ශතවර්ෂ ගණනාවක් එපිටට ඇදී යන ඔලිම්පික් වංශ කතාවේ රසවත් සිද්ධීන් සෑහෙන ප්‍රමාණයක් අපට හමුවෙනවා. ඒ සමහර සිද්ධි ඔබ අහල තියනවා වගේම නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි තීරණය කළා 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල අලලා එවන් සිදුවීම් ගොන්නක් “නොපෙරළු ඔලිම්පික් දිනපොත්” ලෙස ඔබ වෙත ගෙන ඒමට.
ග්‍රේග් ලුගානිස්ගේ ඔලිම්පික් වික්‍රමය | 1988 සෝල් ඔලිම්පික් උළෙල.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රේග් ලුගානිස් 1988 සෝල් ඔලිම්පික් උළෙලේ කිමිඳුම් (Diving) ඉසව්වන්ට පැමිණ සිටියේ වසර හතරකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර දී දිනා ගත් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් ඔහු සන්තකයේ තබා ගනිමින්.
සාමාන්‍යයෙන් ලෝක මට්ටමේ දී කිමිඳුම් ඉසව්වේ ප්‍රභේද දෙකක් දැක ගත හැකි වෙනවා. ඒ පොළොවේ සිට මීටර් 03ක් ඉහළින් තිබෙන පැද්දෙන වේදිකාවක සිට පිහිනුම් තටාකයට පැනීම (Springboard Diving) සහ පොළොවේ සිට මීටර් 10ක් ඉහළින් තිබෙන නිශ්චල වේදිකාවක් මත සිටිමින් පිහිනුම් තටාකයට පැනීම (Platform Diving) යනුවෙන්.
සත්‍ය වශයෙන්ම ලුගානිස්ගේ ඔලිම්පික් පදක්කම් ගැන සෝල් නුවර සිටි කිසිවෙකුට සැකයක් තිබුණේ නැහැ. එතරම්ම ඔහු කිමිඳුම් ඉසව්වේ පුරාවෘත්තයක්.
එය මීටර් තුනේ ස්ප්‍රිංබෝඩ් ඉසව්වේ මූලික වටයේ පිම්මක්. ලුගානිස්ගේ පිම්ම පිහිනුම් තටාකයට පසුපස හරවා ප්‍රතිවිරුද්ධ ආකාරයේ පැනීමක්. එහි සිදු වන්නේ උඩුගුවනේ කරනම් දෙකහමාරක් ගසා හිස පහළට සිටින සේ වේගයෙන් තටාකයට පතිත වීම.
ලුගානිස්ගේ පිම්ම අතරතුර තරමක විශාල හඬක් නැගුණා. පසු විපරම් කිරීමක දී දැන ගත හැකි වූයේ පිම්ම අතරතුර ලුගානිස්ගේ හිසේ පිටුපස කොටස වේදිකාවේ වැදුණ බව.
“කුමක් හෝ විශාල ශබ්දයක් ඇහුණා. පසුව මට තේරුම් ගියා මගේ හිස වේදිකාවේ වැදී ඇති බව. අතක් හෝ පයක් වේදිකාවේ වදින එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔළුව වැදුණා කිව්වම මම වගේ ක්‍රීඩකයෙක්ට ඒක ලැජ්ජාවක්.
මම හොඳ කිමිඳුම්කරුවෙක්. මගේ අතින් එහෙම වැරැද්දක් වෙන්න බෑ. මට සෑහෙන ලැජ්ජාවක් වගේම කේන්තියක් ඇති වුනේ. මට සැඟවී සිටින්නට ඇත්නම් කියා සිතුණා. ඒත් පසුව මට මතක් වුනා මුළු ලෝකයම මේ සිද්ධිය දකින්නට ඇති නේද කියා.”
ලුගානිස් තමා මුහුණ දුන් අත්දැකීම පසුකලෙක විස්තර කළේ එසේය. හිසට සිදු වූ අනතුරේ බරපතළ තත්වය කෙසේ ද යත්, ලුගානිස්ගේ හිසට මැහුම් පහක් යොදන්නට පවා සිදු වුනා. අනතුරෙන් ඔහුගේ හිස්කබලට තරමක හානියක් වී තිබුණා.
බොහෝ දෙනා සිතුවේ ග්‍රේග් ලුගානිස්ගේ ඔලිම්පික් ගමන එතනින් හමාරවේ යැයි කියාය. නමුත් අනතුරෙන් විනාඩි තිස්පහකට පසුව හිසේ පිටුපස කොටසට දැමූ පැලැස්තරයකින් යුතුව නැවත තටාකයට ඉහළ වේදිකාවකට ගොඩවූ ලුගානිස් අනර්ඝ පිම්මක් පනිමින් පසුවදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
එතැනින් නොනැවතුණ ලුගානිස් පසුවදා මීටර් තුනේ ඉසව්ව ජයග්‍රහණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට රන් පදක්කමක් දිනා දුන් අතර මීටර් දහයේ ඉසව්වේ රන් පදක්කම ද ඇමෙරිකාවට දිනා දීමට තරම් අභීත ආකාරයෙන් ක්‍රීඩාවේ යෙදුණා.
1988 සෝල් ඔලිම්පික් උළෙලෙන් වසර ගණනාවක් ගත වන තැන පාපොච්චාරණයක් කරමින් ලුගානිස් පැවසුවේ ඔලිම්පික් තරගාවලියට මාස හයකට පෙර තමාට මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වයිරසය (HIV) වැළඳී තිබූ බව තමා දැන සිටි බවයි.
