සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කෙසඟ සිරුරකින් යුත් ඕස්ට්‍රේලියානු යෞවනයා ටෙස්ට් දිවියේ තමා යවන පළමු පන්දුව මුදාහරින්නට සිය පන්දු යැවීමේ සීමාවේ සිට සූදානම්ය.
කඩුල්ල වටා දිවවිත් යොමු කළ ඒ පන්දුව පිතිකරණ අන්තයේ සිටි වමත් පිතිකරුවා පිළිගනු ලැබුවේ ඉදිරි පාදයේ ආරක්ෂිත පහරක් එල්ල කරමිනි. නමුත් පිතිකරුවා බලාපොරොත්තු නොවූ ලෙස මදක් දඟ කැවී ඉපිලීමක් පෙන්නුම් කළ ඒ පන්දුව පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් කලාපය කරා ඉගිලී යද්දී ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් සිය වම් පැත්තට බර වෙමින්, තනි අතින් උඩපන්දුව අනර්ඝ ආකාරයෙන් ඩැහැගත්තේය.
දෑත් අහස දෙසට ඔසවා ගත් තරුණ පන්දු යවන්නා මහත් උද්යෝගයෙන් සිය පළමු ටෙස්ට් කඩුල්ල සමරන අවස්ථාවේ දැවීගිය පිතිකරුවා වූ කුමාර් සංගක්කාර කරබාගෙන ක්‍රීඩක විවේකාගාරය දෙසට ගමන් ඇරඹුවේය.
එතැනින් නොනැවතුණු අප කතානායක තරුණයා එදා තවත් කඩුලු හතරක් දවාගෙන ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම කඩාබිඳ විනාශ කර දමන්නට සමත් විය.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් ලෙහෙසි දැයි මේ ඕස්ට්‍රේලියානු යෞවනයාගේ දස්කම එපිටින් බලා සිටින අයෙකුට සිතෙන්නට පුළුවන. නමුත් මේ තරුණ ක්‍රීඩකයාගේ කතාව සාම්ප්‍රදායික ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ කතාවට වඩා හාත්පසින්ම වෙනස් එකකි.
1987 වසරේ නොවැම්බර් 20 වැනිදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ යං’හි උපත ලද නේතන් මයිකල් ලයන් නම් කුඩා දරුවාට ක්‍රිකට් ක්‍රීඩාව අමුතු පහේ දෙයක් වූයේ නැත.
“මගේ සීයලා දෙන්නම ක්‍රිකට් සෙල්ලම් කරලා තියනවා. මට මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට හිත වැටෙද්දි අවුරුදු හතක් විතර ඇති. මට වඩා අවුරුදු තුනක් වැඩිමහල් මගේ සහෝදරයා බ්‍රෙන්ඩන් එක්ක වත්තේ පිටියේ සෙල්ලම් කරන එක තමයි ක්‍රිකට් ගැන මට ඇති මුල්ම මතකය.
බ්‍රෙන්ඩන් ක්‍රිකට් තරගවලට යද්දී තාත්තා මාවත් ඇදගෙන යනවා. මම විතරක් නෙවෙයි අම්මා, ආච්චිම්මා අපේ පවුලේ ඔක්කොම මැච් එක බලන්න යනවා.
ප්‍රේක්ෂකයෙක් විදියට අයියාගේ මැච් එකක් බලන්න එහෙම ගියපු එක දවසක තාත්තා කිව්වා මටත් සෙල්ලම් කරන්න කියලා. අවුරුදු හතේ මට ක්‍රීඩා කරන්න වුනේ මට වඩා අවුරුදු කිහිපයක් වැඩිමහල් ක්‍රීඩකයෝ එක්ක.
යාන්තම් අමාරුවෙන් අත කරකවලා බෝල් කරපු මට එදා අයියාගේ හොඳම යාළුවා දවා ගන්න පුළුවන් වුනා. ඩේමියන් මේජර් නම් ඔහු දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
පාසල් කාලේ මම ඉගැනීමට දක්ෂ වුනේ නෑ. වැඩිදුර අධ්‍යාපනය ලබනවාට වඩා මට ඕන කළේ ක්‍රිකට් ගහන්න.
