1976 වසරේ මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ මීටර 100 ඉසව්ව ජයග්‍රහණය කළේ ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ නියෝජනය කළ හැස්ලි ක්‍රොෆර්ඩ්.
ලෝක අවධානය ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ දෙසට ඇදුණ මුල්ම අවස්ථාව එය වුනා. ක්‍රොෆර්ඩ් නැවත සිය මව්රටට පැමිණෙන විට දහස් සංඛාත ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ වැසියන් ගුවන් තොටුපොළ දෙසට එක්වෙමින් ඔල්වරසන් දෙන්නට වුනා.
මේ ජන සමූහය අතරේ නව හැවිරිදි කුඩා දරුවෙක් ද සිටියා. ඔහු මේ සා විශාල ජනකායක් දකින මුල්ම අවස්ථාව එය වුනා.
“ඇමරිකානුවන්ට නම් ප්‍රසිද්ධිය කියන දේ නුහුරු දෙයක් නෙවෙයි. දැන් ටයිගර් වුඩ්ස් ගත්තොත් ඔහු අවුරුදු හතරේ පහේ ඉඳන් කරපු දේවල් ඔක්කොම රෙකෝඩ් වෙලා තියනවා. නමුත් අපේ දූපත්වල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.”
1969 වසරේ මැයි මස දෙවැනිදා පෝට් ඔෆ් ස්පේන්’හි සාන්ත කෲස් නගරයේ කැන්ටාරියෝ නම් ඈත දුෂ්කර ගම් පියසක උපත ලද මෙම යෞවනයාගේ නම බ්‍රයන් චාර්ල්ස් ලාරා.
ක්‍රොෆර්ඩ්ට නොදෙවැනි ප්‍රසිද්ධියක් ඊට අවුරුදු දහඅටකට පසු මේ කුඩා දරුවා සොයා පැමිණියා. නමුත් ඒ ප්‍රසිද්ධිය තමා නිසි ආකාරයෙන් කළමනාකරණය කර නොගත් බවයි ලාරා පවසන්නේ.
“1994 වසරේ ඇන්ටිගුවා’හීදී ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් ලෝක වාර්තාව ලබා ගැනීමට පහරක් එල්ල කරන අවස්ථාවේ මගේ එක් පාදයක් කඩුල්ලේ ගෑවී නොගෑවී ගියා. එදා කඩුල්ල මත තිබූ එක් බේලයක් උඩට එසවී නැවත කඩුල්ල මතම රැඳුණා. මා අද හිතන්නේ එදා ඒ බේලය බිමට වැටුණා නම් හොඳයි කියලා. ලෝක වාර්තාවක් නිසා මට හිමි වූ දේට වඩා අහිමි වූ දේ බොහෝයි.
මගේ දෙමාපියන්ට දරුවන් එකොළොස් දෙනෙකු සිටියා. මම ඔවුන් අතරින් දහවැනියා. සහෝදර සහෝදරියන් අතරින් ලෙහෙසියෙන්ම ක්‍රිකට් කණ්ඩායමක් සදා ගැනීමේ හැකියාව අපට තිබුණා. අවාසනාවකට මට ඒ කණ්ඩායමේ පිතිකරණයට අවස්ථාව ලැබුණේ දහවැනියා ලෙසයි. මගේ වැඩිමහල් සහෝදරියන් කිහිපදෙනාත් පිතිකරණයේ යෙදුණ පසුව තමයි මට අවස්ථාවක් ලැබුණේ. හැබැයි මම තරගකාරීත්වය ඉගෙන ගත්තේ ඔවුන්ගෙන්. ඒක මට ජාත්‍යන්තර මට්ටමේ දී පවා සෑහෙන උපකාරී වුනා.”
