ක්‍රීඩාවෙන් සමුගත් පොදුරදමඬුලු වීරයා – සුදේෂ්

597

ශ්‍රී ලාංකීය බර එසවීම් කෙතේ සාරවත් අස්වැන්නක් ලෙසින් හැඳී වැඩුණ සුදේෂ් පීරිස් සිය ක්‍රීඩා ජීවිතයට පසුගිය දා සමුදුන්නා 

මේ වන විට 38 වැනි වියේ පසුවන සුදේෂ් මෙරට බර එසවීම් ක්ෂේත්‍රයේ නොමැකෙන වාර්තා කිහිපයක ම හිමිකරුවෙක්.  

“ඉතා අපහසුවෙන් ගත්ත තීරණයක්. ක්‍රීඩාවෙන් සමුගන්න පරාදවෙනකම්, එහෙම නැත්නම් මට බැරි වෙනකම් බලා ඉන්න හොඳ නැහැ කියන මතයේ මම මුල සිට ම සිටියා. ඒ මත සිටිමින් මම මගේ පුහුණුකරු එක්කත් කතා කරලා මේ තීරණය ගත්තා. ඇත්තට ම පුහුණුකරු වික්‍රමසිංහ සර්ගේ මතය වුනෙත් අපිට බැරි වෙලා සමුගන්නවට වඩා නමක් තියෙද්දී සමුගන්න එක වැදගත් කියලා,” සුදේෂ් පීරිස් ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා. 

විවිධ බර පංති යටතේ ජාතික වාර්තාවට අවස්ථා කිහිපයක දී ම පැමිණි සුදේෂ් 2022 වසරේ සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 73 බර පංතියේ රිදී පදක්කම් ලාභියා ද වෙනවා.  

“මම ජාතික තලයේ සිට ඔලිම්පික් දක්වා ගමනක් ගියා. ඒ ගමන හොඳට ම ප්‍රමාණවත්. ක්‍රීඩා කළ අවුරුදු 25ක පමණ කාලයේ ම මම ක්‍රීඩාව වෙනුවෙන් ම කැප වුනා. මම යමක් ලබා ගත්තා නම් ඒ ක්‍රීඩාවෙන් දැක්වූ දක්ෂතා නිසා. නමුත් අපිට හැමදාම එක ම මට්ටමේ ඉන්න බැහැ. කොටින් ම අවුරුදු 20 දී කරපු දේවල් මට දැන් කරන්න බැහැ. ඇගේ සමබරතාව පවා වෙනස් වෙමින් පවතිනවා කියල දැනෙනවා.” 

ක්‍රීඩාවෙන් සමුගත් සුදේෂ්ගේ අදහස පුහුණුකරුවෙක් ලෙසින් නැවත ක්ෂේත්‍රයට පැමිණීමයි. ඒ සඳහා දැනට වසර කිහිපයක තිස්සේ සිට ම සූදානම් වන බවක් ද සුදේෂ් පැවසුවා 

“මම අවුරුදු 15ක් තිස්සේ පුහුණු වුනේ ජපානයේ. ජපානයේත්, අපේ රටේත් පහසුකම් බැලුවහ ම අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙන්නේ. ඒවත් එක්ක බැලුවහ ම මට තවත් කාලයක් ලෙහෙසියෙන් ම පුහුණුවීම්වල නිරත වෙමින් ක්‍රීඩාවේ යෙදී සිටිය හැකි. නමුත් තවත් කාලයක් ගිය පසු පුහුණුකරුවෙක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණෙනවාට වඩා යමක් කරන්න පුළුවන් කාලේ පිවිසෙන එක වැදගත්. මම මේ දවස්වල ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා.” 

සුදේෂ් මේ දවස්වල ඔහුගේ සුපුරුදු සේවයේ යෙදී සිටිමින් සිටින්නේ ජපානයේ.  

