කවුද මේ නව පුහුණුකරු Chris Silverwood?

Sri Lanka Cricket

1755

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු නොමැති වී පස්මසක් ගතවීමට ආසන්න විය. 2021 නොවැම්බර් මාසයේ දී පැවති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් පසුව හිටපු පුහුණුකරු මිකී ආතර් එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ප්‍රධානී ලෙස වැඩ භාරගැනීමට තීරණය කළේය. ක්‍රිස් සිල්වර්වුඩ්ගේ නම ශ්‍රී ලාංකිකයන් අතර කතාබහට ලක්වන්නේ එබැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතා වැදගත් වූ ඕස්ට්‍රේලියා සහ ඉන්දීය සංචාර දෙකම ඔවුන්ට ක්‍රීඩා කරන්නට සිදු වුනේ වැඩ බලන පුහුණුකරු රුමේෂ් රත්නායක සමඟිනි. එය ක්‍රීඩකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට සිදු වූ අසාධාරණයක් ලෙස සලකා බොහෝ දෙනා මීළඟ ශ්‍රී ලංකා පුහුණුකරුවා කවුරුන් දැයි විමසන්නට විය.

රුමේෂ් රත්නායක යනු ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ වැදගත් මහත්මයෙකු වුවත්, ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමකට අපහසුම සංචාරවලට සහභාගී විමට සිදුවීම අසාධාරණයක් නොවේ ද?

පසුගිය සතියේ දී ඉල්ලා අස්වූ ක්‍රිකට් විශේෂඥ කමිටුව විසින් ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු තෝරා පත්කර ගනීවි දැයි ද ප්‍රේක්ෂකයන් විමසනු අපි සමාජ ජාලා තුළින් නොයෙක් වර දුටුවෙමු.

ක්‍රිස් සිල්වර්වුඩ් වර්තමානයේදී

අවසානයේ දී නැවතත් විදෙස් පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය භාර ගනු ඇතැයි පුවත් පළවිය. 2019 දී එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස සේවය කොට පසුව ප්‍රධාන පුහුණුකරු වූ ක්‍රිස් සිල්වර්වුඩ්ගේ නම ද ඒ අතර විය. මේ වන විට ඔහු නිල වශයෙන් මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගන්නා බව තහවුරු ය. එහෙත් ක්‍රිස් සිල්වර්වුඩ් යනු කවරෙක්ද?

ක්‍රිස්ටෝෆර් එරික් විල්ෆ්‍රඩ් සිල්වර්වුඩ් එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයෙන් බිහි වූ වේගපන්දු යවන්නෙක්. ’90 දශකයේ සිදු වූ වේගපන්දු යවන්නන්ගේ පිබිදීමත් සමඟ වේගයෙන් පන්දු යවන්නෙකු වූ ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්තය පුරා ප්‍රසිද්ධ විය.

1996 දී ඔහුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට තෝරාගනු ලැබිණි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තරග 6ක දී කඩුලු 11ක් වාර්තා කරගෙන ඇති ඔහු විසින් පළමු පෙළ ක්‍රිකට් දිවිය අවසන් කරන විට තරග 184ක් තුළ දී කඩුලු 577ක් දවාගෙන තිබිණි.

මෑතක සිට ප්‍රේක්ෂකයන් පුහුණුකරුවන්ගේ පූර්ව ක්‍රිකට් දස්කම් තුළින් ඔවුන්ගේ ගම්‍යතාව මනින්නට පෙළඹෙනු අපි දැක ඇත්තෙමු. එහෙත් ක්‍රීඩකයෙකු වීම සහ පුහුණුකරුවෙකු වීම යනු එකිනෙකට වෙනස් කාර්යයන් දෙකකි.

ඇතැමුන්ට දක්ෂ ක්‍රීඩකයන් විය හැකිය, එහෙත් දක්ෂ පුහුණුකරුවන් වන්නට නොහැකිය. ඇතැමුන්ට දක්ෂ පුහුණුකරුවන් විය හැකිය, එහෙත් ඔවුන් දක්ෂ ක්‍රීඩකයන් නොවේ. ඇතැමුන් මේ කාර්යයන් දෙකෙහිම ශූරයන් ය. ඇතැමුන් මේ දෙකෙහිම දුර්වල ය. එබැවින් ක්‍රීඩකයන් ලෙස පෑ දක්ෂතා මතින් පුහුණුකරුවෙකු මැනීම අසාර්ථක වෑයමකි.

