මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.
මෙවර තරගාවලියේ ආරම්භයට පෙර පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ දසවැන්නයි.
1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වන්න පුළුවන්. 1996 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගයේ වීරයා වුනේ අරවින්ද ද සිල්වා.
පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් අසාමාන්‍ය දස්කම් දැක්වූ අරවින්ද තමාගේ චරිතාපදානයේ ලෝක කුසලානයේ අවසන් අදියර ගැන විස්තර කරන්නේ මේ ආකාරයෙන්.
කල්කටාව ගිනි ගත් රැයක ශ්‍රී ලාංකිකයින් වීණා වයයි.
“ඉන්දියාව සමඟ පැවැත්වුණ අවසන් පූර්ව තරගය නරඹන්න ලක්ෂයකට වැඩි ප්‍රේක්ෂක පිරිසක් කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් පිටිය වෙත පැමිණ සිටියා. එය කණ්ඩායම් දෙකටම විශාල පීඩනයක් කියන්නට අමුතුවෙන් අවශ්‍ය වුනේ නැහැ.
ඉන්දියානු නායකයා මොහොමඩ් අසරුඩීන් කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
අසාර්ගේ ගත් තීරණය පිටුපස සැබවින්ම තිබුණේ ශ්‍රී ලාංකික පිතිකරුවන් ලකුණු හඹා යෑම කෙරෙහි දැක්වූ අති විශේෂ සමත්කම ගැන සැකයක් වෙන්න පුළුවන්.
තරගය ආරම්භ වෙලා මොහොතක් යන්න කලින් නරඹන්නන්ගෙන් විශාල ජයඝෝෂාවක් නැගුණා. අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් රොමේෂ් කළුවිතාරණ දැවී ගිහින්.
ඒ දිනවල ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ තිබූ සැලැස්ම අනුව ක්‍රීඩක විවේකාගරයට පිටිය මැද සිදු වන දෙය පෙනෙන්නේ නැහැ. අනෙක් වැදගත්ම කාරණාව ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩක විවේකාගරයේ තිබූ රූපවාහිනීය එදා අක්‍රීය තත්ත්වයෙන් තිබුණේ.
මානසික ඒකාග්‍රතාවය ආරක්ෂා කර ගැනීමට මම කොහොමත් ක්‍රීඩක විවේකාගරයේ පැත්තක හුදකලාව ඉන්න කැමති කෙනෙක්. මේ නිසා එදා ක්‍රීඩා පිටිය මැද සිදුවන දෙය පිළිබඳව මට තිබුණේ ඉතා අල්ප අවබෝධයක්.
මොහොතක් යන්න කලින් නැවත වතාවක් විශාල ජයඝෝෂාවක් නැගුණා. ඒ දිනවල සනත් ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය චරිතයක්. ඒ නිසා මම හිතුවේ සනත් එල්ල කළ පහරකට ප්‍රේක්ෂකයින් ප්‍රතිචාර දක්වන්නට ඇති කියලා.
හරියටම එවෙලේ කවුරුහරි ඇවිල්ලා මට කිව්වා පිතිහරඹයට යන්න සූදානම් වන ලෙස.
මොහොතකට පස්සේ මම දැක්කේ සනත් ක්‍රීඩක විවේකාගරයට පැමිණෙමින් සිටින ආකාරය.
හිත හිත ඉන්න වැඩි කාලයක් තිබුණේ නැහැ. මම ඉතාම වේගයෙන් පිටිය මැදට ගියා.
මෙම තරගයට කලින් මම තරමක අසනීප තත්වයකින් හිටියේ. නමුත් රට වෙනුවෙන් කරන්නට විශාල යුතුකමක් මට පැවරී තිබුණා.
ලෝක කුසලානයට කලින් තිබුණ තරගාවලි කිහිපයක දී මම ඉතා අසාර්ථක වුනා. බොහෝ දෙනෙකු මගේ ක්‍රීඩා රටාව විවේචනය කළා. ඔවුන් හැමටම පිළිතුරක් දිය හැකි හොඳම අවස්ථාව මෙය බව මට හැඟී ගියා.
