ගුවන් සෙබළියන් පොලිසියෙන් සොරා ගනියි

761

ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති, 2016/17 කාන්තා ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ තරගයක දී පොලිස් කාන්තා පාපන්දු කණ්ඩායම ගෝල 3-0ක් වශයෙන් පරාජය කරන්නට ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය. නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව යුධ හමුදා ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළ අනෙක් තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

කොළඹ ක්‍රීඩකයන්ට ඉන්දියානු වීසා

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේදී, ඉන්දියානු මෝහන් බගාන් පාපන්දු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන අදියරේ තරගය සඳහා සහභාගී වන කොළඹ පාපන්දු සමාජයට සැනසුම් සුසුමක් ගෙන එන පුවතක් වාර්තා වේ.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය

ආරම්භයේ සිටම පොලිස් ක්‍රීඩිකාවන් තම ග්‍රහණයට නතුකරගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්, තම පෙළගැස්මේ අත්දැකීම් මනාව ප්‍රකට කරන්නට විය.

කෙසේ නමුත් මුල් අර්ධයේ තරග කාලයෙන් වැඩි කාලයක් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ තර්ජනය මඟ හරවා ගන්නට පොලිස් ආරක්ෂිකාවන් සමත් වූ අතර ආර්. එස්. ගුණසේකර ඒ සියල්ල වෙනස් කරමින් ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ ඉන් පසුවයි.

ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අතින් සිදු වූ අතපසුවීම් කිහිපයක් නොවන්නට පරතරය තවත් වැඩි වන්නට ඉඩ තිබිණි.

පළමු අර්ධය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 1-0 පොලිස් ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධයේ දී පොලිස් කාන්තාවන් අතට වගකීමක් පැවරී තිබුණු නමුත් නැවතත් ගුවන් හමුදා තර්ජනයට ලක්වන්නට ඔවුනට සිදුවිය.

58වැනි මිනිත්තුවේ දී පිටියේ උපක්‍රමශීලී සැකැස්මක් මඟින් ගෝලයක් වාර්තා කරන්නට ගුවන් හමුදාවේ පී.එල්. ප්‍රසාදි සමත් විය. ගෝල දෙකක පරතරය අභිබවන අදිටනින් පොලිස් ක්‍රීඩිකාවන් ඉදිරියට ඇදෙන්නට වූයේ ඉන් පසුවයි.

ඉන් පිටියේ වැඩි ඉඩකඩක් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සතු පන්දුවට ලැබුණු අතර ඒ.එන්. රත්නායක, පොලිස් ක්‍රීඩිකාවන් අන්ද මන්ද කරමින් ගෝලයක් වාර්තා කළාය.

අවසන් සංඥාව ලැබෙන විට ආගන්තුක පොලිස් ක්‍රීඩිකාවන්, කිසිවක් සිතා ගත නොහැකිව සිටියේය.

සම්පූර්ණ කාලය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 3-0 පොලිස් ක්‍රීඩා සමාජය.

ThePapare.com තරගයේ වීරවරිය – ටී.කේ.ඇන්ජලා (ගුවන් හමුදාව).

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවන්

  • ගුවන් හමුදාව – ආර්.එස්.ගුණසේකර 19′, පී.එල්.ප්‍රසාදි 58′, ඒ.එන්.රත්නායක 78′.

ගුවන් හමුදා පුහුණුකරු ඉරෝෂන් හපුආරච්චි ThePapare.com සමඟින් අදහස් දක්වමින් පැවසුවේ,

“අප හොඳ තරගයක් ක්‍රීඩා කළා පුහුණු වුන විදියටත් වඩා. එය තරගාවලියට සාර්ථක ආරම්භයක්. ඒ වගේම දින නියමයක් නැතත් අප යුධ හමුදාවට එරෙහි මීළඟ තරගය බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව යුධ හමුදා ක්‍රීඩා සමාජය

2016/17 ප්‍රීමියර් ලීග් කාන්තා පාපන්දු තරගාවලියේ පළමු කාණ්ඩය වෙනුවෙන් වැලිසර දී පැවති තවත් තරගයක දී යුධ/නාවික දෙපිලම ගෝල ලබා ගැනීමට අසමත් වීම හේතුවෙන් ජය පරාජයෙන් තොර තරගයක් අවසන් විය.

