අපිට ජයග්‍රාහකයාගේ පැත්තේ ඉන්න අවස්ථාවක් තිබුණා – Scott Edwards

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

11996

2022 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ A කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින්.

තරගයෙන් අනතුරුව තරගය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත ක්‍රීඩක Max O’Dowd පවසා සිටියේ, තරගයේ මැද පන්දුවාර තුළ කඩුලු ලබා නොගැනීම තම කණ්ඩායමට අවාසියක් වූ බවයි.

මේ තරගය අපේ බලාපොරොත්තු සුන්කරපු තරගයක්. පැහැදිලිවම. මම හිතන්නේ අපි පන්දුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා. පන්දු යවන්නන් පන්දු යවපු ආකාරය අතිවිශිෂ්ටයි. මම හිතන්නේ තරගයේ මැද පන්දුවාරවල දී කිසිම කඩුල්ලක් නොගැනීම ශ්‍රී ලංකාවට උදව්වක් වුනා.

මම හිතන්නේ එය ඔවුන්ට යම් ආකාරයක ශක්තිමත් වේදිකාවක් ලබා දුන්නා. ඒකෙන් ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඉතා හොඳින් පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබුණා. නිසා අවසානයේ දී යම් වේගවත් ඉනිමක් ගොඩනගන්න හැකි වුනා.

ඔව්, මම හිතන්නේ අවසාන පන්දුවාර කීපය තුළ ලකුණු 15ක් හෝ 20ක් නවත්වන්න හැකියාවක් තිබුණා. නමුත් ඔවුන් ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා.

නෙදර්ලන්ත නායක Scott Edwards ද එහිදී අදහස් දක්වා සිටියා.

ඔව්, මම හිතන්නේ Max O’Dowd කිව්වා වගේ මුල් පන්දුවාර තුළ අපි හොඳින් පන්දු යැව්වා. ඒක අපිට ලොකු ශක්තියක් වුනා. ඒත් අපි ටිකක් අවාසනාවන්ත වුනා. මම හිතන්නේ පන්දු තුනක් හෝ හතරක් උඩපන්දු ලෙස ගියත් ඒවා පන්දු රකින්නන් වෙත ගියේ නැහැ. එහි දී අපි දැඩි පීඩනයක් ගොඩනැගූවා. ඔවුන්ගේ කඩුලු දවා නොගැනීම නිසා ශ්‍රී ලංකාව ඉනිමේ මැද සහ පසු අන්තවල දී තරගය අපෙන් ඉවතට ගෙන ගියා.

පසුව පන්දුවට පහර දෙද්දී අපි දැනගෙන හිටියා ලකුණු 150-160 ලොකු අභියෝගයන් නෙමෙයි කියලා. එබැවින් අපට ඉලක්කය ලබා ගැනීමට හොඳ සහ සැබවින්ම අවස්ථාවක් තිබුණා. Max O’Dowd සමඟ කඩුල්ලේ ඉන්න හැකියාවක් තිබුණා නම් අපිට දැන් ජයග්‍රාහකයාගේ පැත්තේ ඉන්න අවස්ථාවක් තිබුණා.

අපි හිතන්නේ අපි තරග තුනේ දී හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා කියලා. නමුත් මෙම තරගාවලියේ ස්වභාවය එක්ක ලකුණු 15, 20 ක් තරගයේ ඉරණම තීරණය කරන්න පුළුවන්.

පෙර පැවති තරග දෙකේ දී ම නෙදර්ලන්ත පන්දු යවන්නන් කැපී පෙනන දස්කම් දැක්වීමට සමත්වුවත් මෙම තරගයේ දී ඔවුන් එතරම් සාර්ථක වුනේ නැහැ. මේ පිළිබඳව ද Scott Edwards අදහස් දක්වා සිටියා.

මම හිතන්නේ කඩුල්ල අනිවාර්යයෙන්ම අපි කලින් දවස්වල ක්‍රීඩා කළාට වඩා ගොඩක් හොඳ මට්ටමක තිබුණා. පළමු තරග දෙකේ දී පන්දු යවන්නන්ට නිවැරදි ස්ථානය සහ රේඛාව රඳවා තබා ගැනීම පහසු වුනා.

ඒත් එක්කම මම හිතන්නේ කඩුලු කීපයක් ඉතිරිව තිබුත්, අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160ත් දක්වා රඳවා ගන්න එක හොඳ උත්සාහයක්.

මෙවර තරගාවලිය නෙදර්ලන්ත කණ්ඩායමට බොහෝ ධනාත්මක කරුණු එක්කළ තරගාවලියක් වුනා. ඒ පිළිබඳව ද Scott Edwards අදහස් දක්වා සිටියා.

අපට තරගාවලියේ ලබා ගන්න බොහෝ ධනාත්මක කරුණු තිබෙනවා. අපිට පැහැදිලිවම තරුණ කණ්ඩායමක් ඉන්නවා. Vikram Singh අවුරුදු 19යි, Tim Pringle අවුරුදු 19 වගේම ක්‍රීඩා නොකළ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉන්නවා. අපි ගොඩක් තරුණ කණ්ඩායමක්. ඉදිරි වසර කිහිපය තුළ බොහෝ දක්​ෂතා මේ කණ්ඩායමෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

අද දිනයේ දෙවැනි තරගය වූ නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟින් නෙදර්ලන්ත කණ්ඩායම A කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබාගනිමින් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ​ලබා ගැනීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<