“ශ්‍රී ලංකාවේ නියම ක්‍රිකට් ඉස්සරහදී බලා ගන්න පුළුවන්” හතුරුසිංහ

4314

1980 ගණන්වල දී ක්ලයිව් ලොයිඩ් යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් ක්‍රීඩා කළ කැලිප්සෝ ක්‍රිකට් සන්නාමය මෙන් ඉන් දශකයකට පමණ පසු අර්ජුන රණතුංග යටතේ ශ්‍රී ලාංකිකයන් ප්‍රදර්ශනය කළ ආකර්ෂණීය ක්‍රීඩා විලාශය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සන්නාමය ලෙස ප්‍රචලිත විය.

ඉන් අනතුරුව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම් ද ඒ හා සමානව ක්‍රීඩා කිරීමට සමත් වුවත් මෑත කාලයේ දී ශ්‍රී ලංකාව ඉන් දැඩි ලෙස දුරස් වෙමින් ඉතා පසුගාමී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරන්නට විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ දී තරග 5-0ක් බැගින් පූර්ණ එක්දින තරගාවලි පරාජ 3කට සහ තරග 3-0 බැගින් පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජ 2කට මුහුණ දුන් බැවින් මෙම වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අදුරුතම වසරක් ලෙස ඉතිහාසයට එක්විය. කෙසේ නමුත් චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස වගකීම් බාර ගැනීමත් සමඟ යහපත් ඉදිරි ගමනක නව අරුණලු යළිත් පහළ වී ඇත.

2018 ක්‍රිකට් වසර අරඹන්නට පෙර

2018 වසරේ එළිපත්තට අපි පැමිණ සිටිමු. ගෙවී යන වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නම් එතරම් තෘප්තිමත් වසරක් නොවූ බව මෙරට ක්‍රිකට් පරිපාලකයන් හැර අන් සියලු දෙනාම…

Cricbuzz වෙබ් අඩවිය සමඟ කළ සංවාදයක දී හතුරුසිංහ මහතා පුහුණුකරුවෙක් වශයෙන් ඔහු අත්විඳි හොඳම නිමේෂය, ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ගේ උපරිම දක්‍ෂතා ලබා ගැනීමට ඔහුගේ සැලසුම් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සන්නාමය නැවතත් කරළියට රැගෙන ඒම පිළිබඳව අදහස් දක්වා ඇත.

එමෙන්ම ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ශකීබ් අල් හසන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් මාස 6කට විවේක ගැනීමට තීරණය කිරීමත් සමඟ ඔහු සමඟ ඇතිවූ මතභේදාත්මක තත්වය යැයි පැතිරී යන ආරංචිය ද මෙහි දී ඔහු විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

උපුටාගත් කොටස් මෙසේය.

ඔබ එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව තම රටේ දී ටෙස්ට් ජයග්‍රහණ ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ද ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ වගේම ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා කණ්ඩායම රැගෙන යන්න සමත් වෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඔබ හැමදෙයක්ම හොඳින් සිදු කරමින් සිටියා. ඒත් ඇයි ඔබ ඉන් ඉවත් වෙන්න තීරණය කළේ?

මුලින්ම, මට හිතුණා මම බංග්ලාදේශ කණ්ඩායම මට පුළුවන් උපරිමයටම අරන් ඇවිත් තියෙන්නේ කියලා. අනෙක් එක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වගකීම බාර ගන්න කියලා මට හතර පාරක් විතර කතා කරලා තිබුණේ. ඒ වගේම මට මගේ පවුලෙන් ලොකු කාලයක් ඈත් වෙලා ඉන්නත් බැහැ. මගේ සිහිනය වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වෙන එක. ඉතින් මේක ඒකට හරි වෙලාව වෙන්න ඇති. ඔවුන් යන්නේ හරි දිශාවේ නෙමෙයි. අනෙක් එක තමයි අවුරුදු 3ක් වගේ බංග්ලාදේශය පුහුණු කරලා පවුලෙන් ඈත් වෙලා ඉඳලා, ඊට පස්සේ තවත් වසර 4ක් වෙනත් කණ්ඩායමක් පුහුණු කරන එක කරන්න අමාරුයි. ඒ නිසා මට හිතුණා මේ අභියෝගය බාර ගන්න හොඳම වෙලාව තමයි මේක කියලා. ඒ වගේම මේක තමයි එකම අවස්ථාව. ඉතින් ඔය දේවල් ගැන තමයි මම හිතුවේ.