බ්‍රයන් ලාරාගේ ක්‍රිකට් ක්‍රීඩාව පිටුපස සිටි දැවැන්තම සෙවණැල්ල වූයේ ඔහුගේ පියා බන්ටි. කුඩා බ්‍රයන් ක්‍රිකට් පුහුණුවීම්, ක්‍රිකට් තරග, ක්‍රිකට් කඳවුරුවලට නිරන්තරයෙන් රැගෙන ගිය බන්ටිගේ සිහිනය වූයේ කවදාහරි දවසක තමන්ගේ පුත්‍රයා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරනවා දකින එක. නමුත් ඒ සිහිනය සැබෑවක් වෙනවා දකින්න බන්ටි වාසනාවන්ත වුනේ නැහැ. බ්‍රයන් ජාතික කණ්ඩායමේ දොරකඩ සිටිය දී බන්ටි සිය දිවි ගමන නිමා කර තිබුණා.
“තාත්තා තමයි මගේ පිටිපස්සෙන්ම හිටියේ. තාත්තා නැති වුනාට පස්සේ මට ජාත්‍යන්තර වරම් ලැබුණේ. මට තියන ලොකුම කනගාටුව මම කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන තරගයක් බලන්න ඔහුට නොහැකි වෙච්ච එක.”
1987 වසර බ්‍රයන් ලාරා නම් අංකුර ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය වෙනස් කළ අවුරුද්ද විදියට හඳුන්වන්න පුළුවන්.
1987 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කලාපයේ පැවත්වුණ යොවුන් ශූරතාවලියේ දී ලාරා ලකුණු 498ක් ලබාගන්නවා. ඒ ඊට පෙර වසරේ කාල් හූපර් පිහිටුවා තිබූ ලකුණු 480 වාර්තාව බිඳ දමමින්.
1988 ජනවාරි මාසයේ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ වෙනුවෙන් ලීවර්ඩ් අයිලන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව රෙඩ් ස්ට්‍රයිප් කුසලානයේ දී ඔහුගේ පළමුපෙළ වරම් දිනා ගැනීමට ලාරා සමත් වුනා.
ඔහු ක්‍රීඩා කළ දෙවැනි පළමුපෙළ තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කලාපයෙන් පැමිණි අනර්ඝතම වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන ජොයෙල් ගාර්නර් සහ මැල්කම් මාෂල් ඉදිරියේ අගනා ලකුණු 92ක් ලබාගන්නට තරුණ ලාරා සමත් වුනා. බ්‍රයන් ලාරා යන නාමය කොදෙව් දූපත් අතර ප්‍රචලිත වන්නට මේ ඉනිමෙන් ලැබුණේ විශාල මෙහෙයක්.
- ශ්‍රී ලංකාව දිනුවේ අපේ ලෝක කුසලානයයි!
- එංගලන්තයට අහිමි වූ ලකුණු මැෂිම ස්මිත්!
- විසල් හදවතකින් සිහින හඹා ගිය ලයන්!
- සුපිරි 6 වටයේ අපේ ප්‍රතිවාදීන්
- සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ලකුණු සටහන තේරුම් ගන්න අමාරු ද?
1988 වසරේ ඔහු ඕස්ට්‍රේලියාවේ පැවති යොවුන් ලෝක කුසලානය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය දැරුවා. කොදෙව් කණ්ඩායම මේ තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වා පැමිණියා.
පාසල් තරග, පළමුපෙළ තරගවල උසස් දස්කම් දැක්වූ ලාරාගේ මීළඟ නවාතැන වීමට නියමිතව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ජාතික කණ්ඩායම.
“දවසක් බන්ටි දුරකතනයෙන් කතා කරලා මට කිව්වා මාව කොදෙව් කණ්ඩායමේ සංචිතයට තෝරාගෙන ඇති බව. නමුත් ඒ තරගාවලියේ පළමු තරගයේ ක්‍රීඩා කරන එකොළොස් දෙනා අතර මගේ නම තිබුණේ නැහැ. නමුත් මගේ පියාට තරගය නරඹන්නට අවශ්‍ය වූ නිසා කළමනාකරු ක්ලයිව් ලොයිඩ් මාර්ගයෙන් ප්‍රවේශපත් කිහිපයක් ලබා ගන්න මට පුළුවන් වුනා. අවාසනාවකට ඊට පසුදා උදයේ ඔහු මියගිය පුවත මට ආරංචි වුනා. මට ඒක දරාගන්න අමාරුම ප්‍රවෘත්තියක් වුනා.“
ලාරාට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිවන්නේ නායක විවියන් රිචර්ඩ්ස්ට ටෙස්ට් තරගයකට සහභාගී වීමට නොහැකිවූ නිසාවෙන්. 1990 වසරේ දෙසැම්බරයේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලාහෝර් නුවර දී ටෙස්ට් වරම් දිනූ ලාරා සිය පළමු ඉනිමේ දී ලකුණු 44ක දායකත්වයක් කොදෙව් ඉනිමට දුන්නා. නමුත් රිචර්ඩ්ස් නැවත කණ්ඩායමට පැමිණි විගසම ලාරා කණ්ඩායමෙන් ඉවතට යන්නට සිදු වුනා.
