ක්‍රිකට් දිනා තාත්තා පරාජයට පත් කළ ග්ලේන් මැග්‍රාත්!

15
Cricket Australia

බටහිර නිව් සවුත් වේල්ස් අහස් කුසට ඉහළින් හිරු බැස යන විට එහි වර්ණවත් කිරණ අහස පුරා පැතිරී ගිය ආකාරය ඉතාම ආශ්වාදජනක දර්ශනයක් වුණා.

තැඹිලි පැහැයෙන්, උණු කළ රන් හෝ ලෝකඩ පාටවලින් වෙස්ගත් අහස දෙස බලා සිටීම හෝ ස්වභාවික පරිසරයේ චමත්කාරය අත් විඳින්නට අප කතානායක දහසය හැවිරිදි තරුණයාට හැකියාවක් තිබුණේ නැහැ.

මෙකී සන්ධ්‍යාවේ සිය මව රාත්‍රී කෑම වේල වෙනුවෙන් ඔහුව කැඳවීමට පෙර ගොවිපොළේ වැඩ කොටස අවසන් කිරීමට ඔහු අදිටන් කරගෙන හිටියා.

මෙකී දවස අප කතානායක තරුණයා අතිශයින්ම වෙහෙසට පත් වුණ දවසක්. ඔහු සහ ඔහුගේ 14-හැවිරිදි සොහොයුරා වන ඩේල්, ඊළඟ කන්නයේ තිරිඟු භෝග වගාව සඳහා වෙන්කළ අක්කර 1000න් හැකිතාක් ප්‍රමාණයක් වපුරමින් ගොවිපොළේ තවත් දිනක් ගත කර තිබුණා.

පවුලේ බිල්පත් සහ හිඟ ආදායම හමුවේ තව තවත් මහන්සියෙන් වැඩ කරනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් ඔවුන්ට තිබුණේ නැහැ.

Glenn McGrath

ග්ලේන් මැග්‍රාත් කුඩා අවධියේ

1987 අවුරුද්ද සඳහා ගිණුම් පොත අතිශය භයානක රකුසෙකු ලෙසින් දිස් වූ අතර ඔහුගේ පියා කෙවින් මාර්ග දුම්රිය රියදුරෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ සහ මධ්‍යම ක්වීන්ස්ලන්තයේ රාජකාරි කරමින් සිටි නමුත් ඔහු ඉපයූ ආදායම පවුලේ වියහියදම් වෙනුවෙන් ප්‍රමාණවත් වූයේ නැහැ. පවුලේ සියළුම බර සහ ගොවිපොළේ පාලනය වැඩිමහල් පුත්‍රයා වෙතයි පැවරුණේ.

මේ අසීරු පරිසරය ක්‍රිකට් ඉතිහාසයේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකු ලොවට තිළිණ කළා. ඔහු නමින් ග්ලේන් ඩොනල්ඩ් මැග්‍රාත්.

“අපේ තාත්තා නම් කිව්වේ මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් මොන ජයග්‍රහණ ලැබුවත් මම හින්ද එයා පරාද වුණා කියල. එයාට ඕනෙ වුණේ මාව හොඳ ගොවියෙක් කරන්න.

‘මම සෑහෙන්න හීන මැව්වා මිනිහව හොඳ ගොවියෙක් කරන්න ඒත් එයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා’ කියලයි තාත්ත නිතර කිව්වේ.

ඒක පවුලක් විදියට හරිම අමාරු කාලයක්. ඒත් අපි ඒකෙන් ගොඩ ආවා.”

මැග්‍රාත්ගේ ලොකුම ආධාරකරුවා වුණේ ඔහුගේ මව. ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන්නට මැග්‍රාත්ට හැකියාවක් ඇතැයි සිතූ එකම පුද්ගලයා ඇයයි. බොහෝදෙනා විශ්වාස කළේ ඔහු පැසිපන්දු ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි කියා. ඒ වෙද්දීත් මැග්‍රාත් අඩි හයකට වඩා උස ශරීරකායකට හිමි කම් කී අතර ස්වභාවයෙන් ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ.

ඔහුට පන්දු යවන්නට තරමේ විශේෂ හැකියාවක් තිබුණේම නැහැ. ඇත්තටම කිව්වොත් ඔහුගේ පන්දුවල කිසිම පාලනයක් තිබුණේත් නැහැ. වයස අවුරුදු 16න් පහළ බැක්වෝටර් ක්‍රිකට් සමාජයේ මැග්‍රාත්ගේ පළමු නායකයා වූ ෂේන් හෝර්ස්බර්ග්, ග්ලෙන් මැග්‍රාත්ට වඩා කොසුමිටකට පන්දුයැවීමේ දක්ෂතා ඇති බව කියමින් එක්තරා අවස්ථාවක විහිළු කළේ මේ නිසා.

මැග්‍රාත්ට ශක්තිමත් පන්දු විසි කිරීමේ හස්තයක් සහ වේගයෙන් පන්දුවට පහරදීමේ හැකියාවක් තිබූ නමුත් ඔහුගේ ප්‍රධාන කාර්යභාරය වූයේ හුදෙක් කණ්ඩායමේ එකොළොස් දෙනා සම්පූර්ණ කිරීම පමණයි.