බංග්ලාදේශ කණ්ඩායමට දැඩි අභියෝගයක් වුන දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ශකීබ් අල් හසන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විවේකයක් ගන්න තීරණය කරපු එක තමයි ඔබ ඒ තීරණය ගන්න පොළඹවපු අවසන් හේතුව කියලා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නාස්මුල් හසන් කියලා තියෙනවා?

ඒක කොහෙත්ම නිවැරදි නැහැ. නාස්මුල් හසන් මහතා ගොඩක් දක්‍ෂ, බුද්ධිමත් පුද්ගලයෙක්. ඔහු එහෙම කියන්න ඇත්තේ වෙනත් හේතුවකට. සමහර විට ශකීබ්ව පොළඹවන්න ඒක කිව්වා වෙන්න පුළුවන්. මම දැක්කා දැන් ශකීබ්ව කණ්ඩායමේ නායකයා කරලා තියෙනවා. ඔහු ගොඩක් බුද්ධිමත්ව ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙනවා.

දකුණු අප්‍රිකාව සංචාරය කරන්න එතරම් හොඳ ස්ථානයක් නෙමෙයි. ඉතිහාසය තුළ එහේ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පමණයි. දකුණු අප්‍රිකාවේ දී ජයග්‍රහණයක් ලබා ගන්න නම් අනෙක් කණ්ඩායම්වලට මොනවා ද කරන්න පුළුවන්?

මෙහේ රටවල්වලට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. අභියෝගය තියෙන්නේ හැකියාවේ නෙමෙයි; ශාරීරික ශක්තියේ. මොකද, එහේ කඩුලු 20ක් දවා ගන්න නම් කණ්ඩායමක් සතුව ශක්තිමත් සහ ඉතා වේගවත් වේගපන්දු යවන්නන් ඉන්න ඕන. ඔබ කියපු විදිහට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරලා තියෙන කණ්ඩායම් දෙකම සුදු ජාතික කණ්ඩායම්. ඔවුන් ගොඩක් යැපෙන්නේ වේගපන්දු යවන්නන්ගෙන්. ඔබට උස නැත්නම්, වේගය නැත්නම්, ඔබට දකුණු අප්‍රිකාවේ දී ජයග්‍රහණය කරන්න ලැබෙන් නැහැ.

හතුරුගේ නව මිතුරා කවුද?

හතුරු… නැතිනම් උපුල් චන්දික හතුරුසිංහ.. පසුගිය කාල සමයේ සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මුවග නිතර රැඳුණු නාමය වූයේ එයයි. එකී සුවහසකගේ බලාපොරොත්තු…

ටෙස්ට් තරගයක දී කඩුලු 20ක් දවා ගැනීමේ ප්‍රශ්නයට ශ්‍රී ලංකාව පිළිතුරු සොයන්නේ කොහොමද? ඔවුන් මේ මහාද්වීපයේ දී පවා ඒකෙ දී ලොකු අභියෝගයකට මුහුණ දීලා ඉන්නේ.

