කොදෙව්වන්ට එරෙහි යොවුන් සිංහයන්ගේ දක්ෂතා

West Indies U 19 Tour of Sri Lanka 2023

1283

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සමත් වුනා.  

මෙම තරගාවලිය නිමා වුනේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.  

පළමු තරගය 

  • බටහිර ඉන්දීය කොදෙව්සියලුම දෙනා දැවී 223 (49.1) Nathan Sealy 75, ගරුක සංකෙත් 5/48, දිනුර කළුපහන 3/45 
  • ශ්‍රී ලංකාව – කඩුලු 4ක් දැවී 224 (43.1) රවිශාන් නෙත්සර 65, සුපුන් වඩුගේ 56, දිනුර කළුපහර නොදැවී 52, Nathan Edward 3/43 

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

තරගයේ වීරයා – දිනුර කළුපහන 

දෙවැනි තරගය  

  • බටහිර ඉන්දීය කොදෙව්කඩුලු 8ක් දැවී 320 (50) Joshua Dorne 56, Jordan Johnson 105, Tarrique Edward නොදැවී 53, සිනෙත් ජයවර්ධන 4/36 
  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 125 (30.5) මල්ෂ තරුපති 51, Deshawn James 3/30, Isai Thorne 3/18 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ජයක්.  

තරගයේ වීරයා – Jordan Johnson 

තෙවැනි තරගය  

  • ශ්‍රී ලංකාවකඩුලු 8ක් දැවී 304 (50) පුළිඳු පෙරේරා 155, විහස් තෙව්මික නොදැවී 28, Nathan Edward 3/66 
  • බටහිර ඉන්දීය කොදෙව් – සියලුම දෙනා දැවී 253 (40.3) Adrian Weir 52, Jewel Andrew 80, විශ්ව ලහිරු 3/48 

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 51ක ජයක්.  

තරගයේ වීරයා – පුළිඳු පෙරේරා  

එළඹෙන වසරේ දී මෙරට දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් පැවති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ තත්ත්වයක පැවතීම වඩාත් සුබදායකයි.  

පිතිකරණ දක්ෂතා 

විශේෂයෙන් ම පිතිකරුවන් කිහිප දෙනෙක් ම මෙම තරගාවලියේ දී තම දක්ෂතා එළිදැක්වීම කැපී පෙනුණා.  

ඒ අතරින් වඩාත් ඉදිරියෙන් පසු වූයේ සහ කැපී පෙනුණේ තෙවැනි එක්දින තරගයේ දී ශතකයක් ද වාර්තා කළ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පුළිඳු පෙරේරා. ඔහුගේ එම ඉනිම පන්දු 140කින්, හතරේ පහර 17කින් සහ හයේ පහර 4කින්  සමන්විත ලකුණු 155ක් වූ අතර එය මෙම තරගාවලියේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වුනා.  

වමත් ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ ඔහු තමන් සහභාගී වූ ඉනිම් 3 දී ලකුණු 174ක් ලබා ගත් අතර එම ලකුණු සංඛ්‍යාව මෙම තරගාවලියේ දී පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා. ඔහුගේ මෙම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක්වුණේ 58.00ක අගයක්.  

පුළිඳු නිමා වූ වසරේ දී වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000ක් ලබා ගනිමින් ද දක්ෂතා දැක්වීමට ද සමත් වූ අතර නිමා වූ වයස අවුරුදු 19න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා. ඔහු එම තරගාවලියේ තරග 5කට සහභාගී වෙමින් ලකුණු 179ක් ලබා ගත් අතර එහි සාමාන්‍ය 44.75ක් ලෙසින් පැවතියා.  

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඉනිම් 3ක දී අර්ධ ශතයක් සමඟින් ලකුණු 92ක් ලබා ගත් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ රවිශාන් නෙත්සර සතු වුනා. දෙරට අතර පැවති ආරම්භක තරගයේ දී ම පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගනිමින් කාගේත් අවධානය දිනා ගත්තා.  

ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරන දකුණත් පිතිකරු දිනුර කළුපහන මෙම ලැයිස්තුවේ තෙවැනි තැනට පත් වීමට සමත් වුනා. ඒ ඉනිම් 3ක දී ලකුණු 83ක් වාර්තා කරමින්. එම ලකුණු අතරට දෙරට අතර පැවති පළමු තරගයේ දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 52ක් ද ඇතුළත්. 

පන්දු යවන්නෙක් ලෙසින් ද දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු තරගාවලියේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.  

