ගෙවී ගිය 2022 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය පිළිබඳ පසු විපරමක්!

921

2022 වසරේ පැවැත්වීමට නියමිත අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ වන විට පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්වී අවසන් වුනේ ප්‍රතිඵලයක් රහිතවයි.

ලබන වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද පාකිස්තාන සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

ගෙවුන වසරේ වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රිකට් තරගාවලිය බවට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය පත් වූ අතර, ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වුණේ ආසියානු කුසලානයයි.

විස්සයි විස්ස ලෝක කුසලානය නිසාම මේ වසරේ ටෙස්ට් සහ එක්දින තරගවලට සාපේක්ෂව වැඩි වශයෙන් විස්සයි විස්ස තරග පැවැත්වුණු බව නිරීක්ෂණය කළ හැකියි.

2022 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වාර්තාව

මෙම වසරේ දී වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති කණ්ඩායම වන්නේ එංගලන්තය වන අතර ඔවුන් මුහුණ දුන් තරග 15න් 9ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරග තුනක් පරාජය වන අතරේ දීයී. අඩුම ටෙස්ට් තරග ප්‍රමාණයක් පරාජය වී ඇත්තේ ඕස්ට්‍රේලියාවයි.

ඔවුන් මේ වසරේ දී පරාජය වුනේ එකම එක ටෙස්ට් ක්‍රිකට් තරගයක් පමණක් වන අතර එම පරාජය ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ ලබා තිබීමත් විශේෂත්වයක්.

එමෙන්ම ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවේ අවසන් මහා තරගයට තේරී පත්වීමට වැඩිම ඉඩක් වෙන් කර ගෙන ඇති කණ්ඩායම වන්නේ ද ඕස්ට්‍රේලියාවයි.

මේ වසරේ කණ්ඩායමක් ඉනිමක දී රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය එංගලන්තය විසින් පාකිස්තානයට එරෙහිව (657) ලබා ගන්නා අතරේ, ඉනිමක වාර්තා වූ අඩුම ලකුණු බංග්ලාදේශය විසින් (53) දකුණු අප්‍රිකාව ඉදිරියේ වාර්තා කළා.

2022 වසරේ මේ වන තෙක් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන්නේ පාකිස්තාන නායක Babar Azam වන අතර, ඔහු ඉනිම් 16ක දී ලකුණු 1170ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා. ඊට අමතරව තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් (Joe Root, Usman Khawaja සහ Jhonny Bairstow පිළිවලින් ලකුණු 1098, 1080 සහ 1061) ලකුණු දහසේ සීමාව ඉක්මවා යාමට සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභි දිනේශ් චන්දිමාල්ට මෙම ලැයිස්තුවේ හිමි වී ඇත්තේ 12 වැනි ස්ථානය යි.

මේ අතර 2022 වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන්නේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඉනිම 15ක දී කඩුලු 47ක් බිඳ හෙළා ඇති Kagiso Rabada වන අතර එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානය තවමත් ටෙස්ට් තරග තුනක් පමණක් ක්‍රීඩා කර කඩුලු 29ක් බිඳ හෙළා ඇති ප්‍රභාත් ජයසූරිය ට හිමි වී තිබෙනවා.

(ප්‍රභාත් මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වනවා)

2022 වසරේ එක්දින තරග වාර්තාව

2022 වසරේ වැඩිම එක්දින තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ ස්කොට්ලන්තය (15) වන අතර, එහි දෙවැනි ස්ථානය ජයග්‍රහණය 14ක් වාර්තා කර ඇති ඉන්දියාවට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර ඇති එක්දින තරග 11න් 6ක් ජයග්‍රහණය කර ඇත්තේ තරග හතරක් පමණක් පරාජය වෙමිනුයි.

එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ නැමීබියා කණ්ඩායමේ Gerhard Erasmus වන අතර ඔහු ලකුණු 956ක් රැස් කර ඇත්තේ සාමාන්‍ය අගය 56ක පවත්වා ගනිමිනුයි.

මෙම වසරේ වැඩිම එක්දින කඩුලු ලාභියා වන්නේ ඕමානයේ Bilal Khan වන අතර ඔහු ඉනිම් 16ක දී කඩුලු 43ක් බිඳ හෙළා තිබෙනවා.

2022 වසරේ වැඩි වශයෙන් ම අවධානය ලැබුණේ විස්සයි විස්ස තරග රටාවට බව නොරහසක්. මේ වසරේ පැවැත්වුණු ප්‍රධාන පෙළේ තරගාවලි දෙකම (ආසියානු කුසලානය සහ ලෝක කුසලානය) විස්සයි විස්ස තරග රටාවෙන් පැවැත්වීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකියි. ඒ නිසාම සමස්තයක් ලෙස ගත් කළ සෑම කණ්ඩායමක් ම වඩා වැඩි වශයෙන් විස්සයි විස්ස තරග ක්‍රීඩා කර තිබෙනවා.

2022 වසරේ විස්සයි විස්ස තරග වාර්තාව

මේ වසරේ දී විස්සයි විස්ස තරග 40කට සහභාගී වූ ඉන්දියාව ඉන් තරග 28ක් ජයග්‍රහණය කරමින් වැඩිම තරග ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්ව තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාවේ දී පැවති මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම සිය තරග 27න් 15ක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.

