කොදෙව්වන් පමා වී හෝ ජයග්‍රහණයක් සොයා ගනී

West Indies Tour of Sri Lanka 2024

63

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු අවසන් එක්දින තරගයෙන් කඩුලු 08ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (26) සමත් වුනා. 

තරගාවලියේ මුල් තරග ද්විත්වය ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එම නිසාම ඊයේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනස්කම් කිහිපයක් සමඟ පිටියට අවතීර්ණ වුනා. මෙහි දී නිශාන් මදුශ්ක සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමෙන් එළියේ තැබීම සහ ආබාධයක් නිසා පළමු තරග දෙක අහිමි වූ පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට රැගෙන ඒමට විශේෂ අවධානයක් යොමු වුනා. 

තරගයේ කාසියේ වාසිය කොදෙව් නායක Shai Hope සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා. මෙහි දී ආරම්භක පිතිකරු යුගලය වූ අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් එක් කිරීමට සමත් වූ අතර, අවිශ්ක ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා. 

අවිශ්ක පිටියෙන් ඉවත් වීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, වන විට ශ්‍රී ලංකා ඉනිමේ 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් පැවතුණා. 

වර්ෂාවෙන් පසුව නැවත තරගය ආරම්භ වුනේ එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කරමිනුයි. මේ අනුව පැතුම් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් ඉක්මන් ලකුණු 57ක් එක් කිරීමට සමත් වූ අතර, පැතුම් පන්දු 62කින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර කුසල් විසින් පන්දු 19ක් පමණක් වැය කරමින් අර්ධ ශතකක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා ඉනිම නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳුණු ඔහු පන්දු 22කින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ අනුව නියමිත පන්දුවාර 23 තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 156ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟම Duckworth-Lewis න්‍යාය අනුව කොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක් උරුම වුනා. 

කොදෙව්වන් වෙනුවෙන් මෙම හඹා යාම ආරම්භ කිරීමට Brandon King සහ Evin Lewis පිටියට පිවිසුනත්, Kingගේ ඉනිම ලකුණු 16කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු සමත් වුනා. නමුත් මේ මොහොතේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් Lewis සමඟ කඩුල්ලේ එක් වූ නායක Hope ලකුණු 72ක් එක් කිරීමට සමත් වුනා. Hope ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර, Hopeගෙන් පසුව තරගාවලියේ කොදෙව්වන් වෙනුවෙන් වඩාත් සාර්ථක පිතිකරු වූ Sherfane Rutherford පිටියට පිවිසෙමින් Lewis සමඟ තෙවන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 88ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී Rutherford පන්දු 26ක් පමණක් වැය කරමින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, Lewis විසින් පන්දු 61කින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුනා.  

ඒ අනුව පන්දුවාර 22ක් පමණක් වැය කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් අදාළ ඉලක්කය පහසුවෙන් ම හඹා යාමට සමත් වූ අතර, තරගයේ වීරයා සම්මානය Evin Lewis විසින් දිනා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගාවලිය මෙන්ම, එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එක්දින තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක හට හිමි වුනා. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<