ක්‍රිස් සිල්වර්වුඩ් කඩුල්ලක් දවාගනිමින්

2010 දී එසෙක්ස් ප්‍රාන්ත පන්දු යවන පුහුණුකරු ලෙස වැඩ භාර ගත් සිල්වර්වුඩ් ඉන් වසර පහක් ගතවද්දීම ප්‍රධාන පුහුණුකාරීත්වයට පත්විය. ඔහුගේ පුහුණුකාරීත්වයෙන් පළමු කාණ්ඩයට සුදුසුකම් ලැබූ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම මීළඟ වසරේ දී ප්‍රාන්ත අතර තරගාවලියේ ශූරයන් වීමට ද සමත් විය.

දක්ෂතා දක්වන ඕනෑම අයෙකුගේ හොඳම කාලය අපතේ යන්නට නොදෙන එංගලන්ත ක්‍රමවේදය තුළින් මීළඟ වසරේ දී ම, එනම් 2018 දී ඔහුව එංගලන්ත ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට නොලැබෙන, එහෙත් දියුණු ක්‍රමවේදයන් සහිත රටවල් වල ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ලැබෙන එම අවස්ථාව ඔහු දෝතින්ම වැළඳගත්තේය.

සේවය එතරම් අපහසු නොවන්නට ඇත. ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ක්‍රිස් වෝක්ස්, ජෝෆ්රා ආචර්, සෑම් කරන්, ඔලී රොබින්සන් ආදී වේගපන්දු දක්ෂයන් රැසක් ඔහුගේ සැලසුමේ විය. එබැවින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබමින් ලොව පෙළේ ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායමක් බවට එංගලන්ත කණ්ඩායම පත්විය.

මීළඟ වසරේ දී ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස් තනතුරින් සමුගැනීමෙන් පසුව සිල්වර්වුඩ් හට එංගලන්ත ප්‍රධාන පුහුණුකාරීත්වය හිමි විය. එහෙත් 2021/22 තරග වාරයේ අළුබඳුන තරගාවලියේ දී සිල්වර්වුඩ් හට දෝෂාරෝපණ රැසකට මුහුණ දෙන්නට සිදු වූයේ ඔහු විසින් ගත් විප්ලවකාරී තීන්දු තීරණ කිහිපයක් නිසා ය.

කෙසේ වෙතත් මේ වන විට ඔහුට ලැබී ඇති රාජකාරිය තවත් බැරෑරුම් එකකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 7-8ක් මුළුල්ලේම “අත්දැකීම් ලබමින්” සිටියි. පරාජයන් බොහෝ විය. කඩාවැටීම්, අවලාද බොහෝ විය.

පසුව මිකී ආතර් සහ චමින්ද වාස් ඇතුළු පුහුණු කාර්යමණ්ඩලය විසින් නැවතත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු වටා ශ්‍රී ලංකා ක්‍රිකට් නොවැටී එල්ලා තබන්නට සමත් වෙද්දීම මිකී ආතර් හට වඩා හොඳ සහන පැකේජයක් ලැබිණි. එතැන් සිට මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම අස්ථාවර ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජේම්ස් ඇන්ඩර්සන්ලා නැත, ස්ටුවර්ට් බ්‍රෝඩ් ලා නැත. එහෙත් දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් සිටිති. කළ යුතු වන්නේ ඔවුන්ට ඔවුන්ගේ වෙනස් වෙනස් රාජකාරි පිළිබඳ අවබෝධය ලබා දීම සහ ඔවුන්ට විශ්වාසය ලබා දීමයි. මිකී ආතර් තම සේවා කාලය තුළ දී පෙනී සිටියේ ද ඒ වෙනුවෙනි. මුල දී ඔහුට දෝෂාරෝපණ රැසක් එල්ල වූ මුත්, වසරක පමණ කාලයක් ගත වන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කණ්ඩායම වටා බැන්දේය.

අභියෝගය එයයි. ශ්‍රී ලංකාව වැනි සංවේදී මිනිසුන් ජීවත් වන දූපත් රාජ්‍යයක දී, එනම් ප්‍රේම කරන විට ඔබට පණ දෙවැනි කොට ප්‍රේම කරන, වෛරයෙන් සිටින විට ඔබව කීතු කීතු වලට ඉරා දමන මිනිසුන් සිටින මේ කුඩා රාජ්‍යයේ ජනප්‍රියම ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඒ වගකීම සිල්වර්වුඩ් විසින් ගතයුතුව තිබේ.

අවලාද, බැනුම්වලට සාවධානව සවන් දිය යුතු වේ. ප්‍රේමයේ වැළඳගැනීම් වලට ඉඩ දිය යුතු වේ. කුමකින් හෝ අස්ථාවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යුතුවේ. ඔහු ඊට සමත් ද? අපි බලා සිටින්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<