පළමුවෙන්, කඩුලු 20ක් දවා ගන්න පුළුවන් පන්දු යවන්නන් සොයා ගැනීම අවශ්‍ය යි. මම හිතනවා පා දඟපන්දු යවන්නන් ඒකට ගොඩක් වැදගත් වෙයි කියවා. පිට දඟපන්දු යවන්නන් ගත්තොත්; මුරලි (මුත්තයියා මුරලිදරන්), නේතන් ලයන්, රවිචන්ද්‍රන් අශ්වින් හරි රංගන හේරත් වැනි තරග ගැන හොඳ අවබෝධයක් තියෙන, තරගකාරී, තමන් කරන දේවල් ඉතා හොඳ පාලනයක් ඇතුව කරන පන්දු යවන්නන් නැතුව අමාරුයි. අපි ඒ වගේ පන්දු යවන්නන් හොයා ගන්න ඕන. නමුත් එහෙම පන්දු යවන්නන් නැත්නම් හැම දෙයක්ම කරන්න වෙන්නේ උපාය මාර්ග තුළින්. අපේ තත්වයන් අපට උදව් කළ යුතුයි. නැත්නම් උත්සාහය අත්හරින් නැතුව දිගටම සටන් කළ යුතුයි. තරග ජයග්‍රහණය කරවන්න පුළුවන් පන්දු යවන්නන් නැත්නම්, අන්න ඒ දේ තමයි කරන්න ඕන.

තරග ජයග්‍රහණය කරන්න පුළුවන් පන්දු යවන්නන් නැත්නම්, ඉතා විශිෂ්ට පන්දු රකින්නන් සිටීම කොච්චර වැදගත් ද? සමහරු කියනවා ශ්‍රී ලංකාව තමයි පන්දු රැකීමෙන් දුර්වලම කණ්ඩායම කියලා.

ඔබ කිව්වේ ලොකු කතාවක්. ඒත් මම එහෙම හිතන් නැහැ. අපි ඒ තරම් දුර්වල නැහැ. ඔබ පන්දු රැකීමෙන් හොඳ කණ්ඩායමක් නම්, ඒක ලොකු වාසියක්. පන්දු රැකීමේ දී ලැබෙන අපහසු අවස්ථාවන්වල දී ඒ වගේ කණ්ඩායමක් ඉන්න එකේ වාසිය තියෙන්නේ ඔබට. ඒ වගේ අපහසු අවස්ථාවන් පන්දු රකින්නන් සාර්ථකව ලබා ගන්න කොට කණ්ඩායමේ පන්දු යවන්නන්ට පවා ඒකෙන් ජවයක් ලැබෙනවා. මොකද ඊළඟට පන්දු යවන්න ලැබෙන්නේ අලුත් පිතිකරුවෙකුට. ඒ නිසා පන්දු රැකීම ගොඩක් වැදගත්. අනෙක් එක තමයි, හැම කෙනෙක්ම පන්දු රකින්න ඕන.

සමහර පුහුණුකරුවන් බොබ් වුල්මර් ඔවුන්ගේ ආදර්ශය විදිහට යොදා ගන්නවා. තවත් සමහරු ජෝන් බියුකැනන්ව. සමහර විට අනෙක් ක්‍රීඩා වල පුහුණුකරුවන් වුනත් වෙන්න පුළුවන්. ඔබ ආදර්ශයට යොදා ගන්නේ කාවද?  

කවුරුත් නැහැ. මොකද, ඔබ වෙනත් කෙනෙක්ව අනුගමනය කරනවා නම් ඔබට නියම පුහුණුකරුවෙක් වෙන්න බැහැ. නමුත් මම අනෙක් පුහුණුකරුවන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අනෙක් අයගේ දේවල් උපයෝගී කරගන්නවා. මම පොතපත කියවලා හොයා ගන්නවා ඔවුන් සාර්ථක ඇයි කියලා. මම ඔවුන්ගේ කණ්ඩායම් නිරීක්ෂණය කරනවා. නමුත් මම හැමවෙලේම මගේම ක්‍රමයකට තමයි කටයුතු කරන්නේ. මම කරන්නේ මගේ කණ්ඩායම වර්ධනය කරන්න පුළුවන් දේවල්. එක කණ්ඩායමක් අනෙක් කණ්ඩායමකින් වෙනස්.

ඔබ කිව්වා ඔබ ගොඩක් පොතපත කියවනවා කියලා. ඒ ක්‍රිකට්වලට සම්බන්ධ ඒවා ද?

