ශ්‍රී ලංකාව නැවත කොදෙව්වන්ට වදයක් වෙයි

West Indies Women tour of Sri Lanka

89
West Indies Women tour of Sri Lanka

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (24) ආරම්භ වූ තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ මෙම තරගයට එක් වූයේ තරග 3කින් යුත් එක්දින  ක්‍රිකට් තරගාවලියෙන් 3-0ක පරාජයකට ලක් වෙමිනුයි. ශ්‍රී ලංකාව ලත් මෙම තරග ජයග්‍රහණයත් සමඟින් නැවත 1-0ක තරගාවලි පරාජයකින් මෙම තරගාවලිය ද ආරම්භ කිරීමට ඔවුන්ට සිදු වූවා.

හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 137ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරන්නේ තවත් පන්දු 8ක් ද ඉතිරි කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා. කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), අමා කාංචනා, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Hayley Matthews (නායිකාව), Stafanie Taylor, Qiana Joseph, Shemaine Campbelle (කඩුලු රකින්නිය), Chedean Nation, Aaliyah Alleyne, Chinelle Henry, Afy Fletcher,  Zaida James, Shamilia Connell, Karishma Ramharack. 

සංචාරක කණ්ඩායම පාලනය කිරීමේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සහ ඉනෝෂි ප්‍රියදර්ශනී දැක් වූ දක්ෂතා කැපී පෙණුනා. චමරි අතපත්තු කොදෙව් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පිට පිට ලබා ගත් කඩුලු 2ක් ද සමඟින් මෙම තරගයේ දී ලකුණු 29කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 132ක හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.

ඇයගේ පන්දු යැවීමට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වීමට ඉනෝෂි ප්‍රියදර්ශනී ද සමත් වූවා. කොදෙව් ක්‍රීඩිකාවෝ පන්දුවාරයකට ලකුණු 7ක පමණ වේගයක් රඳවා ගනිමින් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් සිටිය දී පන්දු 3ක් තුළ කඩුලු 2ක් දවා ගනිමින් එම ගමන අඩාල කිරීමට ඉනෝෂි ප්‍රියදර්ශනී පෙරමුණ ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

ඇය තම පන්දු යැවීම අවසන් කරන්නේ ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් වන අතර අමා කාංචනා ද ප්‍රතිවාදී කඩුල්ලකට හිමිකම් කීවා.

සංචාරක කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වූයේ නායිකා Hayley Matthews. ඇය පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඊට අමතර ව Aaliyah Alleyne පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද සහ Qiana Joseph පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැදගත් ම කඩුල්ල වූ චමරි අතපත්තුගේ ඉනිම තෙවැනි පන්දු වාරයේ දී අවසන් කිරීමට කොදෙව් පන්දු යවන්නියෝ සමත් වූවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 14ක් ලෙසයි. චමරි අතපත්තුට අද තරගයේ දි ලබා ගැනීමට හැකි වූයේ ලකුණක් පමණයි.

ප්‍රතිවාදීන්ගේ ඒ තරගකාරී ආරම්භය දිගින් දිගට ම රඳවා ගැනීමට එතැන් සිට පිටියේ රැදී සිටි විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට බලාපොරොත්තු එක් කළා.

විශ්මි ගුණරත්න පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර හර්ෂිතා සමරවික්‍රම ද පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව හසිනි පෙරේරා පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද සහ නිලක්ෂිකා සිල්වා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා ගත්තා. තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ඇයත් සමඟ අනෙක් අන්තයේ රැදී සිටි අමා කාංචාන නොදැවී ලකුණු 7ක් ලබා සිටියා.

අද තරගයේ දී නායිකා චමරි අතපත්තු සේ ම කවීෂා දිල්හාරි (2) සහ කෞෂිනී නුත්‍යාංගනා (7) ද අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Afy Fletcher ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර Aaliyah Alleyne, Shamilia Connell, Hayley Matthews සහ Karishma Ramharack කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 134 (20.0) Hayley Matthews 30, Qiana Joseph 20, Aaliyah Alleyne 26, චමරි අතපත්තු 4/29, ඉනෝෂි ප්‍රියදර්ශනී 3/28

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 137 (18.4) විශ්මි ගුණරත්න 35, හර්ෂිතා සමරවික්‍රම 35, හසිනි පෙරේරා 20, නිලක්ෂිකා සිල්වා නොදැවී 17, Afy Fletcher 2/29

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන 2 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 26 වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්විමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<