ඒ වෙද්දී මගේ වයස අවුරුදු 30 ඉක්මවා ගිහින්. ලෝකයට මා කවුද කියා පෙන්වීමට තිබෙන කාලය වේගයෙන් ඉක්ම යමින් තිබුණේ. ඒ වෙනුවෙන් මෙතරම් විශාල අවස්ථාවක් හෝ වේදිකාවක් නැවත නොලැබෙන බව මා දැනගෙන හිටියා.
ක්‍රිකට් ක්‍රීඩකයින් විදියට ඔබ ක්‍රීඩා කරන්නේ මේ වගේ මොහොතවල් සඳහාමයි. සිතේ තිබිච්ච සියලු සැක සංකා පැත්තක තියලා ඉතාම පැහැදිලි මනසකින් මම ඉනිම ආරම්භ කළා.
මම බලාපොරොත්තු වෙලා හිටපු විදියටම දෙවැනි පන්දුවාරය යැවීම අනිල් කුම්බ්ලේ හට බාර කෙරුණා.
කුම්බ්ලේ එවූ මුල්ම පන්දුව තර්ඩ් මෑන් කලාපය හරහා හතරේ සීමාවට යවන්නට මට හැකියාවක් ලැබුණා. ඒක විශේෂ පහරක්. එවැනි පහරක් එල්ල වූ වහාම පිතිකරුවා විතරක් නෙවෙයි පන්දු යවන්නා පවා දැන ගන්නවා අදාළ පිතිකරුවා කොයිතරම් උසස් රිද්මයක ඉන්නවද කියන කාරණාව.
ඉන්දියානු නායකයා සිය පන්දු යවන්නට උපදෙස් දී තිබුණේ පිට ඉන්නට ඈත එල්ලයකින් පන්දු යවන්න. ඒ නිසා මට අභියෝගයක් තිබුණා වැඩි වශයෙන් පන්දු රකින්නන් රඳවා තිබූ පිට ඉන්න දෙසින් පන්දු රකින්නන් අතරින් පහරවල් එල්ල කරන්නට හෝ ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැති පා ඉන්න දෙසින් පහරවල් එල්ල කරන්න.
මගේ ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ආවේ ඩ්‍රයිව් සහ කවර් ඩ්‍රයිව් පහරවල් වලින්. නිවැරදි තාක්ෂණයකින් පහරවල් එල්ල කිරීමට සහ අසාර් පන්දු රකින්නෙකු වෙනස් කළ වහාම ඒ ස්ථානයෙන් පන්දුව යොමු කරන්නට මට පුළුවන් වුනා.
අසංක ගුරුසිංහ එක් ලකුණට දැවී ගිය අවස්ථාවේ කඩුල්ලට ආවේ රොෂාන් මහානාම. ඔහු කුඩා කාලේ ඉඳන් මගේ මිත්‍රයා.
අර්ජුනට උඩින් රොෂාන්ට පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලැබුණේ කඩුලු අතර වේගයෙන් දිවීමට ඔහුට තිබුණ හැකියාව නිසා.
අනෙක් කාරණාව එවර ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ඔහුට පිතිකරණයේ යෙදීමට වැඩි අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. මේ නිසා ඔහුගේ පිතිකරණ රිද්මය කොහොමද කියන එක බලා ගන්න අපට ඕන වුනා.
ඉන්දියානු පන්දු යවන්නන් එල්ල කළ සෑම අභියෝගයකටම අපිට පිළිතුරක් තිබුණා. පන්දු 32කින් මම මගේ අර්ධ ශතකය වාර්තා කරගන්නා විට ලකුණු 150 සීමාව මගේ හිතේ කෙළවරක තිබුණා. ඒත් කුම්බ්ලේ එවූ ගුග්ලි පන්දුවක් පිත්තේ ඇතුලත දාරයේ වැදී මගේ කඩුල්ල බිඳී ගියා.
මා දැවී යන විටත් කණ්ඩායම තිබුණේ යම් අසීරු තැනක. නමුත් රොෂාන්ගේ අභීත ඉනිම සහ අර්ජුන, හෂාන්, වාස්ගේ දායකත්වයෙන් ලකුණු 250 සීමාව ඉක්මවා යෑමට අපිට හැකියාව ලැබුණා.