වයස අවුරුදු 18 දී විතර මම ගෙදරින් පිට වෙද්දී මට ඉන්න හරිහමන් නවාතැනක් තිබුණේ නැහැ. තවත් ගෑණු ළමයි හතර දෙනෙක් එක්ක නවාතැනක් බෙදාහදා ගන්න මට සිද්ධ වුනේ. ඒක අමුතු අත්දැකීමක්.
මේ අතරේ දවසක් ඕස්ට්‍රේලියානු අගනුවර ප්‍රදේශයේ (Australian Capital Territory) ක්‍රිකට් ක්‍රීඩාවට වග කියන ඉහළ කාර්ය සාධන කළමනාකරු ඇන්ඩෲ ඩෝසන් දුරකතනයෙන් මා ඇමතුවා.
‘මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ ආධුනික තණතිලි සකසන්නා ලෙස වැඩ භාරගන්න ගමන් ක්‍රීඩා කරන්න උඹ කැමති ද?’
මම කෙළින්ම තාත්තාට කතා කළා.
‘මෙහෙම ජොබ් ඔෆර් එකක් ඇවිත් තියෙනවා. හැබැයි මට පිච් හදලා බැනුම් අහන්න නම් බෑ’
‘අරන් කරපන්. උඹට රස්සාවකුත් නෑ නේද?’ කියන ගමන් එහා පැත්තෙන් දුරකතනය විසන්ධි කරනවා ඇහුණා.
මම රස්සාව භාරගත්තා.
වැඩිකාලයක් යන්න කළින් මම මගේ අලුත් රස්සාවට ආදරේ කරන්න ගත්තා.
උදේ 5.30ට නැගිටලා පිට්ටනියට ගිහින් පිච් එකේ, ග්‍රවුන්ඩ් එකේ වැඩ කරලා ලන්ච් බ්‍රේක් එකේ නෙට් එකට ගිහින් පන්දු යවන්න මම පුරුදු වුනා. පැයක් එකහමාරක් නෙට් එකේ බෝල් කරලා ආපහු ග්‍රවුන්ඩ් එකේ වැඩට යනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් දෙවැනි පෙළ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන මට ජාතික කණ්ඩායම නියෝජනය කිරීම මට ගව් ගානක් ඉස්සරහින් තිබුණ සිහිනයක්. ඒත් මට ඕන වුනා නිතරම ඊළඟ ලෙවල් එකට දියුණු වෙන්න.”
මෙලෙස කැන්බරා’හි ජීවිතයට හුරු වෙමින් සිටි ලයන්ගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ සිදුවීමක් 2010 වසරේ නොවැම්බර් මාසයේ සිදු විය.
- බෑස්බෝලය නිමැවුම් කළ කිවි දේශයේ නහරයා!
- ක්‍රිකට් පිටියේ හරඹ කළ තස්මේනියානු යක්ෂයා
- ෆිනිෂර් බිහි කළ උද්වේගකර රාත්‍රිය
- අළුබඳුන කියන්නෙත් ආදරේ සංකේතයක්!
- LPL පිටියට වෙන්දේසි වූ අපේ හොඳම 10
ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ කාර්‍ය මඩුල්ලට නව සාමාජිකයෙක් අවශ්‍ය කර තිබූ අතර ලයන් එකී පුරප්පාඩුවට ඉල්ලුම් කළේය.
කැන්බරා සිට ඇඩිලේඩ් නුවරට පැමිණිමට නේතන් ලයන් නම් අංකුර පිට දඟපන්දු යවන්නා ගත් තීරණය ඔහුගේ ක්‍රිකට් ජීවිතය උඩුයටිකුරු කළ එකක් විය.
ඇඩිලේඩ් නුවරට පැමිණි ලයන්ගේ ක්‍රිකට් දිවිය වෙනස්ම අතකට පෙරලන්නේ එක්තරා සුවිශේෂී පුද්ගලයෙකුගේ හමුවීමක් සමඟිනි.
“මට කාගෙන් හරි දැනගන්න ලැබුණා තණතීරුව තලන කොල්ලා හොඳ ඕෆ්ස්පිනර් කෙනෙක් කියලා. දවසක් මම මේ කොල්ලාට කිව්වා රෝලර් එක පොඩ්ඩක් නවත්තලා ඇවිත් අපිට බෝල කිහිපයක් දාන්න කියල.
