Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!

Riyadh Season Cup 2024

303
Riyadh Season Cup 2024

ලෝක ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ ජීවමාන පුරාවෘත්ත දෙකක් ලෙස සැලකුම් ලබන Cristiano Ronaldo සහ The Undertaker ඊයේ (08) සෞදි අරාබියේ දී කිසිවකු හෝ නොසිතූ අන්දමින් එකම ක්‍රීඩාංගණයක දී දැක ගැනීමට වරම් හිමි වුනා.

WWE තරග බිමෙන් මෙතෙක් බිහි වූ වඩාත් ම ගෞරවනීය චරිතයක් ලෙස සැලකුම් ලබන, මේ වන විට 58 හැවිරිදි වියේ පසු වන Undertaker 2020 වසරේ දී සිය විශ්‍රාම දිවිය ආරම්භ කල අතර පසුව වරින් වර විශේෂ අවස්ථා සඳහා පමණක් සිය සහභාගීත්වය ලබා දෙමින් සිටියා.

මේ අතර පසුගිය 5 වැනි දා සිය 39 වැනි උපන්දිනය සැමරූ Cristiano Ronaldo ඊයේ දිනයේ දී තම පාපන්දු ක්‍රීඩා සමාජය වන Al- Nassr සමඟින් Riyadh Season Cup අවසන් තරගයට සහභාගී වීමට සූදානමින් පසු වුනා.

සෞදි පාපන්දු ලීගයේ වඩාත් ප්‍රචලිත පාපන්දු ගැටුමක් ලෙස සැලකෙන Al – Nassr සහ Al – Hilal කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වුණු මෙම තරගය ආරම්භ වීමට පෙර Riyadh Season Cup තරගාවලි කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිත ව තිබූ අතර, ඒ මොහොතේ දීයි අනපේක්ෂිත ලෙස Undertakerගේ ප්‍රවිෂ්ට වීම සිදු වුනේ.

Undertaker විසින් WWE වලල්ලට පිවිසීමේ දී භාවිත කළ සුපුරුදු පසුබිම් සංගීතය සහ අඳුරු වටපිටාව ද සමඟින් ඔහු සෞදියේ Kingdom Arena ක්‍රීඩාංගණයට පිවිසුණා.

පසුව ඔහු විසින් තරගාවලියේ කුසලානය ඉහළට ඔසවමින් එය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ශකාගාරයට ප්‍රදර්ශනය කළ අතර, ක්‍රීඩා පිටියේ සිටි Ronaldo පුදුමයෙන් සහ සිනහ මුසුව ඒ දෙස බලා සිටින අයුරු ද කැමරා කාචයේ සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් ඉන් පසුව ආරම්භ වූ තරගය නම් Ronaldoට සිනහමුසු මුහුණින් යුතුව නිමා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ දී Al – Hilal කණ්ඩායම වෙනුවෙන් Milinković-Savić සහ Al-Dawsari විසින් ගෝල වාර්තා කිරීමට සමත් වූ අතර,  ඒ අනුව ගෝල 2 – 0ක් ලෙස Al – Nassrට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට Al – Hilal කණ්ඩායම විසින් සමත් වුනා.

සෞදි අරාබිය විසින් වාර්ෂිකව සංවිධානය කරන Riyadh Season ක්‍රීඩා සැණකෙළියේ 2024 වසර සඳහා පැවැත්වුණු Riyadh Season Cup තරගාවලියට Ronaldo ක්‍රීඩා කරන Al – Nassr, Neymar ක්‍රීඩා කරන Al – Hilal සහ Lionel Messi ක්‍රීඩා කරන Inter Miami කණ්ඩායම් සහභාගී වීමට නියමිතව තිබුණා.

නමුත් දීර්ඝ කාලීන ව ආබාධයකින් පීඩා විඳින Neymar මෙම සුහද තරගාවලියට සහභාගී වුනේ නැහැ.

මේ අතර පසුගිය 01 දා Al – Nassr සහ Inter Miami විසින් තරග වැදුණු තරගයේ දී මුලු ලෝකයේ ම අවධානය යොමු වී තිබුණේ නැවතත් වරක් Messi සහ Ronaldo ප්‍රතිවාදීන් ලෙස කෙසේ තරග වදිනු ඇති ද යන්නටයි. නමුත් ආබාධයක් නිසා Ronaldoට ද මෙම තරගය අහිමි වුනා. කෙසේ වෙතත් එම තරගයෙන් Al – Nassr ගෝල 6-0ක් ලෙස ඉතා පහසු ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම Al-Hilal විසින් ද පසුගිය ජනවාරි 29 පැවැත්වුණු තරගයේ දී Inter Miami පරාජය කිරීමට සමත් වූ නිසා ඊයේ පැවැත්වුණු Al-Hilal සහ Al-Nassr තරගයේ ජයග්‍රාහකයා ට තරගාවලියේ ශූරතාව පිරිනැමීමට නියමිත ව තිබුණා.

කෙසේ වෙතත් Undertaker විසින් ප්‍රදර්ශනය කළ එම කුසලානය තමන් සන්තකයට ගැනීමට Ronaldo ප්‍රමුඛ Al- Nassr ක්‍රීඩකයින්ට හැකියාවක් ලැබුණේ නැහැ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර පාපන්දු පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<