කොදෙව් ලලනාවෝ පළමු ජය ලබයි

West Indies Women tour of Sri Lanka

159
WI Women vs SL Women

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ අද (26) සමත් වූවා.  

ඒ අනුව තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වූවා.  

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයට එක් වීමේ දී දෙපිලේ ම වෙනස්කමක් බැගින් කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලක්ෂිකා සිල්වා වෙනුවට ඉමේෂා දුලානි කැඳවා තිබූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන්  Zaida James වෙනුවට Cherry-Ann Fraser එක් කර තිබුණා.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), අමා කාංචනා, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි.  

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Hayley Matthews (නායිකාව), Stafanie Taylor, Qiana Joseph, Shemaine Campbelle (කඩුලු රකින්නිය), Chedean Nation, Aaliyah Alleyne, Chinelle Henry, Afy Fletcher, Cherry-Ann Fraser, Karishma Ramharack, Shamilia Connell.  

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළ අතර ඔවුන් තරගයට ඉතා හොඳින් අවතීර්ණ වූවා.  

විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු එක් ව පළමු කඩුල්ලට පන්දු 47ක දී ලකුණු 44ක් එක් කළා. චමරි අතපත්තු පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.  

අනතුරු ව ඉමේෂා දුලානි ලකුණු 6කටත් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 14කටත් දැවී ගියා. ඒ වෙනතුරු අනෙක් අන්තයේ සිටිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ශක්තියක් වූ විශ්මි ගුණරත්න ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී ගියා. ඒ වෙද්දී ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.  

තරගයේ 16 වැනි පන්දුවාරයේ පන්දු 2ක් යවා තිබිය දී කඩා වැටුණ වර්ෂාව තරගය එපමණකින් නතර කිරීමට තරම් බලවත් වූවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 89ක් ලෙසින් කියැවුණ අතර කවීෂා දිල්හාරි පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද සහ හසිනි පෙරේරා පන්දු 5ක දී නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී, ශ්‍රී ලංකා සියලුම බිඳ දැමීමේ ගෞරවය Afy Fletcher විසින් දිනා ගත්තා. ඇය ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.   

වර්ෂාවෙන් අනතුරු ව තරගය ආරම්භ වෙන්නේ ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබෙමිනුයි. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය ඩක්වර්ත් ලුවිස් ගණනය කිරීම අනුව පන්දු වාර 15ක දී ලකුණු 99ක් ලෙසින් සටහන් වූවා.  

මෙම ගමනේ දී  කොදෙව් නායිකාව වන Hayley Matthews පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. ඇය අනෙක් ආරම්භක පිතිකාරිනී Stafanie Taylor සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් එක් කළා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 41ක් පමණයි.  

අනතුරු ව Shemaine Campbelle ද පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා. ඉනිමේ තවත් කඩුලු 2ක් අඩු ලකුණුවලට සීමා වෙමින් දැවී ගිය අතර 13 වැනි පන්දු වාරය වෙද්දී ඔවුන්ගේ ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 85ක් ලෙසයි.  

ඒ අනුව ඔවුන්ට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර 2 දී අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 14ක් වූවා. ඉන් ලකුණු 13ක් ම ඊළඟ පන්දු වාරය යැවූ කවීෂා දිල්හාරි ගෙන් උඳුරා ගැනීමට Aaliyah Alleyne සමත් වූවා.  

තරගය ඊළඟ පන්දු වාරයේ පළමු පන්දුවේ තරගය අවසන් වන විට Aaliyah Alleyne පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටි Stafanie Taylor රැඳී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී සචිනි නිසංසලා, චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දඩයම් කර ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 89 (15.2) විශ්මි ගුණරත්න 24, චමරි අතපත්තු 26, කවීෂා දිල්හාරි නොදැවී 14, Afy Fletcher 4/23 

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී ලකුණු 99 (14.1) Hayley Matthews 29, Stafanie Taylor නොදැවී 28, Aaliyah Alleyne නොදැවී 15 

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයක්.  

දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 28 වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්විමට නියමිතයි.  

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<