මෙවර ආසියානු ශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 25න් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තරග 11ක් පමණයි.

විස්සයි විස්ස තරග රටාවේ ඉහළතම ලකුණු ලාභියා ලෙස ඉන්දියාවේ Suryakumar Yadav පෙරමුණ දිනා ඇත්තේ ලකුණු 1164ක් රැස්කර ගනිමිනුයි. එම ලකුණු සංඛ්‍යාවට ශතක දෙකක් සහ අර්ධ ශතක 9ක් අන්තර් ගත වනවා.

ඉන්පසුව පිළිවෙළින් Mohommad Rizwan, Virat Kohli, Babar Azam යන පිතිකරුවන් මෙම ලැයිස්තුවේ සිටින අතර, ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංකට (ලකුණු 713) මෙහි 7 වැනි ස්ථානය හිමි වී තිබෙනවා.

මේ වසරේ වැඩිම විස්සයි විස්ස කඩුලු ලාභියා වීමට සමත් වී ඇත්තේ ටැන්සානියාවේ YM Nkanya (කඩුලු 45) වන අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙම වසරේ පස්වැනියට වැඩිම විස්සයි විස්ස කඩුලු ලාභියා ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා.

එංගලන්තය  සහ ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ කුසලානය ද්විත්වය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 විස්සයි විස්ස ලෝක කුසලානය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තා.

තරගාවලියේ ආරම්භක තරගය වූ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ නැමීබියා කණ්ඩායම ලෝක කුසලානයේ පළමු පෙරළිය සිදු කළ අතර, ඉන්පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අයර්ලන්තය සහ ස්කොට්ලන්තය හමුවේ පරාජය වෙමින් පළමු වටයෙන් ම ඉවත් වී යාමට සිදු වුනා.

එමෙන්ම පසුව සිම්බාබ්වේ කණ්ඩායම විසින් පාකිස්තානය පරාජය කිරීමට සමත් වූ අතර, නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ද සමත් වුනා.

එමෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වූ එංගලන්තය ද තරගාවලිය අතර මැද අයර්ලන්තය හමුවේ පරාජය වුනා.

මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී අනුශූරතාව දිනා ගත් පාකිස්තානයට, එංගලන්තය ලෝක ශූරයින් වන විට ලෝක අනුශූරතාවය ද හිමි කර ගනිමින් පසකට වීමට සිදු වීම දෛවෝපගත සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි.

මේ අතර මෙවර IPL තරගාවලිය ද ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර මෙවර තවත් නව කණ්ඩායම් දෙකක් ද තරගාවලියට එක් කෙරුණා.

2022 IPL අවසන් මහා තරගය Rajastan Royals කණ්ඩායම සහ පළමු වරට තරගාවලියට එක් වුනු Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Titans කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.

ප්‍රසිද්ධ ක්‍රිකට් තරු කිහිප දෙනෙකු ම 2022 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අතර සමහරු සිය ජීවිතයට ද සමු දුන්නා.

පාකිස්තානයේ Mohommad Hafeez සියලු ම ආකාරයේ ක්‍රිකට් තරගවලින් සමු ගනිද්දී, ඔහු සමඟ නවසීලන්තයේ Ross Taylor, බටහිර ඉන්දීය කොදෙව් හී Kieron Pollard සහ Lendl Simmons  එංගලන්තයේ Eoin Morgan, ශ්‍රී ලංකාවේ සුරංග ලක්මාල් වැනි අය ද සියලු ම ආකාරයේ ක්‍රිකට් තරග රටා වලින් විශ්‍රාම ගත්තා.

ඒ අතරේ එංගලන්තයේ Ben stokes සහ ඕස්ට්‍රේලියාවේ Aron Finch දෙදෙනා එක්දින තරගවලින් විශ්‍රාම ගනිද්දී, බංග්ලාදේශයේ Mushfiqur Rahim විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගත්තා.

මේ අතර ක්‍රිකට් රසිකයකුට කිසිදු ලෙසකින් වත් අමතක කළ නොහැකි ක්‍රීඩක වියෝ වීම් දෙකක් 2022 වසරේ වාර්තා වුනා.

2022 වසරේ මාර්තු 4 වැනිදා ලොව බිහි වූ විශිෂ්ටතම පා දඟපන්දු යවන්නා ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ Shane Warne සිය ජීවිතයෙන් සමුගත් අතර, ඔහුගේ වියෝවෙන්  මාස දෙකක් පමණ ගත වන තැන Warneගේ කණ්ඩායම් සගයා Andrew Symonds ද සිය ජීවිතය හැර ගියා.

ඒ අයුරින් 2022 වර්ෂය ක්‍රිකට් රසිකයින්ට දුක සතුට උද්දාම යන හැම අංශයකින් ම උපරිම හැඟීම් විඳීමට ඉඩ අවකාශය හිමි වූ වසරක් වෙමින් නිමාවට පත් වෙනවා.

එසේ නම් ගෙවුණු 2022 වසරේ මෙන්ම එළඹෙන 2023 වසරේ ද ක්‍රිකට් පිටියේ නවමු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<