ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන වෝනර්, ස්ටීවන් ස්මිත් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් අතරින් වැඩිම දඬුවමක් හිමි වූයේ වෝනර්ට වන අතර එහි දී ඔහුට සිය ක්‍රිකට් දිවිය තුල කිසිදු ඕස්ට්‍රේලියා කණ්ඩායමක නායකත්වය දැරීම තහනමට ලක් කෙරුණා.
2022-23 තරග වාරය සඳහා උස්මාන් කවාජා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමත් සමඟ එකතු වීමෙන් සිඩ්නි තන්ඩර් හි නායකත්වය පුරප්පාඩු වීමත් සමඟ වෝනර්ගේ මෙම තහනම බිග් බෑෂ් ලීගය සඳහා හෝ ඉවත් කළ යුතු බවට කතිකාවක් ඇතිවී තිබෙනවා.
“තවමත් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැහැ. මම මීට පෙරත් පවසා ඇති පරිදි මා හමුවී ඔවුන්ගේ දොරගුළු විවෘත කිරීම පාලක මණ්ඩලය සතු වගකීමක්. ඉන්පසුව මට පුළුවන් ඔවුන් සමඟ අවංක සාකච්ඡාවලට පැමිණෙන්න,” යනුවෙන් පසුගිය ඉරිදා වෝනර් ප්‍රකාශ කර සිටියා.
“මෙම සියලු සම්බාධක පැනවුණු 2018 තිබූ පාලක මණ්ඩලය ද වෙනස් වී තිබෙනවා. ඔවුන් සමඟ නැවත සාකච්ඡා කොට අපගේ මතයන් විමසීම ඉතා සුදුසුයි,” යනුවෙන් වෝනර් තවදුරටත් පවසා සිටියා.
“වෝනර් දක්ෂ නායකයෙක් සහ මම ඔහුගෙන් එය බලාපොරොත්තු වෙනවා. තහනම ඉවත් නොකිරීමට හේතුවක් මම දකින්නේ නැහැ,” යනුවෙන් වොනර්ගේ තහනම ඉවත් කිරීමට දැඩි ලෙස පෙනී සිටි ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පසුගිය දා පැවති චැපල් පදනමේ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී පවසා තිබුණා.
- පාකිස්තාන වේගපන්දු යවන්නාට ආසියානු කුසලානය අහිමි වෙයි
- ආසියානු කුසලානයට යන නිල ශ්‍රී ලංකා සංචිතය
- Kolkata Knight Ridersට නව පුහුණුකරුවෙක්
- “ආසියානු කුසලානය ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් නොවේ”
- “යුරෝපයේ පාපන්දු වලට සිදුවුණු දේ තමයි වෙන්නේ” – කපිල් දේව්
2018 දී නිව්ලන්ඩ්ස් හිදී නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත්ට ද වසර දෙකක නායකත්ව තහනමක් තිබූ නමුත් පසුගිය වසරේ ඇඩිලේඩ් හි පැවති දෙවැනි එංගලන්ත ටෙස්ට් තරගයේ දී ඔහු නායකත්වය දැරීම ද විශේෂත්වයක්. ඒ නිත්‍ය නායක පැට් කමින්ස් කොරෝනා ආශ්‍රිතයෙක් වීම නිසා එම තරගයෙන් ඉවත් කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත්, නැවතත් ඕස්ට්‍රේලියා නායකත්ව වගකීමක් ලැබුනහොත්, ඔහුට එය සාර්ථකව ඉටු කළ හැකි බවට ද වෝනර් තරයේ විශ්වාස කරනවා.
“මට අත්දැකීම් තිබෙනවා. නිල වශයෙන් නොවුනත් මම කණ්ඩායමේ නායකයෙක්. මට අවශ්‍ය ඒ දේවල් නැවත දෙන්න. තරුණ ක්‍රීඩකයන්ට මගේ දැනුම අවශ්‍ය නම්, මගේ දුරකතනය සැමවිටම තිබෙනවා, ඔවුන් ළඟ මගේ අංකය ඇති, ඒ වගේම ඔවුන්ට මාව පුහුණුවීම්වල දී හමුවෙන්නත් පුළුවන්,” යනුවෙන් වෝනර් වැඩිදුරටත් පැවසුවා.
වෝනර් සමඟ ගිවිසුම් ගතවන මොහොතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සිය නායකත්වය ගැන පැවසුවේ එය තරගාවලි ආරම්භය ආසන්න වූ විට දැනගත හැකි වනු බවයි.
Cricinfo ඇසුරෙනි
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<