“මම ජපානේ සිට කෙටි නිවාඩුවකට පැමිණි පසුයි ක්‍රීඩාවෙන් සමුගන්නා බවට තීරණය කරන්නේ. මේ සමුගැනීම සැලසුම් කරලා කරපු දෙයක් නෙමේ. ඉතා ඉක්මනින් ගත් තීරණයක්. මට අවශ්‍ය වුනේ මම ක්‍රීඩාවෙන් සමුගන්නා බව රටට කියන්න. මේ වෙනුවෙන් ශ්‍රියානි කුලවංශ, ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශය උපරිමයෙන් සහයෝගය දුන්නා. ඔවුන් පැමිණ මම රට වෙනුවෙන් කළ දේ අගය කළා. නමුත් කියන්න කනගාටුයි මම නියෝජනය කරන ක්‍රීඩා සංගමයෙන් කිසිදු ආකාරයේ සහයෝගයක් මේ වෙනුවෙන් ලැබුණේ නැහැ,” සුදේෂ් පීරිස් මඳක් හැඟුම් බරව පැවසුවා 

සුදේෂ්ගේ ගම මීගමුව. පාසල් යන්නේ සාන්ත මරියා විද්‍යාලයට. ගෙවල් කිට්ටුව ම පාසල තියෙන නිසා කාටත් කලින් පාසල් යන්න සුදේෂ් පුරුදු වෙලා හිටියලු 

“දන්න කියන කාලේ සිට ම ක්‍රීඩාව තමයි. මේ නිසා ම හැමෝට ම කලින් පාසල් යන්න පුරුදු වුනා. ක්‍රිකට් ගැහුවා, පාපන්දු ගැහුවා, මලල ක්‍රීඩා කළා. ඔය අතර සමස්ත ලංකා කනිෂ්ඨ පාපන්දු ශූරතාවත් දිනුවා. නමුත් කණ්ඩායම් ක්‍රීඩාව මට එච්චර අල්ලලා ගියේ නැහැ. ඒකට හේතු වුනේ හැමෝම එක වගේ මහන්සි නොවන එක. මේ නිසා මම තනි ක්‍රීඩාවක් කරන්න ඕන කියන හැඟීමෙන් හිටියේ. ඔය අතර තමයි බර එසවීම ගැන අදහසක් ආවේ.” 

ඒ අනුව සුදේෂ් බර එසවීම පුහුණුවීම් සඳහා රංජිත් පෙරේරා මහතා වෙත ගියා.  

“හරි අමාරුවෙන් තමයි ගේම් එක කරගෙන ගියේ. අවශ්‍ය ගොඩක් දේවල් තිබුණේ නැහැ. අපිට හරියට සපත්තු දෙකක්වත් තිබුණේ නැහැ. රංජිත් සර් ළඟ තිබුණ සපත්තු දෙක තමයි අපි හැමෝම දාගෙන තරගවලට ගියේ. පුහුණුවීම්වල දී ඔය මොකක් හරි දෙකක් දාගෙන කරනවා. පස්සේ මම කනිෂ්ඨ අංශයෙන් මෙඩ්ල් දෙක තුනක් ගනිද්දී සර්, සර්ගේ පුතාගෙ සපත්තු දෙක මට ගෙනත් දුන්නා. සර් තමයි අපි ව ඇදගෙන ගියේ.” 

සුදේෂ් මුලින් ම දිනා ගන්නේ වයස අවුරුදු 15න් පහළ සමස්ත ලංකා රන් පදක්කමක්. බර පංතිය කිලෝග්‍රෑම් 52 වගේ මතකයි කියල තමයි සුදේෂ් කියන්නේ.  

“ජාතික කනිෂ්ඨ බර එසවීමේ තරගාවලියේ දී සහභාගී වූ සෑම වයස් කාණ්ඩයක දී ම රන් පදක්කම දිනා ගත්තා. ඒ වගේ ම ඒ සෑම ඉසව්වක ම කනිෂ්ඨ වාර්තා තැබුවා. ඒත් ඉතිං ඒ හැම දෙයක් ම හරිම අමාරුවෙන් තමයි කරගෙන ගියේ. අවස්ථා කිහිපයක දී ම ක්‍රීඩාව නතර කරන්න පවා ගියා. ඒත් ඉතිං රංජිත් සර්ගේ මැදිහත් වීමෙන් නැවතත් ක්‍රීඩාව කරගෙන ගියා.” 

