ඉන්දීය ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවත් පරාජය කරයි

Women’s ODI Tri-Series 2025

3
Women's Cricket

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර අද (29) පැවැති තරගයෙන් ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය, තරගාවලියේ 2 වැනි තරගය වන අතර ඉන්දීය කණ්ඩායම සහභාගී වූ මෙම තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ඔවුන් සතු කර ගත්තා.

අද තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව පිටියට පිවිසි කණ්ඩායම ම නම් කර තිබූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් මංගල එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් පිටියට එක් වීමට කඩුලු රකින ක්‍රීඩිකා Karabo Meso සමත් වුනා.

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Laura Wolvaardt (නායිකාව), Tazmin Brits, Lara Goodall, Karabo Meso (කඩුලු රකින්නිය), Sune Luus, Annerie Dercksen, Nadine de Klerk, Chloe Tryon, Nonkululeko Mlaba, Ayabonga Khaka, Masabata Klaas.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Pratika Rawal, Smriti Mandhana, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Kashvee Gautam, Arundhati Reddy, Sneh Rana, Shree Charani.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත්තා. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ආරම්භ කරන්නේ Pratika Rawal සහ Smriti Mandhana විසිනුයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දු 111ක දී ලකුණු 83ක සබඳතාවක් එක් කරනවා.

Smriti Mandhana පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව 2 වැනි කඩුල්ලට ද ලකුණු 68ක සබඳතාවක් එක් කිරීමට Pratika Rawal සහ Harleen Deol සමත් වෙනවා. ඊට පන්දු 73ක් පමණක් වැය වන අතර Pratika Rawal ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා.

මෙම අර්ධ ශතකය Pratika Rawal ගේ තරග 8ක් වන එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 5 වැනි අර්ධ ශතකයයි. ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව ඉන්දීය ඉනිමට තවත් ලකුණු 3ක් එක් වෙද්දී Harleen Deol ද දැවී ගියා. ඇය දැවී යන විට පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

අනතුරු ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී ලකුණු 59ක් එක් කිරීමට නායිකා Harmanpreet Kaur සහ Jemimah Rodrigues සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් Jemimah Rodrigues පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටිය දී දැවී යන විට ඉන්දීය ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 213ක් ලෙසින් දැක් වුනා.

ඉනිම අවසන් වන Harmanpreet Kaur පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටි අතර ඊට අමතර ව Richa Ghosh ද පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ඉන්දිය ඉනිමකට එක් කර තිබුණා.

පන්දු යැවීමේ දී Nonkululeko Mlaba ලකුණු 55කට කඩුලු 2ක් දවා ගත් අතර Nadine de Klerk, Annerie Dercksen, Ayabonga Khaka සහ Masabata Klaas කඩුල්ල බැගින් දවා ගත්තා.

හඹා යන පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ නායිකා Laura Wolvaardt සහ Tazmin Brits. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 168ක දී ලකුණු 140ක් ලබා ගනිමින් තම කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා ගන්නවා.

එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් Laura Wolvaardt ලකුණු 43ක් ලබා සිටිය දී දැවී යනවා. ඇය තම ඉනිම නිමා කරද්දී පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් තම ඉනිමට එක් කර තිබුණා. අනතුරු ව දකුණු අප්‍රිකා ඉනිමට තවත් ලකුණු 30ක් එක් වෙද්දී එතෙක් සාර්ථක පිතිහරඹයක නිරත වූ Tazmin Brits ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වෙනවා.

ඒ වෙද්දී ඇය පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 108ක් ලබා සිටියා.

ඇය පිටියෙන් ඉවත් වීමත් සමඟින් දකුණු අප්‍රිකා ඉනිමට Sune Luus පන්දු 34ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ද, Chloe Tryon පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ද සහ Annerie Dercksen පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද එක් කළා.

ඔවුන් ගේ දැවී යෑම් සමඟින් දකුණු අප්‍රිකා ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 251ක් බවට පත් ව තිබූ අතර එම අවස්ථාවේ දී නැවත පන්දුවට පහර දීම සඳහා ආබාධයකට ලක් වෙමින් තාවකාලිකව පිටියෙන් ඉවතට ගිය Tazmin Brits එක් වුනා. නමුත් ඇයට එම අවස්ථාවේ සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එවර ඇයට මුහුණ දීමට හැකි වෙන්නේ පන්දු 2කට පමණයි. 8 වැනි කඩුල්ල ලෙසින් ඇය දැවී යද්දී පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 109ක් ලබා සිටියා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි ශතකයයි.

එම දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 9ක් පමණක් දකුණු අප්‍රිකා ඉනිමට එක් වෙද්දී එම ඉනිම අවසන් කිරීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වෙනවා. එහි දී වැඩි කාර්ය භාරයක් සිදු කරන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන  Sneh Rana. ඇය ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරනවා.

ඊට අමතර ව Deepti Sharma, Shree Charani සහ Arundhati Reddy කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 276 (50.0)Pratika Rawal 78, Smriti Mandhana 36, Harleen Deol 29, Harmanpreet Kaur නොදැවී 41, Jemimah Rodrigues 41, Richa Ghosh 24, Nonkululeko Mlaba 2/55
  • දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 261 (49.2)Laura Wolvaardt43, Tazmin Brits 109, Sune Luus 28, Annerie Dercksen 30, Sneh Rana 5/43

ඉන්දීය කන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 15ක ජයක්.

  • තරගයේ වීරයා – Sneh Rana(ඉන්දියාව)

කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග මැයි මස 02 වැනිදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. මෙය මෙම තරගාවලියේ 3 වැනි තරගයයි.

මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV HD 2 නාලිකා අංක 163 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<