අවසන් තරගයට යන්න ශ්‍රී ලංකාව ඇති අවස්ථා

Asia Cup 2023

24102

2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත් වුනා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ ඉන්දියාව ලබා ගත් ලකුණු 41ක ජයග්‍රහණයත් සමඟින් ඔවුන් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙද්දී, බංග්ලාදේශයට අවසන් මහා තරගය පිළිබඳ තිබූ එකම බලාපොරොත්තුවත් සුන් වී ගියා.

කෙසේ වෙතත් තවමත් පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟින් ආසියානු කුසලානය වෙනුවෙන් තරග කිරීමට ඉඩ ඉතිරි ව තිබෙනවා.

ඉන්දියාව

  • ලකුණු: 4, NRR: 2.690
  • මීළඟ තරගය: බංග්ලාදේශය සමඟ (15 වැනි දා)

මෙතෙක් ඉතිහාසයේ හත් වරක් ආසියානු ශූරයින් බවට පත් වීමට සමත් වී ඇති ඉන්දියාව සුපිරි හතර වටයේ තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම සිය 8 වැනි ශූරතාවය සඳහා සටන් වැදීමට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව එළඹෙන 15 වැනිදා බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉන්දියාවට පුහුණු තරගයක් ලෙස පෙනෙනු ඇති.

ශ්‍රී ලංකාව

  • ලකුණු: 2, NRR: -0.200
  • මීළඟ තරගය: පාකිස්තානය සමඟ හෙට (14)

ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය හොබවමින්, වත්මන් ආසියානු ශූරයින් ලෙස තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාවට මෙවර අවසන් මහා තරගයට පිවිසීමට නම් හෙට පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරගය ජයග්‍රහණය කළ යුතුයි.

නමුත් හෙට තරගය වර්ෂාවට සේදී යාම හෝ වෙනත් හේතුවක් නිසා අත්හැර දැමීමට තීරණය කළ ද ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය වෙත පිවිසීමේ අවස්ථාව ඉතිරි ව තිබීම විශේෂත්වයක්.

පාකිස්තානය

  • ලකුණු: 2 NRR: -1.892
  • මීළඟ තරගය: ශ්‍රී ලංකාව සමඟ

ඉන්දියාව සමඟ පැවැත්වුණු තරගයේ දී පාකිස්තානය ලද දැවැන්ත පරාජය නිසා ඔවුන්ගේ දල ලකුණු වේගය දරුණු ලෙස පහතට ඇද වැටුණා. මේ නිසා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින පාකිස්තානය අවසන් මහා තරගයට පිවිසීමට නම් අනිවාර්යයෙන් ම හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජයග්‍රහණය කළ යුතුයි.

වර්ෂාව හෝ ලකුණු සම වීමක් වැනි විසඳුමක් රහිත තරගයක් පාකිස්තානයේ අවසන් මහා තරග හීනය බොඳ කිරීමට ප්‍රමාණවත්.

මේ අතර පසුගිය ඉන්දීය තරගය අතරතුර ආබාධවලට ලක් වූ පාකිස්තාන ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන Naseem Shah සහ Haris Rauf දෙදෙනාට හෙට තරගයට ක්‍රීඩා කළ නොහැකි වුවහොත්  එය පාකිස්තාන පාර්ශවයට තවත් ගැටලුවක් වනු ඇති.

බංග්ලාදේශය

  • ලකුණු: 0 NRR: -0.749
  • මීළඟ තරගය: ඉන්දියාව සමඟ

ඊයේ පැවැත්වුණු ඉන්දු – ශ්‍රී ලංකා තරගයේ ප්‍රතිඵලය නිසා බංග්ලාදේශයේ අවසන් මහා තරග බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. දැන් ඔවුන්ට මෙම තරගාවලිය තුළ සටන් කිරීමට ඉතිරි වී ඇත්තේ සිය ගෞරවය වෙනුවෙන් පමණයි.

තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ පැවැත්වීමට ඉතිරි වී ඇති තරග ද්විත්වයෙන් පසුව (14 සහ 15) තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා දිනයේ දී (17) පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

2023 ආසියානු කුසලාන තරග උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<