සුදේශ්ගේ පියා නිව්ටන් පීරිස්. සාමාන්‍ය ව්‍යාපාරයක් කළ කෙනෙක්. අම්මා ඒ. එල්. කමලා. තාත්තාගේ ව්‍යාපාරයට සහයෝගයක් ලබා දෙමින් දරු තිදෙනෙක්ගෙන් යුත් පවුලේ නඩත්තු කටයුතු කිරීම තමයි ඇයට පැවරුණ රාජකාරිය.  

සුදේෂ් පවුලේ වැඩිමලා වූ අතර ඔහුගේ මල්ලි ප්‍රසන්න පීරිස්, වගේ ම නැගණිය වන චාපා පීරිස් ද ඒ දිනවල පාසල් ගිය බැවින් ඔවුන්ගේ කුටුම්භයේ වියදම කළමනාකරණය කර ගැනීම තරමක් අපහසු වූ බවකුයි සුදේෂ් පවසන්නේ.  

“දවසින් දවස මම ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වද්දී, ගෙදරින් වුනත් ක්‍රීඩාව නතර කරනවාට කැමති වුනේ නැහැ. ඔවුන්ට පුළුවන් උපරිමයෙන් මගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් උදව් කළා. මල්ලිගෙ නංගිගේ අවශ්‍යතාවන් මඟ හැරල මගේ අවශ්‍යතාවන්ට මුල් තැන දුන්නා. ඒ දෙන්නගේ ඒ කැපවිම නිසා ම තමයි මම අද මේ වගේ තැනක ඉන්නේ.” 

පාසල් කාලයෙන් පසුව සුදේෂ්ගේ පුහුණුකරු බවට පත් වෙන්නේ ආර්. බී. වික්‍රමසිංහ මහතා. රංජිත් පෙරේරාගේ සහ ආර්. බී. වික්‍රමසිංහගේ පුහුණුවත් සමඟින් සුදේෂ් බර එසවීමේ විශිෂ්ටයෙක් බවට පත් වෙන්නේ නිතැතින් 

ඔහු 2000 වසරේ සිට 2009 දක්වා වූ අඛණ්ඩව වසර 10ක් බර එසවීමේ ජාතික ශූරතාවලියේ සේ ම ජාතික ක්‍රීඩා උළෙලේ ද පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. ඊට පසුව නැවත 2016, 2017 සහ 2019 වසරේ දී එම තරගාවලි හී දක්ෂතා දැක්වීමට ඔහු සමත් වෙනවා.  

එමෙන් ම සුදේෂ් 2004 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම ද නියෝජනය කළා.  

“මගේ ගුරුවරුන් වුනේ ඒ දෙන්නා. අදටත් මම ඉහළින් ම ගරු කරන්නේ ඒ දෙන්නට. ඔවුන් දෙදෙනා යටතේ මම අවස්ථා කිහිපයක දී ම බර එසවීමේ ජාතික වාර්තා පිහිටුවීමටත් සමත් වෙනවා. මම ලැබූ ඒ ජයග්‍රහණ පිටුපස සිටි යෝධ ශක්තිය ඔවුන් දෙදෙනා,” සුදේෂ් පීරිස් ගෞරවාන්විතව පැවසුවා 

දේශීය පිටියේ මේ ආකාරයෙන් දක්ෂතා දක්වමින් සිටිය දී අවස්ථා කිහිපයක දී ම විදෙස් සංචාර සඳහා එක් වීමට ද සුදේෂ් සමත් වෙනවා.  