ගොඩක් ක්‍රීඩාවලට සම්බන්ධ ඒවා. මම ග්‍රැහැම් හෙන්රිගේ පොත කියවලා තියෙනවා. තව පෙප් ගාඩියෝලා ගැන ගොඩක් කියවනවා. ඒ වගේම ජෝස් මෝරිනියෝ ගැනත්. ඒ වගේම ‘Sydney Swans’ වල ජෝන් ලෝන්ග්මයර් වත් මම ගොඩක් නිරීක්ෂණය කරනවා. මම අනෙක් ක්‍රීඩාත් අධ්‍යයනය කරනවා.

සමහර පුහුණුකරුවන් තමන්ගේ කණ්ඩායම් වෙනත් තලයකට රැගෙන ගිය ආකාරය ගැන මම පුදුමයට පත්වෙලා තියෙනවා. විශේෂයෙන් පෙප් වගේ පුහුණුකරුවන්. ඔහු පුහුණු කරපු කණ්ඩායම් 3 (Barcelona, Bayern Munich, Manchester City) කණ්ඩායම් එක්ක ඔහු කරපු දේවල් ඇත්තටම පුදුම සහගතයි. Manchester කණ්ඩායම සමඟ කටයුතු කරන කොටත් ඔහුට හොඳ දැක්මක් තියෙනවා. ඔහු ඒකට අනුව තමයි කටයුතු කරන්නේ. ඔහු කවදාවත් ඔහුගේ ක්‍රමය ගැන සැක කරලා නැහැ. ඒ නිසා කණ්ඩායම මේ තරග වාරයේ දී වෙනත්ම තලයකට රැගෙන යන්න ඔහු සමත් වෙලා තියෙනවා. නමුත් මම ඒක නිසි ක්‍රීඩකයින් නැතුව කරන්න ගියොත්, ඒක හරියන්නේ නැහැ. මම පෙප්ගෙන් ඉගෙන ගත්ත දේ තමයි, ඔබ දෙයක් ගැන විශ්වාස කරනවා නම් ඔබ ඒ සමඟ සිටිය යුතුයි. ඔහුගේ පොත් ගොඩක් වැදගත්.

ඔබ, ඔබගේ පොතක් ලියලා නැත්තේ ඇයි?

ඔබට ඒක කරන්න පුළුවන් නම්, මම කතා කරන්නම්.

අපි 2002 වසර ගැන කතා කරමු. ඔබ ‘ටැමිල් යූනියන්’ කණ්ඩායම සමඟ වයස අවුරුදු 14 ඉඳලා ඔබගේ ක්‍රීඩා දිවියේ අවසන් කාලය වෙනකොට ‘මුවර්ස් ක්‍රීඩා සමාජයට’ ක්‍රීඩා කරලා ඒකෙ පුහුණුකරු වෙනවා. එහි දී ඔවුන් වසර 100කටත් වැඩි කාලයකට පස්සේ දිනා ගත්ත පළමු පෙළ ශූරතාවය කරා කණ්ඩායම ඔබ රැගෙන ගිය වෙලාවේ ද ඔබට තේරුණේ ඔබට සාර්ථක පුහුණුකරුවෙක් වෙන්න හැකියාව තියෙනවා කියලා?

ඒ වෙලාවේ තමයි මට විශ්වාසයක් ඇතිවුණේ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මට හිතුණා මම ඒ තරග වාරයේ දී කරපු උත්සාහයන් හොඳින් වැඩ කළා කියලා. ඊට පෙර 2000 වසරේ දී මම ඕස්ට්‍රේලියාවට ගියා එහේ ශ්‍රේණි ක්‍රිකට් ක්‍රීඩා කරන්න. එහේ දී මට මුණගැහුණා ක්‍රිස් හැරිස් කියලා පුද්ගලයෙක්. ඔහු වික්ටෝරියා ක්‍රිකට්වල පුහුණු උපදේශකවරයෙක්. ඔහු මාව පුහුණු කරන කටයුතු කරන්න දිරිමත් කළා. එහේ 2 වන කාණ්ඩයේ වැඩසටහනක් තිබුණා. ඔහුට අවශ්‍ය වුනා මට ඒක කරවන්න. එතන දී තමයි මම පුහුණුකරුවෙක් වෙන ගමනේ මූල බීජය පැළ වුනේ. ඊට පස්සේ මම මුවර්ස් ක්‍රීඩා සමාජයට එකතු වුනා. එතනින් පුහුණු කරන දිවිය ඇරඹුණා.