ලාරාට නැවත වතාවක් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙන්නේ තවත් මාස දහයක් ඇවෑමෙන්. නමුත් ඒ අතරතුර කාලයේ බොහෝ අවස්ථාවන්හි කොදෙව් කණ්ඩායමේ දොළොස්වැනි ක්‍රීඩකයා ලෙස කටයුතු කළේ ලාරා.
“තරගයක් නොලැබුණත් ඒ කාලය අතරතුර මා උකහාගත් දැනුම අසීමිතයි. මම තවමත් සර් විව් මුණ ගැහුණාම ඔහුට ස්තුතිය පුද කරනවා මා එතෙක් කල් කණ්ඩායමේ රඳවා ගත්තාට. මම විශ්වාස කරනවා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරද්දී මා ජාත්‍යන්තර තලයට සූදානම් වෙලා හිටියේ නෑ කියල. ඒ මාස දහයක කාලයේ කොදෙව් කණ්ඩායමේ විශිෂ්ටයින් සමඟ ක්‍රීඩක විවේකාගාරයේ ඉඳිමින් මා ලබා ගත් දැනුම අසීමිතයි.
පාසල් සමයේ ඉඳලම පුහුණුකරුවන්, කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මගෙන් ලොකු දායකත්වයක් බලාපොරොත්තු වුනා. එය ජාත්‍යන්තර තලයට පැමිණි පසුවත් එය වෙනස් වුනේ නෑ.”
බ්‍රයන් ලාරා සිය මංගල ටෙස්ට් ශතකය ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ලකුණු 277ක් රැස් කරනවා. බ්‍රයන් ලාරා යනු කවරෙක්ද යන්න ලෝකයා දැන ගන්නේ මේ ඉනිමෙන් පස්සේ.
වැඩිකාලයක් යන්නට කලින් ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් සතුව තිබූ ටෙස්ට් ඉනිමක ඉහළතම ලකුණු සංඛ්‍යාව තමා ඉදිරියෙන් ලියා ගන්නට ලාරා සමත් වුනා. 1994 වසරේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවා’හීදී ලාරා ලකුණු 375ක් රැස් කර ගනිද්දී, සෝබර්ස් ක්‍රීඩාංගණයේ සිටිමින් මේ ඉනිම නැරඹුවා. එදා ලාරාට සුබ පැතුම් එක් කරන්නට ඉදිරියෙන්ම ගමන් කළ අයෙක් සෝබර්ස්.
ලකුණු 375 දැවැන්ත ඉනිම නිමා කර වැඩි කාලයක් යන්නට පෙර එංගලන්ත ප්‍රාන්ත තරගයක දී ඩරම් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 501ක් ලබාගෙන පළමුපෙළ තරගයක ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවත් තමාගේ නමට ඉදිරියෙන් ලියා ගන්නටත් බ්‍රයන් ලාරා සමත් වුනා.
“මට ඉහළ මානසික ඒකාග්‍රතාවයකින් දිගු ඉනිම් ක්‍රීඩා කරන්න පුළුවන්කම තිබුණා. ඒකට හේතුව මම පිතිකරණයට දැක්වූ අසීමිත ආශාව. ගොඩාක් පිතිකරුවෝ ශතකයක් ලබා ගත්තාම හිතනවා දැන් ඇති කියලා. ඒ වෙලාවට එයාලගේ මනස එක තැනක තියෙන්නේ නැහැ. මගේ කතාව වෙනස්”
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<