ගිරිඋල්ල බැබළ වූ වික්‍රමශීලා තරු පොකුර

508
Wickramashila National School Girls Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 19න් පහළ 2 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගිරිඋල්ල, වික්‍රමශීලා ජාතික පාසල පසු ගියදා සමත් වූවා.

ඔවුන් මෙවන් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම තරගාවලිය සඳහා දිවයිනේ පාසල් කණ්ඩායම් 62ක් සහභාගී වූවා.  

අවුරුදු 3ක් තිස්සේ කළ කැපවීම්වල ප්‍රතිඵලයේ අග්‍ර ඵලයයි මේ. ලැබූ ජයග්‍රහණය පිළිබඳව ගොඩාක් සතුටුයි. මේක අපි සාමූහිකව ලැබූ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය පිටුපස විශාල පිරිසක් ඉන්නවා. වික්‍රමශීලා ජාතික පාසලේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු අනුශ්ක ගමගේ ThePapare.com සමඟ එක් වෙමින් පැවැසුවා.  

වික්‍රමශීලා ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රාහී ගමන් මඟ 
  ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය 
1  මධ්‍ය මහා විද්‍යාලය 

මිරිහානේගම 

වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 305ක ජයක්.  
2  St. Bernadette’s විද්‍යාලය, 

පොල්ගහවෙල  

වික්‍රමශීලා ජාතික පාසලට කඩුලු 9ක ජයක්.  
3  මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණැගල  වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 296ක ජයක්.  
4  මලියදේව ආදර්ශ විද්‍යාලය, 

කුරුණෑගල 

මලියදේව ආදර්ශ විද්‍යාලයට ලකුණු 37ක ජයක්.  
5  ජයන්ති නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලය, නිකවැරටිය  වික්‍රමශීලා ජාතික පාසලට කඩුලු 10ක ජයක්.  
දෙවැනි වටය 
6  ගනිතිරියාගම මහින්ද මහා විද්‍යාලය, ඉපලෝගම  වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 65ක ජයක්.  
පෙර අර්ධ අවසන් පූර්ව වටය 
7  ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ  වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 146ක ජයක්.  
අර්ධ අවසන් පූර්ව වටය 
8  සමන්පුර මහා විද්‍යාලය, වීරවිල  වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 85ක ජයක්.  
අවසන් පූර්ව වටය 
9  නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය, මීගමුව  වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 60ක ජයක්.  
අවසන් මහා තරගය 
10  උහන ජාතික පාසල, අම්පාර  වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 12ක ජයක්.  

ඔවුන් මෙම ජයග්‍රහණය කරා යෑමේ දී තරගාවලියේ ලකුණු 300 සීමාව ඉක්ම වූ අවස්ථා 2ක් වාර්තා කිරීම කැපී පෙණෙනවා.  

ඒ අතුරින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණය වූයේ මිරිහානේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුල්ලක් පමණක් දැවී ලබා ගත් ලකුණු 341යි.  එම තරගයේ දී ප්‍රතිවාදීන් ලකුණු 36කට දවාලමින් ලකුණු 305ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ද ඔවුන් සමත් වෙන අතර එය මෙම තරගාවලියේ දී ඔවුන් ලැබූ ඉහළ ම ජයග්‍රහණයයි.  

ඊට අමතර ව ඔවුන් මලියදේව බාලිකා විද්‍යාලයට එරෙහි ව කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා ගන්නා ලද අතර එම තරගයේ දී ප්‍රතිවාදීන් ලකුණු 25කට සීමා කිරීමට ද ඔවුන් සමත් වෙනවා. එය ඔවුන් මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ප්‍රතිවාදී කණ්ඩායමක් දවා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.  

ඔවුන් මෙවර තරගාවලියේ දී අවසන් මහා තරගය සමඟින් තරග 10කට සහභාගී වී ඉන් තරග 9ක් ජයග්‍රහණය කරන අතර මලියදේව ආදර්ශ විද්‍යාලය සමඟ පැවැති තරගයේ දී පරාජය වෙමින් අපරාජිත බව අහිමි කර ගන්නවා. එම තරගයේ දී ඔවුන්ගේ ඉනිම ලකුණු 58කට සීමා වීම හේතුවෙන් මෙම පරාජය වාර්තා වූවා. එම ලකුණු සංඛ්‍යාව ඔවුන් මෙවර තරගාවලියේ වාර්තා කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාවයි.  

