පුලිඳුගේ වේගවත් අර්ධ ශතකය ශ්‍රී ලංකාව ඔසවයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1470
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය අද (5) දඹුල්ලේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 163ක් ලබාගෙන සිටියා.

පැවති අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් දහවල් 2ට පමණ මේ තරගය ආරම්භ වුනු අතර කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහි දී ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 11 දෙනා සහ කොදෙව් ක්‍රීඩකයින් 11 දෙනා එකම තරගයක දී යොවුන් ටෙස්ට් වරම් දිනා ගැනීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය සනිටුහන් කළ පුලිඳු පෙරේරා සහ සිනෙත් ජයවර්ධන පන්දු 70ක් තුල වේගවත් ලකුණු 64ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

4 පහර 7ක් සමඟ ලකුණු 34ක් ලබා ගත් ජයවර්ධන දැවී යාමත් සමඟ පළමු කඩුල්ලේ සබඳතාවය බිඳ වැටුණු නමුත් අනෙක් අන්තයේ සිටි පුලිඳු පන්දු 66ක් තුල ලකුණු 71ක් ලබාගෙන සිය මංගල යොවුන් ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තා. ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 8ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනු අතර දිනයේ වාර්තා වුනු එකම 6 පහර දෙක ඔහුගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනුණා.

දිනයේ නිමාව සටහන් වන විට ශ්‍රී ලංකා කඩුලු 3ක් බිඳ වැටී තිබුණු අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින රවිශාන් ද සිල්වා ලකුණු 31*ක් සහ දිනුර කළුපහන ලකුණු 15*යි.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. පළමු සිව්දින තරගයේ දෙවැනි දිනය හෙටයි (6). තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<