විරේන් රන් දිනද්දී; ඉසුරි සහ සිතුමිට ලෝකඩ පදක්කම්

Yonex-Sunrise Bangladesh International Challenge 2024

84
Yonex-Sunrise Bangladesh International Challenge 2024

යෝනෙක්ස් – සන්රයිස් බංග්ලාදේශ ජාත්‍යන්තර අභියෝගතා තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පසුගිය දා සමත් වුණා.

පිරිමි ඒකල ශ්‍රේණිගත කිරිම්වල අංක එක ස්ථානයේ පසුවන 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ ඔලිම්පික් ක්‍රීඩා උලෙළකට සෘජුව සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා බවට පත්වෙමින් පසුගිය වසරේ පැවති ඔලිම්පික් උළෙල නියෝජනය කළා.

ඩකා නුවර බංගබන්දු ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැති බංග්ලාදේශ ජාත්‍යන්තර අභියෝගතා තරගාවලියේ පිරිමි ඒකල රන් පදක්කමට හිමිකම් කීවේ කැනඩාවේ ෂියැංඩොං ෂෙං පරාජය කරමිනුයි.

මෙම තරගාවලියේ ක්‍රීඩකයින්  ශ්‍රේණිගත කිරිම්වල විරේන් සිව්වැනි ස්ථානයේ පසුවූ අතර, තුන් වැනි ස්ථානයේ රැඳී සිටි රන් පදක්කම දිනාගැනීමේ ජනප්‍රියතම ක්‍රීඩකයා වූ ෂියැංඩොං ෂෙං ලකුණු 21-17ක් සහ 21-17ක් ලෙස පරාජය කරමින් විරේන් රන් පදක්කම දිනා ගත්තා.

එමෙන්ම තමන් ලැබූ ජයග්‍රහණයෙන් පසුව අදහස් දක්වමින් විරේන් නෙත්තසිංහ ප්‍රකාශ කළේ,

“මෙය මටත්, මගේ රටටත් ලැබුණු ජයග්‍රහණයක්. එය කැපවීමේ සහ හැකියාවේ ප්‍රතිඵලයක්. ඒ වගේම මා කෙරෙහි විශ්වාසය තැබූ සියලුදෙනාගේම සහයෝගය පිළිබඳ සාක්ෂියක්”

මෙම තරගාවලියේ පිරිමි ඒකල අර්ධ අවසන් පූර්ව වටයේදි මැලේසියාවේ ඩැරල් චූ ලකුණු 21-18ක්, 21-13ක් ලෙස පරාජයට පත් කළ විරේන් අවසන් 16 දෙනාගේ වටයේදී මැලේසියාවේ වර්න් සූන් චෝ පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 21-18ක් සහ 21-15ක් ලෙසයි.

එමෙන්ම මෙම තරගාවලියේ කාන්තා යුගල තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා සමත් වීම විශේෂත්වයක්.

අවසන් පූර්ව වටයේ දී ඉසුරි සහ සිතුමි ලකුණු 21-8ක් සහ 21-8ක් ලෙස පරාජයට පත් කළ තායිලන්තයේ කොඩ්චපෝන් චායිචනා සහ පන්නාවී පොලියම් අවසානයේදී රන් පදක්කම ද දිනා ගත්තා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යෝනෙක්ස් – සන්රයිස් බංග්ලාදේශ ජාත්‍යන්තර අභියෝගතා තරගාවලියේ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12 දෙනකු සහභාගි වූ අතර,  ඊට ක්‍රීඩකයෝ 7 දෙනකු සහ ක්‍රීඩිකාවෝ 5 දෙනකු ඇතුළත් වුණා.

රටවල් 24කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 228 දෙනකු සහභාගි වූ මෙම පස්දින තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ සංවිධාන කරනු ලැබුවේ බංග්ලාදේශ බැඩ්මින්ටන් සම්මේලනය විසිනුයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<