අපිට ලොකු අත්දැකීම් තිබෙන ක්‍රීඩිකාවන් නැහැ. ඒ වගේ ම මේ අය අඩු-පාඩු ගොඩාක් තියාගෙනයි මේ තරගාවලියට එක් වුණේ. නමුත් ඔවුන්ගේ කැපවීම සහ අධිශ්ඨානයේ අඩුවක් තිබුණෙ නැහැ. විශාල ලෙස මහන්සි වුණා. මේ හේතූන් මත අපි තරගාවලියට එක් වුණේ දෙවැනි වටය දක්වා හෝ යෑම අරමුණු කරගෙනයි. නමුත් පළමු තරගයේ දී ම පෑ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් කණ්ඩායම යම් තැනකට එයි කියන බලාපොරොත්තුව ඇති වුණා. අපි එතැන් සිට තරගාවලිය ජයග්‍රහණය කරමු කියන තැන සිට තරගාවලිය සැලසුම් කළා.” පුහුණුකරු අනුශ්ක ගමගේ මෙම ජයග්‍රාහී ගමනේ සුල-මුල හෙළි කළා.  

මේ ගමනේ දී විද්‍යාලයීය විදුහල්පතිනි දමයන්ති හතරසිංහ මහත්මිය, ක්‍රීඩා භාර ආචාර්ය ලාල් ජයසිංහ මහතා සහ ක්‍රිකට් භාර ආචාරිනි නදීකා නායකරත්න මහත්මියත් දැක් වූ දායකත්වය ඉතා විශාලයි කියලයි ඔහු පවසන්නේ.  

ඔවුන් දැක් වූ දායකත්වය වගේ ම විද්‍යාලයීය ප්‍රජාව දැක් වූ දායකත්වය විශේෂයෙන් ම මතක් කරන්න ඕන. ඒ වගේ ම මේ දරුවන්ගේ දෙමාපියන් ද මේ වෙනුවෙන් විශාල බරක් ඇද්දා. තමන්ගේ පෞද්ගලික දේවල් පවා අතපසු කරගෙනයි මේ දෙමාපියන් අපිට සහයෝගය දැක් වූවේ ඒ වගේ ම තමයි අපේ පුහුණු කණ්ඩායම. ඔවුන් තමන්ගේ උපරිම දායකත්වය මෙම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. මම විශ්වාස කරනවා, ඒ හැම දෙනාගේ ම සහයෝගය මතයි අපිට මේ ගමන ජයග්‍රහණයකින් කෙළවර කරන්න ලැබුණේ කියලා. පුහුණුකරු අනුශ්ක ගමගේ නැවත ප්‍රකාශ කළා.  

වික්‍රමශීලා ජාතික පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම: 

අශානි කෞෂල්‍යා (නායිකාව), පුන්සරණි ප්‍රබෝධා, පවනි චමෝද්‍යා, චමුදි භාග්‍යා, ඩිලංජි නිකේශා, හිරුනි ඉමේෂා, අයෝද්‍යා සෙව්වන්දි, රිශ්මි ශෙහාරා, දෙසඳි බිම්නරා, චමත්කා විශ්මි, සමින්දි නවෝද්‍යා, නුලත්මා හංසත්, සමදරි සත්සරණි, ඉෂානි ලක්ෂිකා, දසුනි මතීශා, සෙනුරි අයෝධ්‍යා, දුනිති තිසන්‍යා, ඩිල්මිණි ආකර්ශනා, නිමේෂා සෙව්වන්දි, මෙලනි නවෝද්‍යා. 

නිලධාරීන්: දමයන්ති හතරසිංහ (විදුහල්පතිනිය), ලාල් ජයසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), නදීකා නායකරත්න (ක්‍රිකට් භාර ආචාරිනී), අනුශ්ක ගමගේ (ප්‍රධාන පුහුණුකරු), හිරුණි මධුශිකා (සහාය පුහුණුකාරිනී), ඉමාෂ නිලක්ෂණ (සහාය පුහුණුකරු), ඩී. ඩී. චන්ද්‍රසිරි (සහාය පුහුණුකරු). 

තරගාවලියේ දක්ෂතා දැක් වූ වික්‍රමශීලාවන්

අශානි කෞෂල්‍යා 
අශානි කෞෂල්‍යා

වික්‍රමශීලා බාලිකාවන් වෙනුවෙන් වඩාත් ම දක්ෂතා දැක් වූයේ කණ්ඩායමේ නායිකාව වූ අශානි කෞෂල්‍යා. ඇය තරගාවලිය නිමා කරද්දී තරග 10කට සහභාගී වෙමින් ද්විත්ව ශතකයක්, ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 952ක් ලබා ගන්නවා.  

ඊට පළමු වටයේ තරගයක් වූ මලියදේව බාලිකා විද්‍යාලයට එරෙහිව පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 24ක් සහ හයේ පහර 14ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 205ක් ද ඇතුලත්. එය ඇය මෙවර තරගවාරයේ දී පෞද්ගලිකව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූ අතර මෙවර තරගාවලියේ දී වාර්තා වූ එක ම ද්විත්ව ශතකය ද වූවා.  

