ශ්‍රී ලාංකීය ජවය ජාත්‍යන්තර පාපන්දු කරළියට ගෙන ඒමේ ප්‍රමුඛ බලාපොරොත්තුව කර ගත් “නිදහස් කුසලාන සිලෝන්” අන්තර් පළාත් පාපන්දු ශූරතාවලිය (Independence Trophy – Ceylon Provincial League) පසුගිය දා නිමා වෙද්දී තරගාවලියේ වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් අතරින් දෙවැනි ස්ථානයට පත් වූයේ සබරගමුව පළාත් පාපන්දු කණ්ඩායමේ මොහොමඩ් මුෂ්ෆික්.
“මම පළමුවැනි වතාවට තමයි මේ වගේ තරගාවලියකට ක්‍රීඩා කළේ. ගොඩක් සතුටු වෙනවා පළමුවැනි තරගාවලියේ දී ම මේ වගේ දක්ෂතා දක්වන්නට ලැබීම ගැන. ගොඩක් වෙහෙස වුනා. ඒ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා. දිගට ම ක්‍රීඩා කරන්න ආස හිතුණා”, මුෂ්ෆික් ThePapare.com සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.
තවමත් 20 වැනි වියේ පසු වන මුෂ්ෆික් පාපන්දු ක්‍රීඩාවට පිවිසෙන්නෙ මෑත කාලයේ දී. ඇහැලියගොඩ අන්ලක්ෂා විද්‍යාලය ඉගනුම ලැබූ මුෂ්ෆික්, පාසල් කාලයේ දක්ෂ කෙටිදුර ධාවකයෙක්. මීටර් 100, 200 සහ 400 ඉසව්වල දක්ෂතා දැක්වූ ඔහු එම ඉසව්වලින් කලාප තරග සඳහා සුදුසුකම් ලබා ගත්ත ද ඒ එකදු තරගයකටවත් සහභාගී වෙලා නෑ.
“පාසලේ දී ආසාවට දිව්වා. ඒත් ඒක දිගට ම කරගෙන යන්න කියල කැමැත්තක් තිබුණේ නැහැ. ඉගෙන ගන්න කෙනෙක් හිටියෙත් නෑ. දුවන්න සපත්තු වගේ දේවල් තිබුණෙත් නැහැ. මේ නිසා කලාප තරගවලට සහභාගී වුනේ නැහැ. මගේ සමහර යාළුවෝ, සර්ලා මාව ඒ තරගවලට එක්ක යන්න එනවා. ඒත් මම මොකක් හරි කියලා යන්නේ නෑ.”
අනෙක් එක මුෂ්ෆික් මේ ඉසව්වලට සහභාගී වෙන්නේ පාසල් නිවාසාන්තර තරග පැවති කාලවලට පමණයි. එතැනින් එහාට ඒ ගැන මුෂ්ෆික්ගේ කතාවක් නැහැ. කලාප තරගවලට පවා සහභාගී වෙලා තියෙන්නේ කාගෙ හරි බලකිරීමට මිසක් ඔහුගේ කැමැත්තට නෙමේ.
ඊට මුෂ්ෆික්ලාගේ පවුලේ ආර්ථික තත්ත්වයත් බලපාන්න ඇති. මුෂ්ෆික්ට වැඩිමල් සහෝදරයෙක් සහ සහෝදරියක් ද බාල සහෝදරයන් දෙදෙනෙක් ද සිටිනවා. ඔවුන්ගේ වැඩ කටයුතු නඩත්තු කිරීම, ස්ථිරවම රැකියාවක් නොමැති අම්මටත් තාත්තටත් නොහැකි බැව් කර දඬු උස් මහත් වෙන මුෂ්ෆික් දැන ගෙන සිටින්න ඇති.
