වාර්තා එක පිට එක බිඳ දමමින් ඇෆ්ගන් – සිම්බාබ්වේ ටෙස්ට් ගැටුම නිම වෙයි

Afghanistan Tour Of Zimbabwe 2024/25

75
Afghanistan Tour Of Zimbabwe 2024/25

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය  වාර්තා කිහිපයක් ම බිඳ දැමීමට සමත් වූ තරමක් විශේෂ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ලෙස ඉතිහාසගත වුනා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 586ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී එම ඉනිම වෙනුවෙන් Sean Williams (154), Craig Ervine (104) සහ Brian Bennett (110) විසින් ශතක රැස් කිරීමට සමත් වුනා.

මෙම ලකුණු සංඛ්‍යාව සිම්බාබ්වේ කණ්ඩායමක් ටෙස්ට් තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

මේ අතර ඊට පිළිතුරු ලබා දෙමින් සිය පළමු ඉනිම දියත් කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 699ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුනා.

මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නායක Hashmatullah Shahidi (246) සහ Rahmat Shah (234) ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වූ අතර, Afsar Zazai (113) විසින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙය ඇෆ්ගනිස්තානය විසින් ටෙස්ට් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූ අතරම, ඉනිමක සිය මංගල ලකුණු 600 සීමාව ඉක්මවා යෑමට කණ්ඩායමක් වැය කළ අඩුම තරග ප්‍රමාණයේ වාර්තාව ද (මෙය ඇෆ්ගනිස්තානයේ දස වැනි ටෙස්ට් තරගයයි) ඔවුන් සතු වුනා.

මේ අතර Hashmatullah Shahidiගේ ලකුණු 246ක ඉනිම ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරගයක ක්‍රීඩකයකු විසින් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.

එමෙන්ම Rahmat Shah සහ Hashmatullah Shahidi අතර ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 364ක සබඳතාවක් පැවැත්වුණු අතර, මෙය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රියාත්මක වූ හොඳම පිතිකරණ සබඳතාව ලෙස ද වාර්තා අතරට එක් වුනා. එමෙන්ම මොවුන් දෙදෙනා තරගයේ තෙවැනි දිනය පුරාවට සිය කඩුලු රැක ගනිමින් නොදැවී ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, 2019 වසරෙන් පසුව එවැනි අවස්ථාවක් වාර්තා වූ පළමු තරගය මෙයයි.

මේ අතරම කණ්ඩායම් ද්විත්වය ම තම හොඳම ටෙස්ට් ඉනිම් ක්‍රීඩා කළ තරගයක් මීට පෙර පැවැත්වී තිබුණේ 1991 වසරේ දී (ශ්‍රී ලංකාව සහ නවසීලන්තය Wellington හිදි) වීමත් විශේෂත්වයක්.

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ Brian Bennett, පන්දු යැවීමෙන් ද කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූ අතර, එවැනි දස්කමක් සිදු කළ ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස (ඔහුගේ වයස අවුරුදු 21 දින 46) වාර්තා අතරට එක් වුනා.

මේ අතර මෙම තරගය තුළ ශතක හයක් (ද්විත්ව ශතකය දෙක ද ඇතුළුව) වාර්තා වූ අතර, Boxing Day ටෙස්ට් ක්‍රිකට් තරගයක දී වාර්තා වූ ඉහළම ටෙස්ට් ශතක ප්‍රමාණය ලෙස ද මෙය වාර්තා අතරට එක් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<