කුඩා ජොනීගේ ඛේදනීය අත්දැකීම සුඛාන්තයක් වූ දා

1998 වසරේ ජනවාරියේ තවත් එක් සීතල රාත්‍රියකි. වයස අවුරුදු 8ක ජොනී බෙර්ස්ටෝව්, අවුරුදු 7ක බාල සොහොයුරිය බෙකී සහ ඔවුන් දෙදෙනාගේ පිළිකා රෝගී මව ජැනට් සමඟ නිවසට…

කුමාර් සංගක්කාර මුත්තයියා මුරලිදරන් වගේ අය හැමවෙලේම ඔබගේ පුහුණු කිරීම ගැන හොඳ කිව්වා. එයාලත් සමඟ එච්චර හොඳට කළේ මොනවද?

මම සැබෑ විදිහට වැඩ කළා. එච්චරයි. මම උත්සාහ කළේ මගේ සාමාන්‍ය විදිහට වැඩ කරන්න. ඔබට යම් දැනුමක් තියෙනවා නම්, ඒ දැනුම හරියට බෙදා දෙන එක ඔබට තියෙන හැකියාවක්. ඒ වගේම ඔබ දැන ගත යුතුයි කිව යුතු දේවල් මොනවද? ඒවා කියන්න ඕනේ කොයි වෙලේ ද කියලා. ඔබ සැබෑ විදිහට වැඩ කරනවා නම් ඔබ වටේ ඉන්න මිනිස්සු ඔබව විශ්වාස කරන්න පටන් ගනියි. ඒක ඒ වගේ හරි සුළු දෙයක්.

නමුත් ඔබ ‘ටැමිල් යූනියන්’ කණ්ඩායමේ වසර ගණනාවක් ක්‍රීඩා කරපු නිසා මුරලිව ගොඩ කාලයක් ඉඳන් හොඳින් හඳුනනවා නේද?

මම මුරී (මුරලිදරන්) ගැන කතා කරන්නේ ගොඩක් ආඩම්බරයෙන්, වයස අවුරුදු 19 දී මුරී එනකොට මම වයස අවුරුදු 23න් පහළ ‘ටැමිල් යූනියන්’ කණ්ඩායමේ නායකයා. මගේ උපනායකයා විදිහට හිටියේ ඩේමියන් නඩරාජා. ඔහු මුරලිගේ පාසැලේම කෙනෙක්. ඔහු මං ළඟට ඇවිත් කිව්වා මේ තමයි කොටුවක් වගේ පන්දුව දඟ කවන තරුණ ක්‍රීඩකයා, ඔහු පසුගිය තරග වාර දෙකේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 100කටත් වඩා දවාගෙන තියෙනවා කියලා. එදා ඉඳලා අපි අතර හොඳ හිතවත්කමක් තියෙනවා. ඔහු පළවෙනි දවසේ ඉඳලම ගොඩක් තරගකාරීයි. ඔහු ‘billiard’ ගහන කොට පවා ඔහුට ඕන වුනේ දිනන්න. ඔහු ඔහුගේ ක්‍රීඩාවට ගොඩක් ආදරෙයි. මට ඔහුගේ පළමු ටෙස්ට් තරගය හොඳට මතකයි. ඒක ඕස්ට්‍රේලියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ. මම පන්දු රකිමින් සිටියේ ‘short leg’ ස්ථානයේ. මුරී තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු පන්දුව යවන්න සූදානමින් හිටියේ. අර්ජුන පන්දු රකින්නන්වත් ස්ථානගත කරලා තිබුණේ. එතකොට මුරලි මගෙන් කෑ ගහලා ඇහුවා ‘හතූ අයියා, මේ හදලා තියෙන ‘field’ ඒක අවුලක් නැද්ද?’ කියලා. මට එවෙලේ ලැජ්ජ හිතුණා. අර්ජුන එතකොට හොඳටම හිනා වෙනවා. ඔහු මට කතා කරලා කිව්වා ‘ අහන්න, මෙතන ඉඳන් ඔයා ‘mid off’ ස්ථානයේ පන්දු රකින්න. නිතරම මේ තරුණ කොල්ලා සමඟ කතා කරන්න’ කියලා. මුරී ගැන මට තියෙන මතකයන් තමයි ඕවා. අපි දෙන්නා ගොඩක් සමීපයි. අපි ‘ටැමිල් යූනියන්’ ක්‍රීඩා සමාජයේ දී හොඳ සාර්ථකත්වයක් අත්වින්දා. ඔහු මට තව උපදෙසක් දුන්නා. මට තාම මතකයි. මම හැමවෙලේම හරි දේ වෙනුවෙන් පෙනී හිටියා. මුරී මට කිව්වා, ‘මේ බලන්න, ඔයා ක්‍රීඩා කරන විදිහට ක්‍රීඩා කරන්න. ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ක්‍රිකට් දිවිය අවුරුදු 10ක් හරි තව ටිකක් තියෙයි. වැඩිපුර කතා කරලා ඔයා ඔය කරන්නේ ඔයාගේ ක්‍රිකට් දිවිය අවුරුදු 5කට අඩුකර ගන්න එක.’ ඒවා ඇත්තටම රත්තරන් වචන.

