චමරි සහ සචිනි ගෞරවනීය ජයග්‍රහණයකට මඟ පාදයි

57
WI Women vs SL Women 3rd ODI Match

චමරි අතපත්තු, නිලක්ෂිකා සිල්වා සහ අනුශ්කා සංජීවනී එක් ව ගොඩ නැගූ ඉනිම පන්දු යැවීමේ දී ආරක්ෂා කර ගත් සචිනි නිසංසලා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය ද ජයග්‍රහණය කරා රැගෙන යෑමට සුවිශේෂී දායකත්වයක් දැක් වූවා.

ඒ අනුව තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූවා. මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියේ 2022- 2025 එක්දින ශූරතාවලියේ තරග අතරට එක් වෙන බැවින් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මහත් බලපරාක්‍රමයක් එක් කළා.

එම තරගාවලිය ආරම්භයේ දී ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැදී සිටි අතර ඔවුන් මෙම තරගාවලි ජයග්‍රහණයත් සමඟින් 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පිවිසීමට සමත් වූවා. ඒ අතර 7 වැනි ස්ථානයේ සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ මෙම තරගාවලි පරාජයත් සමඟින් 8 වැනි ස්ථානය දක්වා පසු බැස්සා.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි සහ අචිනි කුලසූරිය නම් කර නොතිබූ අතර ඒ වෙනුවට හංසිමා කරුණාරත්න, ඔෂදී රණසිංහ සහ කාව්‍යා කාවින්දි  එක් කර තිබුණා.

සංචාරක කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී නැවතත් නිත්‍ය නායිකාව කණ්ඩායමේ නොසිටි අතර ඒ වෙනුවට පෙර තරගයේ දී නායකත්වයේ වගකීම් දැරූ Shemaine Campbelle වෙත ම නායකත්වයේ වගකීම පැවැරී තිබුණා.

ඒ සමඟින් ම පෙර තරගයට ක්‍රීඩා කළ Shabika Gajnabi සහ Chedean Nation වෙත මෙම තරගයේ දී තම ස්ථාන අහිමි ව තිබූ අතර ඒ වෙනුවට Chedean Nation සහ Qiana Joseph කණ්ඩායමට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), ඔෂදී රණසිංහ, සචිනි නිසංසලා, කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Shemaine Campbelle (නායිකාව), Rashada Williams (කඩුලු රකින්නිය), Chedean Nation, Stafanie Taylor, Zaida James, Aaliyah Alleyne, Chinelle Henry, Afy Fletcher, Qiana Joseph, Karishma Ramharack, Shamilia Connell.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 115ක් පමණයි. ඒ අනුව දෙරට අතර පැවැති තරග 3කින් යුත් තරගාවලියේ අවසන් තරගයෙන් ද ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 160ක ජයග්‍රහණයක් හිමි වූවා.

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළ අතර ඔවුන් ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වීමට නායිකා චමරි අතපත්තු සමත් වූවා.

ඇය පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 91ක් ලබා ගත්තා. ඇයට අද ලකුණු 9කින් අහිමි වූයේ තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 10 වැනි ශතකයයි.

ඇය අනෙක් ආරම්භක පිතිකාරිනිය වූ විශ්මි ගුණරත්න හා එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනා. විශ්මි ගුණරත්න පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව හර්ෂිතා සමරවික්‍රම (1) සහ හංසිමා කරුණාරත්න (1) අඩු ලකුණුවලට සීමා වෙමින් තම ඉනිම් හැර ගිය අතර ඊට පසුව පිටියට එක් වූ නිලක්ෂි සිල්වා සමඟ එක් වූ චමරි අතපත්තු 4 වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් එක් කළා.

එවර දැවී ගියේ චමරි අතපත්තු යි. අනතුරු ව පිටියට එක් වූ අනුශ්කා සංජීවනී සහ නිලක්ෂි සිල්වා එක් ව 5 වැනි කඩුල්ලට කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා.

නිලක්ෂි සිල්වා පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත් අතර අනුශ්කා සංජීවනී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Karishma Ramharack ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත් අතර, Afy Fletcher සහ Qiana Joseph විසින් කඩුල්ලක් බැගින් දවා ගත්තා.

සංචාරක ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 5ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වූවත්, ඊට පසුව පැවැති 3 වැනි කඩුල්ලේ දී ලකුණු 57ක සබඳතාවක් එක් කිරීමට Chedean Nation සහ Stafanie Taylor (16) සමත් වූවා.

නමුත් ඊට පසුව එතරම් දීර්ඝ ලකුණු සබඳතාවලට එක් වීමට බටහිර ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වූයේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී Chedean Nation පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින්ල කුණු 46ක් ලබා ගත් අතර Aaliyah Alleyne පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම අතිශය අසරණ තත්ත්වයකට ඇද දැමීමේ දී  22 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන සචිනි නිසංසලා සමත් වූවා. ඇය මෙම තරගයේ දී ලකුණු 28කට කඩුලු 5ක් දවා ගන්නේ තම 3 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වෙමිනුයි. එය ඇයගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.

ඇයට අමතර ව ඔෂදී රණසිංහ කඩුලු 2ක් ද සහ උදේශිකා ප්‍රබෝධනී, චමරි අතපත්තු සහ කාව්‍යා කාවින්දි කඩුල්ලක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව..,

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 275 (50.0) විශ්මි ගුණරත්න 44, චමරි අතපත්තු 91, නිලක්ෂිකා සිල්වා 63, අනුශ්කා සංජීවනී 55, Karishma Ramharack 2/46

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 115 (34.5) Chedean Nation 46, Aaliyah Alleyne 27, ඔෂදී රණසිංහ 2/13, සචිනි නිසංසලා 5/28

ශ්‍රී ලංකාවට ලකුණු 160ක ජයක්. ො

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා සිට හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<