ඉතිහාසය කැළඹු ශ්‍රී ලංකා – මැලේසියා තරගය

1

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය පමණක් නොව එහි ඉතිහාසය ද උණුසුම් කරමින් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය අද (22) පස්වරුවේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

එම තරගයේ දී මෙතෙක් ආසියානු කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ මංගල ශතකය වාර්තා කෙරුණ අතර ඒ හා සමඟ ම තවත් වාර්තා කිහිපයක් ම නැවත සටහන් තැබීමටත් සිදු වූවා.

ඒ අතර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඉහළින් ම රැදී සිටීම කැපී පෙණෙනවා.

මේ නිමා වු ශ්‍රී ලංකා – මැලේසියා තරගයත් සමඟින් අලුත් වූ වාර්තා කිහිපයක් පිළිබඳ ව ThePapare.com තබන සටහනක්.

98: කාන්තා විස්සයි විස්ස ලෝක ඉතිහාසයේ සීමා ලකුණු මඟින් ලබා ගත් වැඩිම ලකුණුලාභිනිය බවට පත් ව සිටි චමරි අතපත්තු, එම වාර්තාව තව දුරටත් තමන් සතු කර ගැනීමට මෙම තරගයේ දී සමත් වූවා.

ඇය මෙම තරගයේ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් සමඟින් එකතු වූ ලකුණු 98ක් ලබා ගන්නා ලද අතර ඊට පෙර ඇය සතු වූ මෙම දක්ෂතාව වූයේ 2019 වසරේ දී ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි ව හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා සිටි ලකුණු 84යි. එම තරගයේ දී ද ඇය ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා.

119*: චමරි අතපත්තු විසින් නොදැවී ලබා ගන්නා ලද මෙම ලකුණු 119 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් ලබා ගන්නා ලද ප්‍රථම ශතකය සේ ම ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.

මෙතෙක් මෙම වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවේ Mithali Raj වෙතයි. ඇය 2018 වසරේ දී මැලේසියා කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 97ක් ලබා ගනිමින් මෙතෙක් එම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටියා.

  • එමෙන් ම චමරි අතපත්තු විසින් මෙම තරගයේ දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 119 ඇය ගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවටදපත් වූවා.

ඊට පෙර ඇයගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2019 වසරේ දී North Sydney හි දී ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි ව පන්දු 66ක දී ලබා ගන්නා ලද ලකුණු 113යි.

7x6s: එතෙක් තමන් සතු වූ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක දී එල්ල කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව ද මෙම තරගයේ දී බිඳ දැමීමට චමරි අතපත්තු සමත් වූවා. ඇය මෙම තරගයේ දී හයේ පහර 7ක් එල්ල කරන ලද අතර ඊට පෙර එහි වාර්තාව වී තිබුණේ 2019 ඔස්ට්‍රේලියාවට එරෙහි ව වාර්තා කරන ලද ශතක ඉනිමට එක් කර තිබූ හයේ පහර 6 යි.

115: ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග ඉතිහාසයේ 3 වැනි කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාව පිහිටුවීමේ ගෞරවය චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී මෙම තරගයේ දී තමන් සතු කර ගත්තා.

ඊට මෙම වාර්තාව සතු ව තිබුණේ ලකුණු 77ක් ලබා සිටි චමරි අතපත්තු සහ නිලක්ෂිකා සිල්වා අතරයි. ඔවුන් ඉන්දියාවට එරෙහි ව 2022 වසරේ දී එම වාර්තාව පිහිටුවා තිබුණා.

184/4 (20.0): ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විසින් මැලේසියාවට එරෙහි ව මෙම තරගයේ දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව එතෙක් මෙතෙක් විස්සයි විස්ස ආසියා කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූණා.

මීට පෙර මෙම වාර්තාව සතු කර ගෙන සිටියේ ඉන්දියාවයි. ඔවුන් 2022 වසරේ දී මැලේසියාවට එරෙහි ව කඩුලු 4ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින් එහි රැදී සිටියා.

144: ශ්‍රී ලංකා කාන්තාවෝ මැලේසියා කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස ඉතිහාසයේ ඉහළ ම ජයග්‍රහණයයි.

ඊට පෙර මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් ම සටහන් ව තිබුණේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි ව 2022 වසරේ ලැබූ ලකුණු 109ක ජයග්‍රහණයයි.

74: මැලේසියාවේ Ainna Hamizah Hashim එරට වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩිකාව බවට මෙම තරගයේ දී පත් වෙනවා. ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ Mas Elysa සතුවයි. ඇය 2018 වසරේ සිට මේ දක්වා තරග 73කට ක්‍රීඩා කරමින් මෙම වාර්තාවේ රැදී සිටියා.

Mas Elysa ද මෙම තරග සංචාරය සඳහා එක් ව සිටිය ද මෙම තරගයට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් ඇය සතු වාර්තාව මෙලෙස අන්සතු වීම විශේෂත්වයක්.

45: මැලේසියානු කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට වැඩිම ලකුණු ලබා දුන් පන්දුයවන්නිය බවට Aisya Eleesa මෙම තරගයේ දී පත් වෙනවා. ඇය තම පන්දුවාර 4 නිමා කරන්නේ ලකුණු 45ක් ලබා දෙමිනුයි.

මීට පෙර මෙම අවාසනාවන්ත වාර්තාව සතු කරගෙන සිටියේ Noor Hayati Zakaria. ඇය 2018 වසරේ දී පාකිස්තානය හා සමඟ තරගයේ දී තම පන්දුවාර 4 ලකුණු 41කට යවමින් එහි රැදී සිටියා.

50: මෙම තරගයේ දී මැලේසියාවේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Winifred Duraisingam මෙන් ම දකුණතින් පිට දඟ පන්දු යැවූ Mahirah Izzati Ismail ද තම විස්සයි විස්ස තරග දිවියන් හී කඩුලු 50 කඩඉම වාර්තා කිරිමට අද සමත් වූවා.

3/09:  මෙම තරගයේ දී 15 හැවිරිදි වියේ පසු වන වමතින් දඟ පන්දු යැවූ ශ්‍රී ලංකාවේ ශෂිනි ගිම්හානි තම 4ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීමට සමත් වූවා.

2/07 (3.5): මෙම තරගයේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ ශ්‍රී ලංකාවේ කාව්‍යා කාවින්දි තමන්ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවා.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<