ඔබ පුහුණුකරුවෙක් විදිහට අත්විඳපු හොඳම නිමේෂය මොකක්ද?

එහෙම මතක හිටපු ගොඩක් දේවල් තියෙනවා. ලොකුම සතුටක් දැනුණ අවස්ථාව තමයි, දවසක් මම සිඩ්නි නුවර ‘Westfield Shopping Center’ එක ළඟින් ඇවිදන් යනකොට කෙනෙක් ඇවිත් මාව වැළඳ ගත්තා. මම පොඩ්ඩක් බයවෙලා ඒක පාරට ඔහුව අහකට තල්ලු කළා. එතකොට ඔහු කිවුවා ‘ බලන්න, මම බංග්ලාදේශ ජාතිකයෙක්. ඔබ කරලා තියෙන සේවය නිසා අපිට අපේ ‘office’ වල දැන් ඔලුව කෙළින් තියන් ඉන්න පුළුවන්’ කියලා. ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැනුණා, මොකද මම බංග්ලාදේශ කණ්ඩායම ඉහළට ගේන්න යමක් කරලා තියෙන නිසා. අපිට ඒ සතුටම ලැබුණා කලින් ලැබුණා 1996 දී. ලෝක කුසලාන ජයග්‍රහණය නිසා තමයි අපට පිළිගැනීමක් ලැබුණේ. ඒ වගේ අගය කිරීම් ලැබෙන කොට ලොකු සතුටක් දැනෙනවා.

නමුත් එක අවස්ථාවක් ගැන කිව්වොත්?

ශ්‍රී ලංකා කණ්ඩායම පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පරාජය කිරීම. හේතු ගොඩක් නිසා ඒක ගොඩක් ලොකු ජයග්‍රහණයක්.

ඒ, ඒ ජයග්‍රහණය ඔබගේ ‘ටැමිල් යූනියන්’ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණයේ ලබා ගත්ත ජයග්‍රහණයක් නිසා ද? ගොඩක් ඇය කියනවා ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳින් ඔබ ඒ තණතිල්ල තේරුම් ගන්නවා කියලා?    