ලුගානිස්ගේ ඒඩ්ස් සම්බන්ධ හෙළිදරව් කිරීමත් සමඟ බොහෝ දෙනා සෝල් නුවර සිද්ධිය නැවත විමර්ශනය කරන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම පිහිනුම් තටාකයේ ගලා ගිය ලුගානිස්ගේ ලේ සම්බන්ධයෙන් මතවාද රාශියක් බිහි වුනා.
ලුගානිස් සහ ඔහුගේ සෝල් ඔලිම්පික් පදක්කම් ගැන මතවාද කෙසේ නමුත් අදටත් ග්‍රේග් ලුගානිස් හැඳින්වෙන්නේ කිමිඳුම් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුගේ විරුදාවලිය සහිතව.
ග්‍රේග් ලුගානිස් සම්බන්ධ වීඩියෝ:
කෙස් ගහත් බරක් | චාර්ල්ස් වින්සි |1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙල
චාර්ල්ස් වින්සි නම් බර ඉසිලීමේ ක්‍රීඩකයා 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලට පැමිණෙන්නේ බැන්ටම් බර පංතියෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කිරීමටයි.
මෙල්බර්න් නුවරට පැමිණ තරඟ කරන්නට ගිය වින්සිට තරු විසිවුණේ අදාළ ඉසව්වට නියමිත ශාරීරික බර ප්‍රමාණයට වඩා ඔහු රාත්තල් එකහමාරක් පමණ බරෙන් වැඩි බවක් පෙන්නුම් කළ නිසායි. උත්සාහය අත් නොහළ වින්සි වහාම දිවීම වැනි ව්‍යායාම මාලාවක් දියත් කරමින් බර අඩු කරගන්නට ක්‍රියා කළා.
ඔහුගේ තරගය ආරම්භ වීමට හරියටම විනාඩි පහළොවකට පෙර නැවත වතාවක් බර මැනීමේ දී අවාසනාවන්ත ලෙස වින්සිගේ බර අවුන්ස හතකින් වැඩි බව පෙන්නුම් කෙරුණා. කරන්නට අන් කිසිවක් නොමැති අවස්ථාවක ඔහු අපූරු විකල්පයක් තෝරාගත්තා.
චාර්ල්ස් වින්සි
තමාගේ කොණ්ඩය කොටට කපා දමා පාදයේ යටි පතුලේ මැරුණු සම සූරා දැමූ වින්සි එමගින් ශරීර බර අඩු කරගනිමින් තරගයට නියමිත බර මට්ටමට පැමිණ සටනට එක්වුණා. එලෙස අතිමහත් කැපවීමක් කරමින් තරගයට එක්වූ යාන්තම් අඩි හතරයි අඟල් එකොළහක් උසැති වින්සි ඇමෙරිකා එක්සත් ජනපදයට එදා බැන්ටම් බර පංතියේ රන් පදක්කම දිනා දීමට සමත් වුනා.
1956 මෙල්බර්න් නුවර දී දිනා ගත් රන් පදක්කම අහඹුවක් නොවන බව සපථ කරමින් 1960 රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ දී ද බැන්ටම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට වින්සි සමත් වුනා.
හිට්ලර්ගේ හිත උණු වෙයි | 1936 බර්ලින් ඔලිම්පික් උළෙල.
1936 බර්ලින් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ජර්මානු 4×100 කාන්තා කණ්ඩායම ගැන බොහෝ දෙනෙක්ට විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුවක් රන් පදක්කමක් බවට සැකයක් තිබුණේ නැහැ.
ජර්මන් ජාතිකයින්ට මෙම ඉසව්ව කෙරෙහි තිබූ බලාපොරොත්තුව කෙතරම් දැයි කියනවා නම් ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් පවා බලාපොරොත්තු දල්වා ගත් දෑසින් ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් අතරේ සිටියා.
එවකට බල්ගේරියානු පාලක බොරිස් රජතුමාත් මේ නරඹන්නන් අතරේ සිටියා.
එමී ඇල්බස්, කැතී ක්‍රාවුස්, මාරි ඩොලින්ගර් සහ ඉල්සේ ඩෝෆෙල්ට් යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ජර්මානු කණ්ඩායම කලින් තරග වටයක දී ලෝක වාර්තාවක් සහිතව තත්පර 46.4කින් තරගය නිමා කොට තිබුණා.
අවසන් තරඟයේ වටය තුන්වැනි වටය දක්වාම සැලකිය යුතු මට්ටමකින් ඉදිරියෙන් සිටි ජර්මානු කණ්ඩායමට රන් පදක්කම පිළිබඳව සැකයක් තිබුණේ නැහැ.
තරගය යන අතරතුර හිට්ලර් සිය අසුනෙන් නැගිට්ටවන්නට ජර්මානු ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.
හිට්ලර් ඇතුළු අනෙකුත් ජර්මානු හිතවාදී ප්‍රේක්ෂකයින්ගේ උද්‍යෝගය පැවතුණේ තවත් සුළු මොහොතක් පමණයි.
සිව්වැනි සහ අවසාන වටයට යෂ්ටිය හුවමාරු කරන අවස්ථාවේ දී ඉල්සේ ඩෝෆෙල්ට් අතින් එය ගිලිහී ගියා.
ජර්මානු සහාය දිවීමේ කණ්ඩායමේ රන් පදක්කම් සිහිනය ඒ අනුව බොඳ වී ගියා. එම ඉසව්වේ රන් පදක්කම ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයට. මහා බ්‍රිතාන්‍යය රිදී පදක්කම දිනා ගත් අතර කැනඩාවට ලෝකඩ පදක්කම හිමි වුනා.
ජර්මානු කාන්තා කණ්ඩායමේ වීඩියෝව
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න