1997 අප්‍රේල් මාසයේ දිනෙක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම ටෙස්ට් තරගාවලියේ මුල්ම ටෙස්ට් තරගය ආරම්භ වන්නට නියමිතව තිබුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
මෙකී තරගයේදී සනත් ජයසූරිය සමඟ ඉනිම ආරම්භ කරන ලද්දේ හීන්දෑරී උස තරුණ ක්‍රීඩකයෙකි.
ඔහුට තිබුණේ අමුතු පිතිකරණ ඉරියව්වකි. ඔහුගේ පිතිකරණයේ කිසිම හැඩයක් තිබුණේ නැත. ඒ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ සිටි ඇහැට ප්‍රිය ප්‍රවේගකාරී පිතිකරුවන් සමඟ ඔහුගේ පිතිකරණ හැඩය පෑහුණේද නැත.
පාසැල් තරග පිටියේ රසල් ආනල්ඩ්
දේශිය තරග පිටියේ පැල් පැඳගෙන ලකුණු රැස් කළ ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි වූයේ නැත. ස්ථානයක් ලබා දෙන්නට පිටතට යන්නට කෙනෙක් සිටියේද නැත. මෙකී අවස්ථාව ඔහුට ලැබෙන්නෙත් අහම්බයකින් මෙනි.
පළමු ටෙස්ට් තරගයට පෙර එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කළ රොෂාන් මහානාම පුහුණු සැසියක් අතරතුර සජීව ද සිල්වා විසින් එවූ යෝකර් පන්දුවක් පාදයේ වැදීමෙන් ආබාධයකට ලක්විය.
පාකිස්තානු කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයේදී රැස් කළ ලකුණු 140 අප කතානායක තරුණයාගේ පිහිටට ආවේ මෙවෙලේය. මිනිත්තු 381ක් පුරාවට විහිදී ගිය මෙකී ඉනිමට හතරේ පහර 20ක් අන්තර්ගත වී තිබුණි. ඊට අමතරව පුහුණු තරගයේදී ඔහු කඩුලු තුනක් දවා ගන්නටද සමත්කම් පා තිබුණි.
පාසැල් තරග පිටියේ කැපී පෙනෙන නමක් වූ දේශීය තරග පිටියේ උසස් දස්කම් පෑ රසල් ප්‍රේමකුමාරන් ආනල්ඩ් නාමය ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පළමු වරට ඇසුවේ එදාය.
දෙහිවල මුහුදු වෙරළේ සැහැල්ලු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ කුඩා රසල් ආනල්ඩ් සිය ක්‍රිකට් හැකියාව වඩාත් දියුණු කර ගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල හරහාය.
සිය මවගේ පියා එනම් තමාගේ සීයා රසල් ආනල්ඩ් නම් ක්‍රිකට් ක්‍රීඩකයා බිහිවීම පිටුපස සිටින දැවැන්තම සෙවනැල්ල බව ඔහු මේ ලිපිය සම්පාදනය කරද්දී මා සමඟ පැවසුවේය.
ක්‍රිකට් තරග නැරඹීමට තමා කැටුව යන්නට සීයා කිසිම විටෙක අමතක නොකළ බව කියූ ඔහු අරවින්ද ද සිල්වා සහ ඩීන් ජෝන්ස් වැනුන් සිය ක්‍රිකට් ක්‍රීඩාවේ තමන් අතිශයින්ම ප්‍රිය කළ චරිත බව පැවසුවේය. කුඩා සමයේ කොහේ සිටියත් රාත්‍රී හතහමාර වෙද්දි බ්‍රිස්ටල් ස්පෝර්ට්ස් රීල් බලන්නට රූපවාහිනීය ඉදිරියේ වාඩි වන බැව් තවදුරටත් ඔහු පැවසුවේය.
1992 වසරේ තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියකට එංගලන්තයේ සංචාරය කළ ශ්‍රී ලංකා දහනමයෙන් පහළ කණ්ඩායමේ ඉහළින්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වූයේ ආනල්ඩ් ය. එහිදී ඔහු ලකුණු 242 ක් රැස් කළේ සාමාන්‍ය 48.40ක් ලෙස රඳවා තබා ගනිමිනි. පාසැල් තරග පිටියේ ආනල්ඩ් ගේ ප්රබලතම ප්‍රතිවාදියා වූ චමින්ද වාස් ද මේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළේය.
1993 වසරේ ප්‍රේමදාස කුසලානය දිනාගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ නායක රසල් ආනල්ඩ්
සිය පළමු ටෙස්ට් ඉනිමේ ලකුණු 24ක් රැස් කරන්නට ඔහු ආනල්ඩ් සමත් වූ අතර කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතර නිතර නොසිටියත් ශ්‍රී ලංකා සංචිතයේ නිත්‍ය තැනක් වෙන් කරගන්න එතැන් පටන් ඔහුට හැකියාව ලැබුණි.