ඒක මට ගොඩක් හැඟීම්බර තරගයක්. ඕවල් ක්‍රීඩාංගණය මට ගොඩක් වැදගත් ස්ථානයක්. ඒ වගේම ඒක බංග්ලාදේශ කණ්ඩායමේ 100 වෙනි ටෙස්ට් තරගය. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ දී පරාජය කිරීම ලොකු ජයග්‍රහණයක්. ශ්‍රී ලංකාව තමන්ගේ රටේ දී ටෙස්ට් තරගවල දී ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසා ඒක මට ලොකු සතුටක් ගෙන දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2010 වසරේ දී ඔබට සැලකුවේ දරුණු විදිහකට. ඔබට ඔබගේ රැකියාව නැති වුනා. ඒ වගේම රටින් යන්නත් වුනා. ඒක ගැනත් සලකලා බැලුවම අර ජයග්‍රහණය කොච්චර වැදගත් ද?

මට කවදාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ප්‍රශ්නේ තිබ්බේ පුද්ගලයින් දෙන්නෙක් එක්ක. නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන කිසිම අහිතක් තිබුණේ නෑ මට. මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව පහසුවෙන් නඩුවක් කියන්න තිබුණා. නමුත් මට එහෙම උවමනාවක් තිබුණේ නැහැ. මට ලැබිලා තියෙන හැමදෙයක්ම මට ලැබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. ඒ නිසා මට ඒ මාර්ගයේ යන්න ඕන වුණේ නැහැ. මම ඒ හැමදෙයක්ම අත්හැරියා.

ඔබගේ රැකියාව නැතිවීම කොච්චර අපහසු දෙයක් වුනා ද?

ඒක ඔබේ ජීවන රටාවට ගොඩක් බලපානවා. මට බලා ගන්න පවුලක් හිටියා. මගේ වෘත්තීමය ජීවිතය කවදාවත් අනතුරක තිබුණේ නැහැ. මොකද මම දැනගෙන හිටියේ මම කරන්නේ මොකක්ද කියලා. නමුත් මට රැකියාවක් නැතුව පවුලේ කටයුතු කරගෙන යන එක අමාරු දෙයක්.

ඔබට ක්‍රීඩා මනෝවිද්‍යාව ගැන ලොකු විශ්වාසයක් තියෙනවාද?

ඔව්. වෛද්‍ය ෆිල් ජෝන්සි වෙනස් විදිහේ මනෝ විද්‍යාඥයෙක්. ක්‍රීඩකයින් හොඳින් තේරුම් ගන්න ඔහු මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඔහු ක්‍රීඩකයින් සමඟ කතා කරලා ඔවුන්ගේ මනස හදනවා විතරක් නෙමෙයි, ඔහු විශ්වාස කරනවා ක්‍රීඩකයෙක් හොඳින් ක්‍රීඩා කරන්න ඔහුගේ මනස හොඳ තත්වයක තිබීම අනිවාර්ය දෙයක් නෙමෙයි කියලා. ගොඩක් මනෝ විද්‍යාඥයින් කියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඒ හොඳින් ක්‍රීඩා කරන්න නම් ඔබේ මනස හොඳ තත්වයක තියෙන්න ඕන කියලා. අපි හැමෝටම අපේ දෙගිඩියාවන් තියෙනවා. අපි හැමෝටම අපේ හිත් රිදීම් තියෙනවා. ඔබ ඒක ප්‍රතික්‍ෂේප කරනවා නම්, ඔබට ඔබේ ප්‍රශ්න විසඳගන්න ලැබෙන් නැහැ. ඒවා යටින් ප්‍රශ්න ඇති කරනවා. ඔහුගේ න්‍යාය තමයි ක්‍රීඩකයින්ට දෙගිඩියාවන් තිබ්බත් ඔවුන්ට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියන එක. ඔහු කතා කරන්නේ ධනාත්මක වීම ගැන. ඉතින් මම ඒක විශ්වාස කරනවා.

ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ දී ඔබත් සමඟ ගොඩක් කාලය ගත කළා. ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු අපේක්ෂාවක් කියලා ඔබ කියන්නේ 2009 වසරේ දී. ඉතින් ඔබ සෑහීමකට පත්වෙනවා ද ඔහු මේ දක්වා ලබාගෙන තියෙන දේවල් ගැන?