2022 වසරේ පැවති වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගැනීමට දිනුර සමත් වුනා.   

ඊට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායම හා එක් වූ සුපුන් වඩුගේ ඉනිම් 3ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 67ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ සිව්වැනියා බවට ද සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා බවට ද පත් වු මල්ෂ තරුපති තරග 3ක ඉනිම් 2ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 58ක් ලබා ගනිමින් එහි 5 වැනි ස්ථානයට ද පත් වුනා.  

පන්දු යැවීමේ දක්ෂතා 

පන්දු යවන්නන් අතරින් වඩාත් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් කණ්ඩායම හා එක් වූ දකුණතින් මද වේගපන්දු යවන ගරුක සංකෙත්. ඔහු තරගාවලිය නිමා කරන්නේ කඩුලු 8ක් දවා ගනිමින්.  

පළමු තරගයේ දී ම ඔහු ලකුණු 48කට කඩුලු 5ක් දවා ගනිමින් කාගේත් අවධානයට ලක් වීමට සමත් වුනා. එම දක්ෂතාව මෙම තරගාවලියේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.  

පසුගිය වසරේ පැවති වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද සම්මාන දිනා ගැනීමට ගරුක සමත් වුනා.  

එහි දෙවැනි ස්ථානය තරග 3ක ඉනිම් 2ක දී පන්දුවාර 10.0ක් පමණක් යැවූ දකුණතින් පිට දඟපන්දු යවන කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සමත් වුනා. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6ක්. ඊට දෙවැනි එක්දින තරගයේ දී පන්දුවාර 7ක් යවමින් ලකුණු 36කට ලබා ගත් කඩුලු 4ක් ද අයත් වුනා.  

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය වමතින් පා දඟපන්දු යවන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විශ්ව ලහිරු සමත් වුනා. ඔහු සහභාගී වූ තරග 3 දී කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතා අතරට එක් වුනා 

මීට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ දිනුර කළුපහන කඩුලු 4ක් ලබා ගනිමින් ද සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරන විශාන් තෙව්මික කඩුලු 3ක් ලබා ගනිමින් ද මෙම ලැයිස්තුව හා එක් වුනා.   

සංචාරක කණ්ඩායමේ දක්ෂතා 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත් වූයේ දෙවැනි එක්දින තරගයේ දී ශතකයක් වාර්තා කළ වමත් මැදපෙළ පිතිකරු Jordan Johnson. ඔහු එම තරගයේ දී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 105ක් ලබා ගන්නා ලද අතර තරගාවලිය නිමා කරන්නේ ඉනිම් 3ක දී ලකුණු 137ක් ලබා ගනිමින්.  

එමෙන් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනා ගැනීමට ද සමත් වූයේ ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වීම කැපී පෙනුණා. Jordan Johnson එම ලැයිස්තුවේ පුලිදු පෙරේරාට දෙවැනි වෙද්දී, තෙවැනි ස්ථානය අර්ධ ශතකයක් සමඟින් ලකුණු 116ක් ලබා ගත් දකුණත් පිතිකරු Adrian Weir සතු වුනා.  

එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තේ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 95ක් ලබා ගත් වමත් පිතිකරු Nathan Sealy.  

තරගාවලියේ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමුවැනියා බවට පත් වෙන්නේ වමතින් මද වේගපන්දු යවන Nathan Edward. ඔහු තරග 3 දී පන්දුවාර 22ක් යවමින් ලකුණු 126කට කඩුලු 8ක් ලබා ගනිමින් එම අසුන වෙන් කර ගන්නවා.  

එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන සත්කාරක පන්දු යවන්නන් සතු වෙද්දී සිව්වැනි ස්ථානය නැවත සංචාරක කණ්ඩායම සතු වෙනවා. එහි දී තරග 2ක දී කඩුලු 5ක් දවා ගත් දකුණතින් මද වේගපන්දු යවන Deshawn James එම අසුනට හිමිකම් කියනවා.  

කොදෙව්වන් වෙනුවෙන් තෙවැනි ස්ථානයත් තරගාවලියේ 6 වැනි ස්ථානයටත් පත් වීමට සමත් වෙන්නේ තරග 3ක දී ලකුණු 114කට කඩුලු 4ක් දවා ගත් දකුණතින් මද වේගපන්දු යැවූ Isai Thorne.  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ මෙරට දී සිව්දින යොවුන් ටෙස්ට් තරග 2කට ද සහභාගී වීමට නියමිතයි. එහි පළමු තරගය සැප්තැම්බර් 05 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟ ම. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<