තණතීරුව වෙනස් හැසිරීමක් පෙන්නුම් කරන බවක් අපට හැඟී ගියා. එබැවින් ලකුණු 250 ජයග්‍රාහී ඉලක්කයක් බව පෙනෙන්නට තිබුණා.
සචින් තෙන්දුල්කාර්, මොහොමඩ් අසාරුඩීන්, නව්ජෝට් සිං සිධු, විනෝද් කම්බ්ලි වැන්නන් සිටි ඉන්දියානු පිතිකරණ ලැයිස්තුවත් සමඟ මේ ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීම ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අප දැනගෙන හිටියා.
සචින් එක්ක සංජේ මංජ්‍රේකාර් පන්දුවට පහර දෙනකොට මෙය ඉන්දියානුවන්ට එය ඉතා ලෙහෙසි ඉලක්කයක් ලෙස පෙනෙන්නට තිබුණා.
කඩුල්ලක අවශ්‍යතාවය දරුණු ලෙස දැනෙමින් තිබූ මොහොතක රොමේෂ් කළුවිතාරණ සචින් දවා ගැනීමට ලබා ගත් ස්ටම්ප් කිරීම අතිවිශේෂයි. ඒ වෙද්දී කළුගේ කඩුලු රැකීම බොහෝ දෙනෙකුගේ විවේචනයන්ට ලක්වූ කාලයක්. නමුත් ඒ ඔක්කොම එක් සුවිශේෂී ස්ටම්ප් කිරීමකින් වෙනස් වුනා.
එතැන් පටන් කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට සාර්ථක වීමට අපි ඉඩකඩ ලබා දුන්නේ නැහැ. ඉන්දියානු කඩුලු එකිනෙක බිඳ වැටී අසරණව තිබූ මොහොතක ඉන්දියානු ප්‍රේක්ෂකයින් සිය විරෝධය පළ කළේ ප්‍රේක්ෂකාගරයේ ගිණි දල්වමින් සහ නොයෙක් දේ ක්‍රීඩා පිටියට විසි කරමින්.
එවෙලේ පිටිය මැදට ආපු තරග තීරක ක්ලයිව් ලොයිඩ් නිර්භීත ලෙස තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.”
- මරුවා සමඟ සටන් කළ ලෝක කුසලාන වීරයෝ
- මුළුගැන්වූ ව්යාඝ්රයින් විලස සටන් කළ පාකිස්තානුවන්
- ශ්‍රී ලංකාවට හදි කළ රොඩේෂියානුවා
- අර්ජුන කඩුල්ලට එද්දිම මම ඒ වෙනස කළා නම්?
- ඉවත දැමූ ‘සිමෝ’ ලෝක කුසලානයකට පාර කපයි!
ශ්‍රී ලංකාව දැවැන්ත අභියෝගයක් ඉදිරිපිට
“අපි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා සිටියා. අනෙක් පැත්තෙන් අවසන් මහා තරගයට පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම. ලෝක කුසලාන අවසන් මහා තරගයකට ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩා කරන්නට ඕස්ට්‍රේලියාව තරම් සුදුසු වෙනත් ප්‍රතිවාදියෙක් අපට සිටියේ නැහැ.
ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකු විශ්වාස කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පහසු ජයක් අත්කර ගනීවී කියලා. නමුත් අපට කරන්න පුළුවන් දේ ඕස්ට්‍රේලියානුවන් හෝ සෙසු ලෝකයා දැන සිටියේ නැහැ.
තරගයට පෙර දිනයේ රාත්‍රියේ තිබුණේ සෑහෙන අයහපත් කාලගුණයක්. වාසනාවකට අවසන් මහා තරගයට ඉන් කිසිදු බලපෑමක් ඇති වුනේ නැහැ. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මුල්ම දිවා-රාත්‍රී තරගය එයයි.
ඉම්රාන් ඛාන් ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයන් බොහෝ දෙනෙකුගේ මතය වුනේ අවසන් මහා තරගයේ මුලින්ම පන්දුවට පහරදීම වඩාත් සුදුසු බව. නමුත් අර්ජුන කාසියේ වාසිය මුලින්ම පන්දුවට පහර දීම ඕස්ට්‍රේලියානුවන්ට බාර කළා.