1998 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතර පැවති පෙරහුරු තරගයකදී ආනල්ඩ් ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතක කඩයිම පසු කර යන්නට සමත්විය. මෙකී ඉනිම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තරමක් දුරට අමතක වූ එකක් කියතොත් එහි වැරැද්දක් නැත.
සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායම බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කොට අසරණ කළ මොහොතක අප කතානායක තරුණයා පෑ දස්කම් මාලාව ගැන The Times පුවත්පත විස්තර කළේ A young batsman with a wondrous sense of timing යනුවෙනි.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම ලබා ගත් ලකුණු 366ට පිළිතුරු ලෙස සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, හෂාන් තිලකරත්න, රොමේෂ් කළුවිතාරණ, චන්දික හතුරුසිංහ වැනුන්ගෙන්න් සමන්විත ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය ලකුණු 130කට දැවී ගියහ.
එංගලන්තයේදී එක් ටෙස්ට් තරගයට වැඩියෙන් තමන් ලැබිය යුතු බවට ලාංකිකයින් නගන අඳෝනාවන් කෙතරම් සාධාරණ දැයි ඉංග්‍රීසි පුවත්පත් විසාල අකුරෙන් ලියා තැබූහ.
ආනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කරුවා වෙමින් මැරතන් ඉනිමක් ආරම්භ කරන්නේ මෙවන් අවස්ථාවකදීය.
එංගලන්ත භූමියේ තමන් මුහුණ දුන් මුල්ම පළමුපෙළ තරගයේදීම ශතකයක් වාර්තා කරගත් තෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නට එදා ආනල්ඩ්ට හැකියාව ලැබුණි.
1934 වසරේ එෆ්.සී. ද සේරම් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට එරෙහිව ග්ලොස්ටෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ලකුණු 176ක් ලබා ගත් අතර දුලීප් මෙන්ඩිස් 1975 වසරේ නැගෙනහිර අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලකුණු 144ක් රැස් කළේය.
පන්දු 270ක් පුරා විහිදී ගිය ආනල්ඩ්ගේ ලකුණු 209ක ඉනිමට හතරේ පහර 37ක් අන්තර්ගත විය.
ශ්‍රී ලංකා ගෞරවය බේරා ගනිමින් අගනා ඉනිමක් දියත් කළ විසිපස් හැවිරිදි ආනල්ඩ් තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින් පවුම් 500ක ත්‍යාග මුදලක් දිනා ගන්නට එදා සමත්විය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් නොලද ආනල්ඩ්, 1999 ලෝක කුසලාන ඛේදවාචකය සමඟ කණ්ඩායමට කැඳවීම් ලද තරුණ ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටි අයෙක් විය.
ස්වභාවයෙන් ආරම්භක පිතිකරුවෙක් වූ නමුත් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි වඩාත් පිතිහරඹ රටාවෙන් ආකර්ෂණීය, හැඩකාර පිතිකරුවන්ට ඉහළ ස්ථාන ලබා දී පිතිකරණ ලැයිස්තුවේ පල්ලම් බහින්නට ආනල්ඩ්ට සිදුවිය.
පිතිකරණ ලැයිස්තුවේ කුමන ස්ථානයක් හිමි වුවත් තමා ක්‍රීඩා කරන කුමන හෝ කණ්ඩායමකට සිය දායකත්වය ලබා දෙන්නට ආනල්ඩ් සැදී පැහැදී සිටියේය.
1999 වසරේ දෙසැම්බරයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තම එක්දින තරග දිවියේ පළමු ශතකය කරා යන රසල් ආනල්ඩ්
තැනට සුදුසු ආකාරයෙන් ක්‍රීඩා කරන්නට සහ තියුණු ක්‍රිකට් බුද්ධියක් තිබූ ආනල්ඩ් පසුකලෙක තමන්ටම කියා සුවිශේෂී අනන්‍යතාවක් නිර්මාණය කර ගත්තේය. සිය සීමා සහිත පිතිකරණ පරාසය මැනවින් වටහා ගත් ආනල්ඩ් ඉන් උපරිම ප්‍රයෝජන ගනිමින් පෑ දස්කම් මාලාව හේතුවෙන් පසුකලෙක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නැතුවම බැරි පුරුකක් බවට ඔහු පත්විය.
රසල් ආනල්ඩ් නම් ක්‍රීඩකයාගෙන් සහ ඔහු සතුව තිබෙන තියුණු ක්‍රිකට් බුද්ධියෙන් උපරිම ආකාරයෙන් ප්‍රයෝජන ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හැකියාවක් ලැබුණා දැයි විශාල සැකයක් පවතී. අන්තර් සමාජ තරගවල ඔහු යටතේ ක්‍රීඩා කළ බොහොමයක් ක්‍රීඩකයින් මා සමඟ පැවසුවේ ඔහු සීමා මායිම්වලින් පිටත සිටිමින් තීන්දු තීරණ ගත් අපූරු තාලයේ නායකයෙකු බවයි.