ලෝක වාර්තා දෙකක් සමඟ Silesia ගිනියම් වෙයි!

Wanda Diamond League 2024 - Silesia

5
Wanda Diamond League 2024

2024 Diamond League මලල ක්‍රීඩා තරගමාලාවේ Silesia අදියර අද (25) රාත්‍රියේ දී නිමා වුනේ ලෝක වාර්තා ද්විත්වයක් අලුත් කරවමිනුයි.

නිමා වූ පැරිස් ඔලිම්පික් උළෙලෙන් පසුව පැවැත්වුණු දෙවැනි Diamond League අදියර වූ මෙහි දී ස්වීඩනයේ Mondo Duplantis සහ නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen විසින් නව ලෝක වාර්තා දෙකක් බිහි කිරීමට සමත් වුනා.

ඔලිම්පික් ශූරයින් අසරණ වෙයි

පිරිමි යගුලිය විසිකිරීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන සහ වත්මන් ඔලිම්පික් ශූරයා ද වන ඇමරිකාවේ Ryan Crouser දෙවැනි තැනට ඇද දැමූ ඇමරිකාවේ ම Joe Kovacs විසින් මීටර් 22.14ක දක්ෂතාවක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර පිරිමි උස පැනීමේ ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරයා වන නවසීලන්තයේ Hamish Kerr ඊයේ තම ඉසව්වේ 09 වැනියා බවට පත් වූ අතර හිටපු ඔලිම්පික් ශූර ඉතාලියේ Gianmarco Tamberi විසින් මීටර් 2.31ක දක්ෂතාවක් ද සමඟ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

Bol නැවතත් සුපුරුදු රිද්මයේ

නෙදර්ලන්ත ධාවන ශූරි Femke Bol විසින් කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව නැවත වරක් ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වූ අතර, නිමා වූ ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වේ දී ඇය යම් පසුබෑමක් පෙන්නුම් කළත්, තමන් නැවතත් තමන් සුපුරුදු රිද්මයේ පසු වන බව ඇය මෙහි දී තහවුරු කිරීමට සමත් වුනා.

මේ අතර කාන්තා මීටර් 400 ඉසව්ව පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට ඩොමිනිකාවේ Paulino Marildmleidy විසින් සමත් වුනා.

ජැමෙයිකාවේ Akera Nugent කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර කැනඩාවේ Marco Arop විසින් පිරිමි මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාම මෙහි දී නව තරග වාර්තා බිහි කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

Tebogo අපරාජිතයි

මේ අතර වත්මන් මීටර් 200 ඔලිම්පික් ශූරයා වන බොට්ස්වානා හි Letsile Tebogo විසින් තවදුරටත් තම අපරාජිත බව රැක ගනිමින් පිරිමි මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තත්පර 19.83ක කාලයක් වාර්තා කරමිනුයි. මෙය ද නව තරග වාර්තාවක් ලෙසයි සටහන් වුනේ.

මේ අතර කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාවේ Tia Claytonට හැකියාව ලැබීමත් විශේෂත්වයක්. මෙහි දී ඇය සහ Josee Ta Lou Smith අතර ප්‍රථම ස්ථානය වෙනුවෙන් තියුණු සටනක් ද නිර්මාණය වුනා.

එමෙන්ම මෙහි දී පිරිමි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කළ වත්මන් ඔලිම්පික් ශූර මොරොක්කෝවේ Soufiane El Bakkali නැවතත් තම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

Ingebrigtsen වසර 28ක් පැරණි ලෝක වාර්තාවක් කරා!

මේ අතර ඊයේ දිනයේ ඉහළ අවධානයක් යොමු වූ ඉසව්වක් ලෙස ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 3000 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen විසින් සමත් වූ අතර, ඔහු විසින් 1996 දී කෙන්යාවේ Daniel Komen විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව තත්පර 03ක් ඉක්මවූ කාලයකින් වෙනස් කිරීමට සමත් වීම විශේෂත්වයක්. ඒ අනුව මෙම ඉසව්වේ නව ලෝක වාර්තාව මිනිත්තු 7.17.55ක් ලෙස සටහන් කිරීමට Ingebrigtsenට හැකියාව ලැබුණා.

Duplantis නැවතත් ගුවන් ගත වෙයි

මේ අතර නිමා වූ ඔලිම්පික් උළෙලේ දී පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව මීටර් 6.25ක් ලෙස අලුත් කිරීමට සමත් වූ ස්වීඩනයේ Mondo Duplantis විසින්, අද එම ලෝක වාර්තාව මීටර් 6.26ක් දක්වා ඉහළට ඔසවා තැබීමට සමත් වුනා.

මෙය ඔහු විසින් මෙම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වූ 10 වැනි අවස්ථාව ලෙස සටහන් වීම විශේෂත්වයක්. මේ අතර ඔහු සමඟ මෙම ඉසව්වට සහභාගී වූ ඇමරිකාවේ Sam Kendricks සහ ග්‍රීසියේ Emmanouil Karalis මීටර් 6.00 කඩ ඉම තරණය කිරීමට සමත් වූ අතර, එය Karalisගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම ග්‍රීසියේ ජාතික වාර්තා බවට ද පත් වීම විශේෂත්වයක්. එමෙන්ම අද දිනයේ දී තරගකරුවන් තිදෙනෙකු ම මීටර් 6.00 සීමාවට ළඟා වීමත් මෙම ඉසව්ව තවත් සුවිශේෂී එකක් බවට පත් කළා.

දිනෙන් දින උණුසුම් වන ලෝක මලල ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>