“සාමාන්‍ය පෙළ දක්වා අමාරුවෙන් ඉගෙන ගත්තේ. ඊට පස්සේ රස්සාවක් සෙව්වා. ඔය අතර කාලෙ තමයි පාපන්දු සෙල්ලම් කළේ. මගේ යාළුවෝ කිව්වා ඔයාට හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ නිසා මේක අතඅරින්න එපා කියලා.”
මුෂ්ෆික්ගේ තාත්තත් කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ කෙනෙක්. උපන් ගම වූ හලාවත පාපන්දු කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩා කළ මුෂ්ෆික්ගේ පියා ඇහැලියගොඩ පදිංචියට පිවිසි පසු ටිකෙන් ටික ඒකෙන් දුරස් වෙනවා. ඒ පවුලේ නඩත්තු කටයුතු සමඟ පාපන්දු සෙල්ලම කරගෙන යන්න තරම් වත්කමක් ඔහුට නොමැති නිසා.
“තාත්තා සෙල්ලම් කරල තියෙන බව අහල තිබුණ නිසා ම වෙන්න ඇති පාපන්දු ක්‍රීඩාව කරන්න ආසාවක් ඇති වෙන්නේ. ඒත් ඉතිං මම අවුරුදු දෙකක් විතර ම සෙල්ලම් කළේ කවුරුත් උගන්නල නෙමේ. තාත්තා වුනත් මට කවදාවත් මේ විදිහට සෙල්ලම් කරන්න කියල නැහැ. ඔය අතර මම ඇහැලියගොඩ යුනයිටඩ් කියන කණ්ඩායමට සෙල්ලම් කරනවා. ඊට පස්සේ රත්නපුරේට එනවා.”
- නිදහස් කුසලානයේ උරුමය උතුරට
- සබරගමුව පැරද වූ දකුණේ ක්‍රීඩකයින් අවසන් මහා සටනට
- ක්‍රීඩා පිටියේ ඇගයෙන සක්‍රීය කාන්තාව
- පත්තරෙන් උපන් ආසාවෙන් ආසියාවත් ජය ගත් දැල්පන්දු ජයසූරිය
- කොදෙව් වේගපන්දුවේ සද්දන්ත සලකුණ ඇම්බි!
මුෂ්ෆික්ගේ සැඟව තිබූ පාපන්දු දක්ෂතා කලඑළි බසින්නේ රත්නපුරේ දී.
“මට ඉස්සෙල්ලා ම වනිග සර් කතා කළා. ඒ රත්නපුරේ දී. සර්ගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. වෙනදා මට ඕන විදිහට බෝලෙ තල්ලු කරගෙන ගිහිල්ලා සෙල්ලම් කළත්, පාපන්දු කියන්නේ හරියට ම මොකක් ද කියලා මම ඉගෙන ගත්තේ වනිග සර්ගෙන්. ඊට පස්සේ දුනිල් සර් සහ ෆසුල් රහුමාන් සර්ලත් මට ගොඩක් උදව් කළා. ඒ වගේ ම මමත් සමඟ සෙල්ලම් කළ හැම කෙනෙක් ම මගේ පිටිපස්සෙන් හිටියා. ඒක මට ගොඩක් ශක්තියක් වුනා.”
ඒ ශක්තිය මුෂ්ෆික් මුදා හරින්නේ සබරගමුව පළාත් කණ්ඩායමට. ඔවුන් නිමා වූ සිලෝන් නිදහස් කුසලාන අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පිවිස එම තරගයේ දී දකුණු පළාතට දඬුවම් පහර 4-1ක් ලෙසින් පරාජය වුනා.
“අපරාදේ, අපිට තව ටිකක් මහන්සි වුනා නම් ඒ තරගෙත් ජය ගන්න පුළුවන් වුනා. නමුත් ඒ දක්වා එන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා”, මුෂ්ෆික් අවසන් පූර්ව තරගය ගැන අද සිහිපත් කරන්නේ ඒ ආකාරයෙන්.