නිසි එල්ලයකට පන්දුයැවීමට හැකියාවක් නොතිබූ ඔහු හුදකලා පුහුණු සැසිවලදී ඔහුගේ නිරවද්‍යතාවය වැඩි දියුණු කර ගත්තා.

ඊට වසර ගණනකට පසු කොසුමිටක් තරම්වත් හැකියාවක් නැතැයි සිය කණිෂ්ඨ කණ්ඩායමේ නායකයාගේ උපහාසාත්මක වදන් ලත් මැග්‍රාත් නම් තරුණයා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමට ආසන්න තැනකට පැමිණ සිටියා.

Cricket Australia

පාසැල් සමයේ ඔහුගෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කෙරුණේ නැහැ.

“මං ඒ කාලේ හිටියේ ෆිල් ඇලී එක්ක ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා නවාතැනක. එතන ඉද්දි තමා හිතවත් මාධ්‍යවේදියෙක්ගෙන් කෝල් එකක් ආවේ මාව ජාතික කණ්ඩායමට තෝරගෙන කියලා.

එදා හවස අපේ නවාතැන හරිම කාර්‍යබහුල තැනක් වුණා. චැනල් 9 කණ්ඩායමක් ඇවිත් රූගත කිරීම් කරනවා ලයිට් දාගෙන. එදා රෑ මාව ටීවී එකේ පෙන්නනකොට මට හිතුණා මාත් සෙලිබ්‍රිටි කෙනෙක් නේද කියලා.

‘මම ටෙස්ට් වරම් ගැන වැඩිය හිතන්නේ නැහැ. මම නිව් සවුත් වේල්ස් කණ්ඩායමට ආවෙත් ඉතාම මෑතකදී. ඒ අත්දැකීමම අමතක කරන්න බැරි එකක්’ මම මාධ්‍යවේදීන්ට කිව්වා.

1993 නොවැම්බර් 12 වෙනිදා තමයි දවස. මම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්ත දවස. ස්ථානය පර්ත් නුවර වැකා ක්‍රීඩාංගණය.

මට මුල්ම අත්දැකීම ලැබෙන්නේ පිතිකරුවෙකු විදියට. එත් මගේ මුල්ම පිතිකරණ උත්සාහය පළමු පන්දුවෙන්ම ඉවර කරන්න නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.”

මැග්‍රාත්ගේ බිංදු අපලය එසේ මෙසේ එකක් නොවෙයි. මැග්‍රාත් ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදී නවසීලන්තය හමුවේ ඔහු මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය අතර ඔහුගේ මංගල එක්දින තරගයේදීද ඔහුගේ ඉරණම වෙනස් වූයේ නැත. සිය මංගල එක්දින තරගයේදී ඔහු දකුණු අප්‍රිකාව හමුවේ පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

මැග්‍රාත් ක්‍රීඩා කළ මංගල පළමුපෙළ තරගයේදී ඔහුට පන්දුවට පහරදීමට ලැබුණේ නැති නමුත් ඔහු පළමුපෙළ තරගවල මුලින්ම පන්දුවට පහරදුන් ඉනිමේත් ඔහු දැවීගියේ ලකුණු නොලබා ය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු බලඇණියට නායකත්වය දුන් ක්‍රේග් මැක්ඩර්මට් තමාගේ සහායක පන්දු යවන්නා ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නැහැ. ඔහු නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරන බවත් කෙට්ටු කකුල් නිසා පිජන් එහෙමත් නැත්නම් පරවියා කියන සුරතල් නාමය භාවිතා කරන බව හැරෙන්නට දෙයක් මැක්ඩර්මට් මැග්‍රාත් ගැන දැනගෙන හිටියේ නැහැ.

“ඊට පස්සෙ නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදීම ආරම්භ කළා. මම පන්දු යවන්න පටන් ගත්තේ ක්‍රෙග් මැක්ඩර්මට් එක්ක. ඕවර්ස් කිහිපයක් යන තැන නවසීලන්ත ආරම්භක පිතිකරු මාක් ග්‍රේට්බැච්ගේ පිත්තේ පිට අග්‍රයේ වැදිච්ච පන්දුවක් සුරැකිව නතර වුණේ ඉයන් හීලීගේ අත් ආවරණ ඇතුලේ. ඒ තමයි මගේ පළවෙනි ටෙස්ට් කඩුල්ල. මොන තරම් සන්තෝසදායක මොහොතක්ද?

හැමෝම හිනාවෙද්දි මගේ අම්මා විතරයි කවදාහරි මට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා මාව විශ්වාස කළේ.

පළවෙනි කඩුල්ලේ ඉඳන් හැමදෙයක්ම මට මතකයි. ග්‍රේට්බැච්ගේ කඩුල්ලට පස්සේ තවත් ටෙස්ට් කඩුලු 562ක්. මට ඒ ඔක්කොම කඩුලු ගැන මතකයෙන් කියන්න පුළුවන්. දැවීගිය ආකාරයේ ඉඳලම. මේ ගමනේ හැම පුංචි දෙයක්ම මට හොඳට මතකයි”

මූලාශ්‍ර: Line and Strength: The Glenn McGrath Story

Cricket Legends | Fox Sports