ප්‍රථම අර්ධයේ දී නාවික හමුදා ක්‍රීඩිකාවන් අතින් අවස්ථා කිහිපයක්ම ගිලිහී ගිය අතර දෙවන අර්ධයේ දී තරගයේ ආධිපත්‍ය හැසිර වූයේ යුධ හමුදා කාන්තාවන්ය. කෙසේ වෙතත් එහි දී ගෝලයේ හරස් දණ්ඩ යුධ හමුදාවට හරස් විය.

නාවික හමුදා කණ්ඩායම ජාතික ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගෙන්ද සමන්විත වූ අතර ප්‍රථම අර්ධයේ දී ඔවුන්ගේ දස්කම් හොඳින් ප්‍රදර්ශනය විය. ඔවුන් ගෝලයකින් පසුපසට යාමට තිබූ අවස්ථාවක් මඟහැර වූයේ නාවික ගෝල රකින්නිය වූ නිසංසලා කුමාරි ය. ජාතික කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩිකා ප්‍රවීනා පෙරේරා, යුධ හමුදා ගෝලය වෙත පහරවල් කිහිපයක්ම එල්ල කළ නමුත් විටෙක ඒවා දුර්වල පහරවල් හෝ විටෙක ඒවා ගෝලයෙන් එපිටට එල්ල වූ ඒවා විය.

පළමු අර්ධය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 0-0 යුධ හමුදා ක්‍රීඩා සමාජය.

දෙවන අර්ධයේ දී උපක්‍රමශීලී වෙනස්කමක් සිදු කළ යුධ හමුදා කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික නායිකා එරන්දි ලියනගේව ඉදිරි පෙළ සිට මැද පෙළ දක්වා ගෙන ආ අතර ඔවුන් වෙත අවස්ථා කිහිපයක් නිර්මාණය විය. දෙවන අර්ධයේ මුල සිටම එරන්දිගෙන් ප්‍රතිවාදී ගෝලය වෙත පහර පිට පහර එල්ල විය.

35 වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් ගෝලය වෙත එල්ල කරන්නට එරන්දි තීරණය කළ අතර එම පහර වේගයෙන් ගොස් නාවික ගෝලයේ හරස් දණ්ඩේ පතිත විය. පතිත වී ඉදිරියට එන පන්දුවට නාලිකා කරුණාරත්න හිසින් එල්ල කළ පහරත් හරස් දණ්ඩේ වැදිණි.

උද්වේගකර අවස්ථා කිහිපයක් සමඟින් තරගය අවසන් වූයේ දෙපිලම සම තත්වයේ තබමිනි.

සම්පූර්ණ කාලය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 0-0 යුධ හමුදා ක්‍රීඩා සමාජය.

ThePapare.com තරගයේ වීරවරිය – එරන්දි ලියනගේ.(යුධ හමුදාව).

නාවික හමුදා පුහුණුකරු ධම්මික අතුකෝරාල තරගයෙන් අනතුරුව අදහස් දැක්වූයේ මෙසේයි.

“ප්‍රථම අර්ධයේ අපි හොඳින් ක්‍රීඩා කළ නිසා අවස්ථා ලැබුණා. අයේෂා හොඳින් ක්‍රීඩා කරාවි යැයි මං බලාපොරොත්තු වුණත් ඇයට යොමු කළ පන්දු කිහිපයක් අත්හරුණු නිසා යුධ හමුදාව ඉන් වාසිය ලබා ගත්තා. සමස්තයක් හැටියට අපි හොඳින් කළා.”

යුධ හමුදා කණ්ඩායමේ පුහුණුකරු අසංක ද සිල්වා ජයග්‍රහණය නොලැබීම ගැන පසුවූයේ කනස්සල්ලෙනි.

“පළමු අර්ධයේදීම කණ්ඩායම ස්ථාවර වේ යැයි මම බලාපොරොත්තු වුණා. දෙවන අර්ධය ගැන අපි සැලසුම් කළා. එරන්දි ,මැදට ගෙන ඒමෙන් අපට ලකුණු වාර්තා කරන්න තිබුනත් අපට වාසනාව තිබුණේ නැහැ.පු රුදු පරිසරයෙන් පිට තරගයක් නිසා අපි ටිකක් තැතිගත්තා. මේ අපි තරගයක් ක්‍රීඩා කළේ කලකට පසුවයි.” 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<