ඇයගේ එම ඉනිමට අමතර ව පළමු වටයේ දී ම මිරිහානේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 180ක්, දෙවැනි වටයේ දී මහින්ද මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 70ක්, පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී ගෝතමී බාලිකා විද්‍යාලයට එරෙහිව ලකුණු 122ක් ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී සමන්පුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 83ක්, අවසන් පූර්ව වටයේ දී නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයට එරෙහිව ලකුණු 167ක් ද සහ අවසන් මහා තරගයේ දී උහන ජාතික පාසලට එරෙහිව ලකුණු 66ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභිනී පිතිකාරිනිය ද වූ ඇය පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වමින් කඩුලු 9ක් ද තම ගිණුමට බැර කර ගන්නවා.

පවනි චමෝද්‍යා 
පවනි චමෝද්‍යා

වික්‍රමශීලා ලකුණු ලැයිස්තුවේ දෙවැනි වැඩිම ලකුණුලාභිනිය මෙන් ම තුන් ඉරියව්වෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාව වූයේ පවනි චමෝද්‍යා. ඇය තරග 10ක දී පිතිකාරිනියක් ලෙසින් ලකුණු 215ක් ලබා ගන්නා ලද අතර පන්දු යැවීමේ දී කඩුලු 14ක් දවා ගනිමින් කඩුලුලාභින් අතර 2 වැනි ස්ථානය ද හිමිකර ගන්නවා.  

පිතිකරණයේ ඇයගේ හොඳම ඉනිම බවට පත් වූයේ මහින්ද විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 50ක් වන අතර පන්දු යැවීමේ දී ඇයගේ ඉහළ ම දක්ෂතාව වූයේ මලියදේව බාලිකාවන්ට එරෙහිව ලකුණු 13කට දවා ගත් කඩුලු 3යි. 

ඊට අමතර ව ඩිලංජි නිකේශා, චමුදි භාග්‍යා සහ පුන්සරණි ප්‍රබෝධා ද පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

චමුදි භාග්‍යා 
චමුදි භාග්‍යා

කණ්ඩායමේ වැඩිම කඩුලුලාභිනී පන්දු යවන්නිය වූයේ චමුදි භාග්‍යා. ඇය තරග 7ක දී කඩුලු 19ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අතුරින් ඇයගේ හොඳම පන්දු යැවීම වූයේ මලියදේව බාලිකාවන්ට එරෙහිව ලකුණු 17කට දවා ගත් කඩුලු 5යි.  

ඊට අමතර ව මහින්ද මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 21කට කඩුලු 5ක් ද සහ ගෝතමී බාලිකා විද්‍යාලයට එරෙහි ව ලකුණු 17කට කඩුලු 4ක් ද දවා ගනිමින් ඇය දක්ෂතා දක්වනවා.  

පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය තරගාවලිය නිමා වන විට ලකුණු 72ක් ද ලබා සිටියා.

දෙසඳි බිම්නරා 
දෙසඳි බිම්නරා

කඩුලුලාභී මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය දෙසඳි බිම්නරා වෙත හිමි වෙනවා. ඇය තරග 9ක දී කඩුලු 13ක් දවා ගන්නා ලද අතර හොඳම පන්දු යැවීම බවට පත් වූයේ ජයන්ති මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 12කට දවා ගත් කඩුලු 5යි.  

එය වික්‍රමශීලා පන්දු යවන්නියන් අතර මෙවර වාර්තා වූ ඉහළ ම දක්ෂතාවයි.  

ඊට අමතර ව ඩිලංජි නිකේෂා කඩුලු 10ක් ද සහ අයෝධ්‍යා සෙව්වන්දි කඩුලු 8ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

මේ අතර කණ්ඩායමේ කඩුලු රකින්නිය ලෙසින් කටයුතු කළ පුන්සරණි ප්‍රබෝධා දවාගැනීම් 14කට සම්මාදම් වෙන අතර ලකුණු 62ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මේ දරුවෝ රටට පෙන්නුවා. ඒ ගැන ඔවුන්ට වගේ ම සියුම් ආඩම්බරයක් මටත්, අපි හැමෝටමත් තියෙනවා. ඒ ගමන යෑමේ දී තිබෙන පහසුකම් සහ ආර්ථික තත්ත්වයන් මත අපිට යම් යම් අභියෝගවලට මුහුණ දෙන්න සිදුවේවි. එහෙත් ඒ සියලු දේවල් අභිබවා යමින් පළමු කොටසේ තරගාවලියේ දී උසස් දක්ෂතා දක්වන්න වගේ ම පළමු කොටසේ සිටින කණ්ඩායම්වලට අභියෝගයක් වෙන්න අපි සූදානමින් ඉන්නවා. පුහුණුකරු අනුශ්ක ගමගේ මහතා පැවැසුවා.  

Wickramashila National School Girls Cricketවයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනා ගනිමින් පළමු කොටසට සුදුසුකම් ලබා ගත් ගිරිඋල්ල, වික්‍රමශීලා ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්! 

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<