ඒ අතරින් ස්කොට්ලන්තයේ පැවති 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද සුදේෂ් 

සුදේශ්ගේ ජාත්‍යන්තර තරග අත්දැකීම් සහ දිනූ පදක්කම් 
වසර  ක්‍රීඩා උළෙල  සත්කාරකත්වය  කාණ්ඩය  පදක්කම 
2006   දකුණු ආසියානු ක්‍රීඩා උළෙල  ශ්‍රී ලංකාව  69 kg  ලෝකඩ 
2010  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල  ඉන්දියාව  69 kg  ලෝකඩ 
2011   පොදුරාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ ශූරතාවලිය  දකුණු අප්‍රිකාව   69 kg  රන් 
2014   පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල  ස්කොට්ලන්තය  69 kg  රිදී 
2016   ඔලිම්පික් උළෙල   බ්‍රසීලය  සහභාගීත්වය පමණයි 
2016  පොදුරාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ ශූරතාවලිය  මැලේසියාව  69 kg  රිදී 
2016   දකුණු ආසියානු ක්‍රීඩා උළෙල   ඉන්දියාව   62 kg  රන් 
2022  පොදුරාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය   සිංගප්පූරුව   73 kg  රිදී 

 

මෙම පදක්කම් ලැයිස්තුව අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක වසර ද්විත්වයක දී පදක්කම් 2ක් දිනා ගත් දෙවැනි ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක් වීමට ද සුදේෂ් සමත් වුනා. ඒ 2010 වසරේ ඉන්දියාවේ දී පැවති තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් සහ 2014 වසරේ ස්කොට්ලන්තයේ පැවති තරගාවලියේ දී රිදී පදක්කමක් දිනා ගනිමින්.   

ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ තවත් බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් වූ චින්තන ගීතාල් විදානගේට. ඔහු 2006 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති තරගාවලියේ දී රන් පදක්කමක් ද සහ 2010 වසරේ ඉන්දියාවේ පැවති තරගාවලියේ දී රිදී පදක්කමක් ද දිනා ගනිමින් එම දක්ෂතාව කළ පළමු ක්‍රීඩකයා බවට පත් වුනා.    

සුදේෂ් මෙම දක්ෂතාවලට අමතර ව ජපාන ජාතික ශූරතාවලියේ දී 2009 වසරේ සිට අඛණ්ඩව වසර 4කුත් සහ 2016 වසරේත් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා.  

“මේ පිටුපස සිටිමින් මාව දිරිමත් කළේ මගේ බිරිඳ Kubo Mariko. ඇය ජපන් ජාතික කාන්තාවක්. මගේ ක්‍රීඩා ජීවිතයේ කළමණාකාරවරිය ඇයයි. තරගවලට යද්දී, පුහුණුවිම්වල දී කිසිදු අඩු-පාඩුවක් නොවෙන්න සහයෝගය දෙන්නේ ඇය. ඒක මට විශාල ශක්තියක්.” 

ඔවුන්ගේ කැඳැල්ලේ වසර 8ක පුතෙක්ගේ කිරි සිනා නැගෙනවා. ඔහු අදීෂ පීරිස්.  

“කොතරම් කාර්ය බහුල වුනත් ගෙදරින් මට ලැබෙන නිදහස ඉතා වැදගත්. ඔවුන් සහමුලින් ම මගේ ඉදිරි කටයුතු නිර්මාණය කර ගන්න නිදහස දීලා තියෙන්නේ. මගේ එක ම අරමුණත් ඒ වෙනුවෙන් මහන්සි වෙලා කටයුතු සම්පාදනය කර ගැනීම. මා මෙතෙක් ආ ගමනේ දී මගේ පිටුපසින් විශාල පිරිසක් හිටියා. ඒ සියලු ම දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරනවා. සුදේෂ් පීරිස් කෙනෙක් මේ තරමින් නිර්මාණය කළාට ඔවුන්ට ස්තුති කරනවා. ඒ වගේ ම ඉදිරියේ දීත් ඔවුන්ගේ සහයෝගය මා වෙත ලැබෙයි කියන විශ්වාසයෙන් මම පසු වෙනවා,” සුදේෂ් පීරිස් ThePapare.com සමඟින් අවසන් වශයෙන් පැවසුවා 

වසර 25ක පමණ කාලයක් බර එසවීමෙන් ලක් ක්‍රීඩාව සැරසූ සුදේෂ් පීරිස්ගේ මීළඟ ඉලක්කය ද සාර්ථක වේවායි ThePapare.com හී සුබ පැතුම්! 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<