්වනු ඇතැයි මෙරට ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවයි.  

ඉන්දියාවට එරෙහිව අද තරගයට පිවිසෙනු ඇතැයි සිතෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම: 

චමරි අතපත්තු (නායිකාව), විෂ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ උදේශිකා ප්‍රබෝධනී. 

ඉන්දීය ක්‍රීඩිකාවෝ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මත ම යමින් තම තමන්ගේ උපරිමය මෙම තරගයේ දී ද ප්‍රදර්ශනය කරනු නියතයි. ලෝක ඉතිහාසයේ වැඩි තරග ප්‍රමාණයක අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත ඉන්දීය ක්‍රීඩිකාවෝ මෙම තරගය තවත් තරගයක් ලෙසින් නොව ජයග්‍රහණය කළ යුතු ම තරගයක් කර ගන්නවාට සැක නැත. දැනටමත් ආසියාවේ පළමු වැනියා වී සිටින ඔවුන්ට තව දුරටත් එම කිරුළ රැක ගැනීම තම පළමු කාරිය ගනු ඇත.  

එහි දී   ඉන්දීය ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින Shafali Verma, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රතිවාදිනිය විය හැකියි. ඊට අමතර ව ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන Smriti Mandhana, Richa Ghosh සහ නායිකා Harmanpreet Kaur ශ්‍රී ලංකාවට එරෙහිව පිති අමෝරණ ප්‍රධාන පිතිකරණ ප්‍රතිවාදීන් ලෙසින් සැලකිය හැකියි.  

පන්දු යැවීමේ දී Deepti Sharma ඔවුන්ගේ ප්‍රධාන පන්දු යවන්නිය ලෙසින් කටයුතු කරන අතර ඊට අමතර ව Renuka Singh, Radha Yadav සහ Pooja Vastrakar ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදී පන්දු යවන්නියන් ලෙසින් අද තරගයේ දී දඹුලු බිමට පිවිසෙනු ඇතැයි සිතේ.   

ශ්‍රී ලංකාවට එරෙහිව අද තරගයට පිවිසෙනු ඇතැයි සිතෙන ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම: 

Harmanpreet Kaur (නායිකාව), Shafali Verma, Smriti Mandhana, Uma Chetry, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Pooja Vastrakar, Radha Yadav, Tanuja Kanwar සහ Renuka Singh. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<