බෝල පහක් දානකොටම මම දැන ගත්තා මූ නම් ලෙහෙසි පහසු පොරක් නෙවෙයි කියල.”
එවකට දකුණු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකාර කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු සහ හිටපු වික්ටෝරියානු කඩුලු රකින්නා වූ ඩැරන් බෙරී, නේතන් ලයන්ගේ ක්ෂණික ක්‍රිකට් නැගී සිටීම පිටුපස සිටින ප්‍රධානතම චරිතවලින් අයෙකි.
බෙරී ඒ වන විට දකුණු ඕස්ට්‍රේලියානු විස්සයි-විස්ස කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඉක්මනින්ම ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ මෙහෙයුම් කළමනාකරු ජේමි කොක්ස් දුරකතනයෙන් ඇමතුවේය.
“මට මේ ළමයා ඉක්මනින් අපේ කණ්ඩායමට ගන්න ඕන. විශ්වාස කරනවා නම් කරන්න. ටිම් මේගෙන් පස්සේ මම දැකපු හොඳම පිට දඟපන්දු යවන්නා තමයි මේ කොල්ලා,” බෙරී සිය නිර්දේශය කොක්ස්ට ලබා දුන්නේය.
“පිට දඟපන්දු යැවීම නැරඹීම ඉතාම නීරස වෙන්න පුළුවන්. නමුත් ලයන්ට හොඳින් පන්දුව ගුවනට මුසු කරන්නට වගේම දඟ කවන්නට හැකියාවක් තිබුණා. ඒ වගේම ඔහු ඉතාම ලැජ්ජාශීලි, ඉක්මනින් බියට පත්වන තරුණයෙක්.”
බෙරීගේ ආශාව ඉටු වූ අතර එවර බිග් බෑෂ් තරගාවලියේ දී කඩුලු 11ක් දවා ගනිමින් දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ශූරතාව දිනා ගැනීමට ලයන් විශාල මෙහෙවරක් කළේය.
පැට් කමින්ස් සමඟ එවර බිග් බෑෂ් තරගාවලියේ සම වැඩිම කඩුලු ලාහියා වන්නට ලයන් සමත් වීම බෙරීගේ රෙකමදාරුවට විශාල සාධාරණයක් ඉටු කළ කාරණාවක් විය.
මෙම දස්කම් මාලාව දඟපන්දු යවන්නෙකු ලෙස ඕස්ට්‍රේලියාව තුළ ලයන්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවූවා පමණක් නොව ඔහුට ඕස්ට්‍රේලියානු A කණ්ඩායමට කැඳවීමක් ද දිනා දුන්නේය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ සිම්බාබ්වේ ගිය ලයන් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට ද සමත් විය.
වැඩි කලක් යාමට පෙර ලයන් 2011 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් රිකී පොන්ටින්, මයිකල් ක්ලාක්, මයිකල් හසී සහ මිචෙල් ජොන්සන් වැනි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත නම් සමඟ එක් විය.
“මේක හීනයක් වගේ. මම කවදාවත් හිතුවේ නෑ මගේ ක්‍රිකට් වීරයෝ එක්ක මට කවදහරි කරටකර ගැටෙමින් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා. ලැබුණ හැමදේමකටම, උදව් කළ හැමදෙනාටම මම සෑහෙන කෘතඥ වෙනවා.”
ලයන් මේ අවස්ථාව වන විට ටෙස්ට් තරග සීයයකට වැඩි ප්‍රමාණයකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දායකත්වය ලබා දී තිබේ. එමෙන්ම මේ සටහන ලියවෙන මොහොතේ ඔහු වැඩිම ටෙස්ට් කඩුලු දවා ගත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ රැඳී සිටින්නේ තුන්වන තැනයි.
තමාගේ සිහින, ඉලක්ක කරා නිරතුරුව කැපවීමෙන් හඹා යන්නෝ නිසැකයෙන්ම ජය ගන්නා බව නේතන් ලයන් නම් ධෛර්යයවන්ත ඕස්ට්‍රේලියානුවා අපට පසක් කරයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<