ග්‍රාමීය පාපන්දු පිටියේ දක්ෂයන් සොයා ගිය ගමනේ දී මොහොමඩ් මුෂ්ෆික්ගේ නම ද ඉහළින් ම සටහන් වූව ද මේ වෙද්දී මුෂ්ෆික් සිටින්නේ දෙලොවක් අතර.
“දිගට ම සෙල්ලම් කරන්න ආසයි. ඒත් ගෙදර ප්‍රශ්නත් ගොඩාක් තියෙනවා. තාත්තට සනීප නෑ. මේ නිසා අයියා කටාර් ගියා. අයියා තමයි දැන් ගෙදර කටයුතු හොයලා බලන්නේ. මමත් පාසල් ගමන අතරමග නතර කරල ඔටෝ මොබයිල් කෝස් එකක් කළා. ඒ කවදා හරි රට යන්න බලාපොරොත්තුවෙන්. ඒත් දිගට ම සෙල්ලම් කරන්න තියෙනවා නම් හොඳයි.”
මුෂ්ෆික් වැනි අය කොතරම් දක්ෂතාවෙන් ඉහළින් සිටිය ද ඔවුන්ගේ ජීවිතවලට වැටී ඇති බාධක ජයග්‍රහණය කිරීම එතරම් ලෙහෙසි නැහැ. අද මුෂ්ෆික් මුහුණ දී සිටින්නේ ද එවැනි වාතාවරණයකට.
“පාපන්දු ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කවදා හරි දවසක ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ආසාවෙන් ඉන්නේ. ඒ ආසාව ඉටු නොවුණොත් රට යනවා.”
මේ මුෂ්ෆික්ගේ ඉරණම ඔහු විසින් ම ලියාගෙන ඇති ආකාරය. ඔහුට ඊට වඩා දෙයක් නොසිතෙනවා ඇති.
“මම මෙතැනට එන්න ගොඩක් මහන්සි වුනා. ඒ වගේ ම මට ගොඩාක් දෙනෙක් උදව් කළා. මට පාපන්දු ක්‍රීඩාව කියල දුන්න වනිග සර්, දුනිල් සර් සහ ෆසුල් රහුමාන් සර්ලාගෙන් වුන සේවය මිල කරන්න බැහැ. ඒ වගේ ම මමත් සමඟ සෙල්ලම් කරන සියලු දෙනාමත් මගේ මේ ගමනට විශාල ශක්තියක්. ඒ හැමෝ ම වගේ ම මගෙ පවුලේ අයත් මගේ ගමන විශාල ශක්තියක් වෙනවා වගේ ම මම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. යහළුවන් අතරින් ගමේ නිතර ම මට උදව් කරන හාෆීල් සහ මොහොමඩ් අවුන් ගැනත් මතක් කරන්න ඕන”, මුෂ්ෆික් මෙතෙක් ආ ගමනට ශක්තියක් වූවන් සිහිපත් කළා.
ශ්‍රී ලංකා පාපන්දු සංගමය ගමේ දක්ෂයන් සොයා ගිය ගමනේ දී මෙවැනි දක්ෂයන් බොහෝ දෙනෙක් හමු වෙන්න ඇති. ඔවුන් පාපන්දු පිටියේ දී කෙතරම් දක්ෂතා දැක්වූව ද, ඔවුන්ගේ ජන ජීවිත ගමන දුර්වල විය හැකියි. ඒ හා ගැටීම ඔවුන්ට ගැටලුවක් ව පවතින තාක් කල් අප බලාපොරොත්තු වන “දක්ෂයා” එළියට පැමිණෙන්නේ නැත. කොතැනක දී හෝ ඔහු දුර්වල වනු ඇත.
එවැන් තැන් සොයා බලා පිළියම් කිරීම බලධාරීන් සතු යුතුකමකි. මොහොමඩ් මුෂ්ෆික් වැන්නෝ ආරක්ෂා කර ගත හැක්කේ එවිටයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<