විම්බල්ඩන් පරාජය බාරගනියි!

154

වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි හතරෙන් විම්බල්ඩන් තරගාවලියට හිමිවන්නේ සාපේක්ෂව ප්‍රමුඛ ස්ථානයකි.

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම ඓතිහාසික තරගාවලියේ මේ වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 134 වන දිග හැරුම අවලංගු කර දැමීමට එම තරග සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙන්නේ දහස් සංඛ්‍යාත ටෙනිස් ක්‍රීඩාලෝලී බලාපොරොත්තු එක මොහොතකින් සුනුවිසුනු කර දමමිනි.

කෝරෝනා ඉදිරියේ විම්බල්ඩන් සීරුවෙන්!

ලොව ප්‍රමුඛතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි අතරින් එකක් ලෙස සැලකෙන විම්බල්ඩන් …..

මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ මෙම වසරේ ජුනි මස 29 වැනිදා සිට ජූලි මස 12 වැනිදා දක්වා අතර කාලසීමාව තුල දී වූවද උද්ගතව ඇති අර්බුදකාරී වතාවරණය හමුවේ තරගාවලිය එළඹෙන වසරේ ජුනි මස 28 වැනිදා දක්වා කල් දැමීමට සියලුම පාර්ශවයන් එකඟතාව පළකොට ඇති බව සඳහන් වේ. 

ක්‍රීඩකයින් ඇතුළු තරගාවලිය හා සහසම්බන්ධ සියලු දෙනාගේම ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් මෙවැනි දැඩි තීරණයකට එළඹ තිබේ.

එංගලන්ත ටෙනිස් ක්‍රීඩා සමාජ එකමුතුවේ සභාපති ඉයන් හේවිට් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙවැනි බැරූරුම් තීරණයකට එළඹීම තමන් ඇතුළු නිලධාරි මණ්ඩලයට ඉතාමත් අභියෝගාත්මක එකක් වූ බවයි. 

සෑම අංශයක්ම ආවරණය වන පරිදි පුළුල් අධ්‍යයනයක නිරත වීමෙන් පසුව මෙවැනි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමට පෙලඹුණු බවද හෙතෙම සඳහන් කර සිටියේය.

“ඇත්තටම අපිට තියෙන්නෙ ලොකු කනගාටුවක්. නමුත් මේ අවස්ථාවේ දී ගත යුතු නිවැරදිම තීරණය අපි ගත්තා කියලා විශ්වාස කරනවා. මොකද අවසන් නිගමනයට එන්න කලින් සෑම පැතිකඩක්ම විමසලා බලලා තමයි අපි හැමෝම තරගාවලිය අවලංගු කර යුතුයි කියන පොදු එකඟතාවට ආවේ. 

මේ ප්‍රශ්නය අපේ ඔළුවල සෑහෙන වැඩ කළා. මොකද තීරණ ගන්න පුද්ගලයින් විදියට අපේ කර මත විශාල වගකීමක් පැවරිලා තියෙනවා. ලෝක යුද්ධ සමයෙන් පස්සේ තරගාවලිය අවලංගු කරන්න සිද්ධ වුන පළවෙනි අවස්ථාව ලෙස මෙම සිදුවීම ඉතිහාස පොත් අතරට එකතු වෙනවා.”

සුපිරි ටෙනිස් තරුව කොරෝනා වලට එරෙහිව සටනට

දිනෙන් දින වටිනා ජීවිත රැසක් බිලි ගනිමින් පිළිලයක් මෙන් ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා….

මෙවර තරගාවලිය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ලන්ඩන් නුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නමුත් තරගාවලිය නොපැවැත්වීමට ගත් තීරණයත් සමඟින් දැනටමත් ප්‍රවේශපත් මිල දී ගෙන ඇති සියලු දෙනා වෙනුවෙන් යම් සහනයක් සැලසීමට සංවිධායක කමිටුව කටයුතු කොට තිබේ. 

ලබන වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත ශූරතාවලිය සඳහා ද මෙම ටිකට්පත් වලංගු බවට සහතික කිරීමත් සමඟින් එම ක්‍රීඩාලෝලීන් හට යම්තාක් දුරකට හෝ සාධාරණයක් ඉටු කිරීමට හැකි වූවා යැයි තමන් විශ්වාස කරන බව සංවිධායක කමිටුව සඳහන් කර සිටියි.

මීට අමතරව මැයි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය ද මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා කල්දැමීමට එම තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබුණි.

Covid-19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය නිසාවෙන් මේ දක්වා එංගලන්තය තුල පුද්ගල මරණ 2500කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති අතර රෝගයට ගොදුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 30,000 සීමාව ඊයේ (01) දින වන විට ඉක්මවා ගොස් ඇති බව ද වාර්තා වේ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<