පෞද්ගලිකව මම නම් හිතන්නේ ඔහු තාම ලබාගන්න ඕන උපරිමය ලබාගෙන නැහැ කියලා. මම මීට දවස් කිහිපයකට කලින් ඔහුට මේ ගැන කිව්වා. මම හිතන විදිහට ඔහු මේ වෙනකොට පෙන්නලා තියෙනවට වඩා ඔහු ගොඩක් දක්‍ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ ආබාධ තත්වයන් ඔහුට ලොකු බාධාවක් වුනා. ඔහු ඉහළ තත්වයක ඉන්න කොට කණ්ඩායම ඔහු වටේ එක්වෙලා,ඒක ඔහුට ලොකු බරක් වුනා. ඒක ඔහුට උදව්වක් වුණේ නැහැ. කොහොම වුනත්, ඔහුගේ උපරිමය තාමත් එළියට ඇවිත් නැහැ.

දිනේෂ් චන්දිමාල් මෙම වසරේ ටෙස්ට් තරගවල දී ඉතාමත් හොඳින් ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්. ඔබ ඔහුගේ උපරිමය එක්දින තරගවලට ලබා ගන්නේ කොහොමද?

කරන්න ඕන ඔහු ක්‍රීඩා කරන්න ගියාම හිතන විදිහ පුළුල් කරන එක. ඔහු ටෙස්ට් තරගවල දී පන්දුවට පහර දෙන්න එන්නේ හොඳ සැලැස්මක් එක්ක. ඉතින් ඔහුගේ මනස ටිකක් වෙනස් කරලා එක්දින තරගවල දී තියෙන අභියෝගය ගැනත් ඔහුට හොඳ අවබෝධයක් ලබා දෙන්න ඕන. අපි බලන්න ඕන ඔහු නිසා අපි තරග කීයක් දිනලා තියෙනවා ද? පරාද වෙලා තියෙනවා ද? කියලා. එක්දින තරගවල ඔහු ක්‍රීඩා කළ යුතු ආකාරය ගැන මම ඔහු සමඟ කතා කරනවා.

ඔබ හිතනවා ද ඔහුට තාමත් එක්දින තරගවල කරන්න කාර්යයක් ඉතිරි වෙලා තියෙනවා කියලා?

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මම අවසන් වරට ගිය සංචාරය තිබ්බේ 2010 වසරේ දී. ඒක චන්දි ජාතික කණ්ඩායම සමඟ ගිය පළමු සංචාරය. එහි දෙවන එක්දින තරගයේ දී ඔහු ශතකයක් වාර්තා කරනවා. ඒක සිම්බාබ්වේ හිදී ඉන්දියාවට එරෙහිව ඔහු වාර්තා කර ගත්තේ. මට තාම මතකයි ඔහු ශතකය වාර්තා කළේ හයේ පහරකින්. ඒ පෙළඹවීම දැන් ඔහු සතුව නැහැ. මම දැන් අහන්නේ ඒකට මොකද වුණේ කියලා? අපි ඒකට පිළිතුරක් හොයා ගන්න ඕනේ.

ඊළඟ සංචාරය සඳහා සූදානම් කෙරෙන ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ශානක මදුෂංක තෝරා ගත්තේ ඇයි? ඔහු දේශීය තරග වුනත් ක්‍රීඩා කරලා තියෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්.

ඔහුට පැයට කි. මී. 140කට වඩා වේගයෙන් පන්දු යවන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ ක්‍රීඩකයෙක්ට ලැබෙන වේගය ඔහුට දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් කියලා. ඒක ඔබට පුහුණු කරන්න බැහැ. අපිට උපාය, තාක්ෂණික දේවල් හැමදෙයක්ම පුහුණු කරන්න පුළුවන්. නමුත් අපිට බැහැ පන්දු යවන්නෙක් පැයට කි. මී. 140කට වඩා වේගයෙන් පන්දු යවන්න යොමු කරන්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<