ඕස්ට්‍රේලියානුවන් සිය පළමු පන්දුවාර 26 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 136ක් රැස් කළා. තරගයේ සම්පූර්ණ පාලනය ඕස්ට්‍රේලියානුවන් අතේ තිබුණේ. ඒ වගේ අවස්ථාවක තරගයේ පාලනය නැවත ලබා ගන්නට ඉතාම අපහසුයි. ලකුණු තුන්සීය ඉක්මවූ ඉලක්කයක් නිසැකයෙන්ම පෙනෙන්නට තිබුණා.
මා යැවූ පන්දුවකට මාක් ටේලර් ලබා දුන් අපහසු උඩපන්දුවක් සනත් ජයසූරිය විසින් රැකගනු ලැබීමත් සමඟ ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩා වැටීම ආරම්භ වුනා.
ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නන්ගේ දැඩි ග්‍රහණය නිසාම ඕස්ට්‍රේලියානුවන්ට සිය පන්දුවාර 50 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 241ක් පමණයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන ඉහළතම සම්මානය සහ ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලාංකික පිතිකරුවන්ට ලැබුණ ඉලක්කය ලකුණු 242ක්.
අවසන් පූර්ව තරගයේ දී සිදු වුනා වගේම අපේ කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා. සනත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය අතර කළු ඩේමියන් ෆ්ලෙමිංගේ ගොදුරක් බවට පත්වුනා.
අසංක ගුරුසිංහ සමඟ මා කඩුල්ලට එක්වූ අවස්ථාවේ මට 1992 සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ඕස්ට්‍රේලියා තරඟය මතකයට ආවා. නියත ජයග්‍රහණයක් අප අතින් ගිළිහී ගිය ආකාරය මට මතකයට නැගුණා.
එදා සිටි අරවින්දට වඩා පරිණත අරවින්ද කෙනෙකු මා අභ්‍යන්තරයේ සිටින බව මා දැන සිටියා. ඕස්ට්‍රේලියානුවන් පවා එය දැන සිටියා. නමුත් මට එය ඔප්පු කිරීමට සිදුවී තිබුණා.
ඉනිම ආරම්භයේ දී මම වේගය අඩාල කරලා එවන පන්දුවක් බලාපොරොත්තු වුනා. බලාපොරොත්තු වූවා වගේම ඩේමියන් ෆ්ලෙමිං එවැන්නක් එල්ල කළා. එයට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට මට හැකියාව ලැබුණා.
අසංකටත් මටත් ඉක්මන් ලකුණු කිහිපයක් ලබා ගන්නට ද හැකියාව ලැබුණා. මොහොතින් මොහොත අප විශ්වාසය වැඩි වූ බවක් දැනුණා.
ඉනිම ආරම්භයේ දී ෆ්ලික් පහරක්, පුල් පහරක් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමත් සමඟ මගේ විශ්වාසය තවත් වැඩි වුනා.
අසංක, ෂේන් වෝන්ගේ පන්දුවකට එල්ල කළ දැවැන්ත හයේ පහර කිසිමදාක අමතක කරන්න බැහැ. අසංකගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි අර්ජුනගෙන් ද වෝන්ට කිසිම සමාවක් ලැබුණේ නැහැ.
කල්කටාවේ දී මෙන්ම මම කෙළින් පිත්ත ගෙන එමින් පන්දුවට පහර දුන්නා. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාවේ දී ශතකයක් ලබා ගැනීමට හැකි වීම මා ලද විශාල භාග්‍යයක්.
ජයග්‍රාහී ලකුණ අර්ජුනගේ පිත්තෙන්ම එල්ල වීම අප ලද ජයග්‍රහණයේ වටිනාකම වඩ වඩාත් තීව්‍ර කළා. අප ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙතනට ගෙන එන්නට ඔහු කළ මෙහෙය අති විශාලයි.
ඒ අමතක නොවන රාත්‍රියේ ලාහෝර් නුවර ප්‍රේක්ෂකාගරයේ ශ්‍රී ලංකා ධජ ආඩම්බරයෙන් ලෙළ දෙන ආකාරය දැකගන්න පුළුවන් වුනා.”
තවත් කතාවක් සමඟ නැවත හමුවෙමු.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<