ශ්‍රී ලංකාව කොදෙව්වන් පරාජය කරයි

West Indies Women tour of Sri Lanka 2024

88
West Indies Women tour of Sri Lanka 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (15) ආරම්භ වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ICC Women’s එක්දින ශූරතාවලියට ද අයත් මෙම තරගාවලිය තරග 3කින් යුක්ත වන අතර මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Hayley Matthews (නායක), Rashada Williams (කඩුලු රකින්නිය), Shemaine Campbelle,  Stafanie Taylor, Chedean Nation, Chinelle Henry, Aaliyah Alleyne, Afy Fletcher, Zaida James, Karishma Ramharack, Shamilia Connell.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩිකාවන්ගේ ආරම්භය එතරම් ම සුභදායි වූයේ නැහැ. නමුත් දෙවැනි කඩුල්ලේ සිට තරගයට කදිම පුනර්ජීවයක් එක් කිරීමට නායිකා Hayley Matthews සහ Shemaine Campbelle සමත් වූවා.

ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 95ක දී ලකුණු 68ක් එක් කරද්දී එම සබඳතාව බිඳ දැමීමට සුගන්දිකා කුමාරි සමත් වූවා.

ඊට ගොදුරු වූයේ Hayley Matthews. ඇය ඉනිම හැර යද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී එතෙක් ලකුණු සබඳතාව සවිමත් කිරීමේ අනෙක් පුරුක වූ Shemaine Campbelle ද සුගන්දිකා කුමාරි ඉදිරියේ අසරණ වූවා.

ඒ වෙද්දී ඇය පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනාට අමතර ව Stafanie Taylor ද කොදෙව් ඉනිමේ ශක්තිමත් කිරීමේ වැඩි කාර්ය භාරයක් කළා. ඇය පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක දී ලකුණු 25ක් එක් කිරීමට Karishma Ramharack (14*) සහ Shamilia Connell (9) සමත් වීම කැපී පෙණුනා.

කඩුලු දවා ගැනීමේ දී සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි කඩුලු 3ක් බැගින් දවා ගත් අතර චමරි අතපත්තු සහ අචිනි කුලසූරිය කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආරම්භයේ සිට ම ප්‍රතිවාදීන්ට ප්‍රභල තර්ජනයක් වෙමින් පන්දුවට පහර දුන්නා. ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු පන්දු 81කට මුහුණ දෙමින් ලකුණු 88ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා.

පළමු කඩුල්ල ලෙසින් විශ්මි ගුණරත්න පිටියට හැර යන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.

විශ්මිගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 12ක් පමණක් එක් වෙද්දී චමරි අතපත්තු ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.

අනතුරු ව කවීෂා දිල්හාරි ද ලකුණු පුවරුවට ලකුණක් එක් වෙද්දී ලකුණු නොලබා ම දැවී යන අතර ඊට පසුව පිටියට පිවිසෙන්නේ හසිනි පෙරේරා යි.

හර්ෂිතා සමරවික්‍රම හා එක් වූ හසිනි පෙරේරා 4 වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් ගොඩ නගනවා. ඒ සඳහා ඔවුන් වැය කරන්නේ පන්දු 99ක් පමණයි. හසිනි පෙරේරා පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් ලබා ගනිමින් සිවු වැනි කඩුල්ල ලෙසින් ඉනිම හැර යනවා.

ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 95ක් ඉතිරිව තිබිය දී තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටි අතර නිලක්ෂිකා සිල්වා පන්දු 2කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ලබා ගනිමින් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Aaliyah Alleyne සහ Afy Fletcher කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව..,

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 195 (47.1) Hayley Matthews 38, Shemaine Campbelle 27, Stafanie Taylor 33, සුගන්දිකා කුමාරි 3/30, කවීෂා දිල්හාරි 3/41

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 198 (34.1) විශ්මි ගුණරත්න 40, චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 44, හසිනි පෙරේරා 43, Afy Fletcher 2/31, Aaliyah Alleyne 2/22

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ 2 වැනි එක්දින තරගය මේ මස 18 වැනිදා හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<