බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

Women’s T20 Asia Cup

1
Women’s T20 Asia Cup

අද (24) පස්වරුවේ පැවැති බංග්ලාදේශය සහ මැලේසියාව අතර තරගයෙන් ජයග්‍රහණය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලකුණු 114ක ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙම අවස්ථාව සපුරා ගත්තා.

පළමුවෙන් පන්දුවට දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මැලේසියා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 77ක් පමණයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණය නිවැරදි කළ ඉදිරි පෙළ පිතිකාරිනියෝ ලකුණු අතරට පිවිසීම කැපී පෙණුනා.

ඒ අතුරින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Murshida Khatun. ඇය පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා. එය ඇයගේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූනා.

ඇය සහ Dilara Akter අතර පළමු කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව ලකුණු 65ක්. පන්දු 46ක් පමණක් උපයෝගී කර ගනිමින් එක් කළ එම සබඳතාව බිඳී යන්නේ Dilara Akter ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

එම කඩුල්ලෙන් අනතුරු ව Murshida Khatun සමඟ එක් වූ නායිකා Nigar Sultana ද වේගවත් ලකුණු සබඳතාවක් එක් කිරීමට දායක වුනා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 89ක සබඳතාවක් ගොඩ නැගුවා.

බංග්ලාදේශ ඉනිම අවසන් වන විට Nigar Sultana පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Elsa Hunter සහ Mahirah Izzati Ismail එක් ව කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මැලේසියා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Elsa Hunter. ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

ඊට අමතර ව Mahirah Izzati Ismail ලකුණු 15ක් ද සහ Wan Julia ලකුණු 11ක් ද ලබා ගත්තා. පිටියට පිවිසි අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Nahida Akter විසිනුයි. ඇය ලකුණු 13කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Ritu Moni, Shorna Akter, Rabeya Khan, Nahida Akter සහ Jahanara Alam කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 191 (20.0) Dilara Akter 33,  Murshida Khatun 80, Nigar Sultana 62, Elsa Hunter 1/27

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 77 (20.0) Elsa Hunter 20, Nahida Akter 2/13

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 114ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Murshida Khatun (බංග්ලාදේශය)

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<